Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගෝඨාට එරෙහි නීති කටයුතු ඇපෑලේ තීන්දුවෙන් පසුව

Author(s): 
සිරන්ජනි කුමාරි

වීරකැටිය, මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මගින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හත්දෙනාට එරෙහිව අභියාචනාධිකරණ තීන්දුවෙන් පසුව නීතිය ක්‍රියාත්මක කරන බවට මුල්‍ය අපරාධ කොට්ඨාසය ඊයේ (23) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය වෙත කරුණු දැක්වීය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් සැකකරුවන් විසින් අභියාචනාධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති ‍බව දන්වා සිටි මූල්‍ය අපරාධ කොට්ඨාසය එම නඩුවේ නියෝගයෙන් අනතුරුව තමන් නීතිය ක්‍රියාත්මක කරන බවට මුල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ පවසා සිටියේය.

මේ සැකකරුවන් දණ්ඩ නීති සංග්‍රහයේ හා පොදු දේපළ පනත යටත‍ට ගැනෙන වැරැදි සිදු කර ඇති බවත්, ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මත කිරීම සඳහා නීතිපතිවරයා විසින් නීතිපති උපදෙස් ලබා දී ඇතැයි ද මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු දැන්වීය.

මේ සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ එවකට සභාපති අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය.

මේ අනුව මේ සැකකරුවන් විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති හා 1982 පොදු දේපළ පනතට ගැනෙන වැරැදි සිදු කර ඇති බවට නීතිපතිවරයා විසින් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත දැනුම් දී ඇති බවට මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය වෙත දැන්වීය.

වීරකැටිය මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදි කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන නොමැති අතර, වීරකැටිය ප්‍රාදේශීය සභාවෙන් ද අවසර ලබාගෙන නොමැති බවට මූල්‍ය අපරාධ කොට්ඨාසය වැඩි දුර වාර්තාවක් මඟින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත දැනුම් දී තිබිණ.

මේ විමර්ශනයට අදාළව නීතිපතිවරයා විසින් අවස්ථා කිහිපයක දී ලබා දුන් උපදෙස් අනුව විමර්ශන පැවැත් වූ බව පවසන මූල්‍ය කොට්ඨාසය නාවික හමුදාව විසින් ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදි කිරීම සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය ගොනු සිය භාරයට ගත් බවත් එහි දී අනාවරණය වූයේ මේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රම දායකත්වය ලබා දීම එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දුන් වාචික උපදෙස් හා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරිීමේ සංස්ථාවේ එවකට හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා මහතා විසින් කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව සිදු කර ඇති බවය.

ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් පරිභාහිර ආයතනයක ව්‍යාපෘතියක් සිදු කිරීමේ දී දෙපාර්ශ්වය අතර මූලික සාකච්ඡාවක් පවත්වා ඉන් පසුව දෙපාර්ශ්වයේ එකඟතාව මත ගිවිසුමක් සකස් කර ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙනුවෙන් එහි සමාන්‍යාධිකාරිවරයා ද, සේවා ලාභියා වෙනුවෙන් එම ආයතනයේ වගකිව යුතු නිලධාරියකු අත්සන් කළ යුතු බවත් අනතුරුව මූලික වශයෙන් අත්තිකාරම් මුදලක් ලබා ගැනීමෙන් අනතුරුව ඉදි කිරීම් කටයුතු ආරම්භ කර ඉතිරි මුදල් කොටස් වශයෙන් අයකර ගන්නා බවට එම සංස්ථාවෙන් කරුණු අනාවරණය වුවත් මේ ව්‍යාපෘතියේ දී එවැනි සාකච්ඡාවක් ලිපි හුවමාරුවක් හෝ ගිවිසුමකට එළැබීමක් සිදු කර නොමැති බවට කරුණු අනාවරණය වන්නේ යැයි මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණ.

මේ ව්‍යාපෘතියේ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදි කිරීම සඳහා වීරකැටිය ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබා ගෙන නොමැති බවට එම ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරි අන්තෝනිගේ ගුණතිලක නැමැත්තාගේ ප්‍රකාශ අනුව අනාවරණය වන බවට වාර්තාවේ සඳහන්ය.

ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථ‍ාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාගේ ප්‍රකාශ අනුව මේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතියක් ද ලබාගෙන නොමැති බවත් එසේම මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගෙවීම් කටයුතු සිදු කිරීමේ දී මූල්‍ය රේගුලාසි උල්ලංඝනය කරමින් ගෙවීම් කටයුතු සිදු කර ඇති බවට ද කරුණු අනාවරණය වන බවට මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය වෙත දැනුම් දුන්නේය.

‍තව ද මේ ව්‍යාපෘතිය ආරම්භක අවස්ථාවේ දී කිසිදු සේවාලාභියකු පැහැදිලිව ඉදිරිපත් නොවීම හේතුවෙන් ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවේ නීති අංශයෙන් නිසි අධීක්ෂණයකට ලක්කර නොමැති බවත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවේ ජලාපවහන හා ගොඩ කිරීම් අංශය මඟින් නීති අංශයෙන් කිසිදු ඉල්ලීමක් නොකළ බැවින් අධීක්ෂණයක් නොකළ බවට එම ආයතනයේ නීති නිලධාරීන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වූ බවට වාර්තා වේ.

ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවේ එවකට සභාපති හර්ෂාන් ද සිල්වා මහතාගේ උපදෙස් අනුව (2013/9/13 ) එම ව්‍යපෘතියට අදාළ ප්‍රමාණ පත්‍රය සකස් කළ බවත් එසේ සකස් කිරීමේ දී භුමියේ පරීක්ෂාවක් සිදු නොකළ බවත් එමෙන්ම ශ්‍රම දායකත්වය නාවික හමුදාව ලබාදෙන බවට සභාපතිවරයා පැවැසීම හේතුවෙන් එම ප්‍රමාණ පත්‍රයට ශ්‍රම දායකත්වය ද ඇතුළත් කර නොමැති බව සඳහන්ය.

මේ ගෙඩනැගිලි සැලැස්ම වර්ග අඩි 1000ක් පමණ වන බවත් මේ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදි කිරීම් ව්‍යාපෘතිය වැඩ බිම පරීක්ෂා කිරීම සඳහා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවේ සභාපති හර්ෂාන් ද සිල්වා හා ඉංජිනේරු ඒෂණ රණවක මෙන්ම හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පැමිණි ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

වර්ෂ 2015/8/4 දින රාජපක්ෂ අනුස්මරණ අධ්‍යපනික සංස්කෘතික හා සමාජ සේවා පදනමේ ලේකම් විසින් මේ ව්‍යාපෘතියට වැය වූ මුදල් ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවට ලබා‍දන ලෙසට ඉල්ලීමක් කර ඇති බවට ද කරුණු අනාවරණය වේ.

මේ විමර්ශනයට අදාළ නඩුවේ නීතිමය කරුණු අභියෝගයට ලක් කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයේ 391/17 යටතේ නඩුවක් පවරා ඇති බවත්, එහි අතුරු තහනම් නියෝගයක් ලබන මාර්තු මස 26 දක්වා නිකුත් කර ඇති බව දැන් වූ මුල්‍ය අපරාධ කොට්ඨාසය එහි නියෝගයෙන් අනතුරුව නීතිපතිවරයාගේ උපදෙස් අනුව ක්‍රියා කරන බවට අධිකරණයට දැනුම් දුන්නේය.

ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථා‍වේ 2013, 2014 හා 2015 වර්ෂවලට අදාළ වාර්ෂික අවසන් ගිණුම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට ඇති බවත් විමර්ශන සිදු කර වාර්තා කිරීමට ඉදිරි දිනයක් ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සි‍ටියේය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();