වසර 2019 අයි.සී.සී.ලෝක එක්දින කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට ඇෆ්ගනිස්තානය සමත්වෙයි. මේ තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා සිම්බාබ්වේ හී පසුගියදා පැවැති තරගාවලියේ අයර්ලන්තය සමග පැවැති තරගය කඩුලු 5කින් ජයගැනීමත් සමග ඇෆ්ගනිස්තානයට මේ අවස්ථාව හිමිවිය.
මෑත කාලයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නැගී එන විශිෂ්ටතම කණ්ඩායම බවට පත්වූ ඇෆ්ගනිස්තානය මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබුවේ පිට පිට දෙවැනි වරටය. මීට පෙර අවසන් වරට 2015 වසරේ ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පැවැති ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාවත් ඇෆ්ගනිස්තානයට හිමිවිය.
ලබන වසරේ මැයි මාසයේ සිට ජූලි මස 14 දින දක්වා එංගලන්තයේ සහ වේල්සයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට ඇෆ්ගනිස්තානය සමග බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් සුදුසුකම් ලැබීමට සමත් විය.
සුදුසුකම් ලැබීමේ තරගාවලිය පැවැති සත්කාරක රට වූ සිම්බාබ්වේ පිලට සහ ස්කොට්ලන්තයට එම අවස්ථාව අහිමිවී ගියේය. මේ තරගාවලියේ ආරම්භයේ සිටම දුර්වල ක්‍රීඩා විලාශයක නිරතවූ ඇෆ්ගනිස්තානය මූලික වටයේ තරග සියල්ල පරාජයට පත්වීම නිසා වේලාසනින්ම තරගාවලියෙන් ඉවත්වීමේ අවදානමක් මතුවූවත් හොංකොං පිල අනපේක්ෂිත ලෙස නේපාලය හමුවේ පරාජය වීම නිසා සුපිරි හය වටයට සුදුසුකම් ලැබිණි. එම වටයේදී සුපුරුදු දස්කම් අතරට පැමිණ කොදෙව් පිල, එමිරේට්ස් පිල සහ අයර්ලන්තය පරාජය කිරිමට ඇෆ්ගනිස්තානයට හැකිවිය.
0 Comments