පාකිස්තාන ජනරජ දින සැමරුම් උළෙල ඊයේ (23) පෙරවරුවේ ඉස්ලාමාබාද් නුවර දී අභිමානවත් අයුරින් පැවැත්වුණු අතර, එහි ප්රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූයේ ශ්රී ලංකා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතායි. උත්සව භූමිය වෙත ගිය ජනාධිපතිවරයා පාකිස්තාන අගමැති ෂහීද් කඛාන් අබ්බාසි මහතා විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය. අනතුරුව ජනාධිපතිවරයා විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන යනු ලැබූ අතර, පාකිස්තාන ජනාධිපති මම්නුන් හුසේන් මහතා, ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ පාකිස්තාන අග්රාමාත්යවරයා, කතානායකවරයා සහ පාකිස්තාන ත්රිවිධ හමුදාපතිවරු එහි අසුන් ගත්හ.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ පැමිණීමත් සමඟ උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණු අතර, දෙරටේ ජනාධිපතිවරු ඇතුළු පිරිස විශේෂ පීඨිකාවේ සිට හමුදා උත්තමාචාර පෙළපාළිය සහ විචිත්රවත් ගුවන් හමුදා සංදර්ශනය නැරැඹීමට එක්විය. පාකිස්තාන හමුදාව මෙන්ම බහරේන්, ජෝර්දාන්, එක්සත් අරාබි එමීර් රාජ්ය ඇතුළු රටවල හමුදාවන් මේ ගුවන් සංදර්ශනය සඳහා එක්ව සිටියහ. පැය 3කට ආසන්න කාලයක් පැවැති ජන රජ දින සැමරුම් උළෙල අලංකාරවත් සංස්කෘතිකාංග රැසකින් ද වර්ණවත් කෙරිණි. අනතුරුව පාකිස්තාන ජනාධිපති මම්නුන් හුසේන් මහතා විසින් උළෙල ඇමතූ අතර, ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර මිතුදමේ සුවිශේෂී සටහනක් තබමින් තම නිල ඇරැයුම පරිදි පාකිස්තාන ජන රජ දින සැමරුම් උළෙලට සහභාගි වූ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත එහි දී පාකිස්තාන ජනාධිපතිවරයාගේ හෘදයාංගම ස්තූතිය පිරිනැමිණි.
0 Comments