Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වට්ස්ඇප් තහනම ඉවතට

Author(s): 
මහින්ද අලුත්ගෙදර

තාවකාලිකව අවහිරකර තිබූ වට්ස්ඇප් සමාජ ජාල තහනම ඉවත් කිරීමට රජය තීරණය කරයි.

ඒ අනුව ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එම තහනම ඉවත්කර තිබෙන අතර වයිබර් සමාජ ජාලයට ප්‍රවේශ වීම සඳහා පැවැති තාවකාලික තහනම ද පෙරේදා (13) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට කටයුතු කළ බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

තවදුරටත් සීමාවට ලක්කර තිබෙන සමාජ ජාල අඩවි සහ සේවාවන් පිළිබඳ අධ්‍යයනය කළ ජනාධිපතිවරයා ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට වට්ස්ඇප් සේවාව වෙත දැනට ක්‍රියාත්මක වාරණය ඉවත් කිරීමට උපදෙස් දී තිබෙන නමුත් සමාජ මාධ්‍ය ජාලා අවභාවිත කරමින් ජාතිවාදය, වර්ගවාදය පතුරුවා හරිමින් ජනජීවිතය අවුල් කිරීම හා පුද්ගල ප්‍රතිරූපවලට හානි කිරීම වැළැක්වීම සඳහා වූ නියාමන ක්‍රමවේදයක අවශ්‍යතාවය ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර තිබේ.

ඒ අනුව, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්, ෆේස්බුක් සමාගමේ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් අද (15) දින ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත අතර එමඟින් හැකි ඉක්මනින් ෆේස්බුක් වෙබ් අඩවියට පනවා ඇති තාවකාලික වාරණය ඉවත් කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂණය සහ ආවේක්ෂණය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරමින් සිටී. එසේම, රටතුළ නොසන්සුන්තාවක් යළි ඇති වීමට ඉඩනොතබමින්, සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසත් මෙවැනි ක්‍රියාවන්ට වරදකරුවන් වන අයට නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

දැනට ජපානයේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටෙහි ආරක්ෂක තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා වෙත ලබාදුන් උපදෙස් අනුව අවශ්‍ය නියාමන, ආරක්ෂණ සහ ආවේක්ෂණ විධිවිධාන ක්‍රියාවට නැංවීමෙන් පසු, එතෙක් තාවකාලිකව වාරණයට ලක්කර තිබූ වයිබර් සමාජ ජාලය වෙත ප්‍රවේශය පෙරේදා (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි යළි ලබාදීමට කටයුතු කළ බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පසුගිය දිනවල, සමාජ මාධ්‍ය අවභාවිත කරමින් ජාතික සමඟියට බාධා වන පරිදි රටපුරා වර්ගවාදය සහ ප්‍රචණ්ඩත්වය මුදාහැරීම, ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානය කිරීම වැළැක්වීමේ පියවරක් ලෙස ඇතැම් සමාජ ජාලා වෙත ප්‍රවේශ වීමේ හැකියාව තාවකාලිකව සීමාකිරීමට රජය කටයුතු කරන ලදී. වර්ගවාදය, ආගම්වාදය හෝ විවිධ අන්තවාදයන් පදනම් කරගත් ප්‍රචණ්ඩකාරී චර්යාවන් වේගයෙන් පැතිරයාම කෙරෙහි සමාජ මාධ්‍ය සිදුකරන බලපෑම ජාත්‍යන්තර වශයෙන් ද තහවුරු වී ඇති තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ ජාතික සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් තාවකාලිකව පනවන ලද සමාජ ජාල වාරණය හේතුවෙන්, කලහකාරීත්වය සහ ප්‍රචණ්ඩත්වය සීඝ්‍ර ලෙස පැතිරයාම පාලනය කිරීමට හැකිවිය.

විදෙස්ගත ශ්‍රමිකයින්ට සිය නිවෙස් සමඟ සන්නිවේදනය කිරීමේ දී මුහුණදීමට සිදුවන අපහසුතාවන් මෙන්ම සංචාරකයින්ට සහ ව්‍යවසායකයින්ට සිදුවී ඇති අපහසුතාවන් පිළිබඳව විශේෂ අවධානය යොමුකරමින් රජය මේ තීරණය ගෙන තිබෙන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();