අක්ෂි ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ගෙන් සියයට 20ක් ම ග්ලෝකෝමා රෝගයට ගොදුරුව ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිතා සෙනරත් මහත්මිය පවසයි.
ග්ලෝකෝමා රෝගය කලින් හඳුනා ගැනීමට ක්‍රමයක් නොමැතිකම හේතුවෙන් දෘෂ්ටි ස්නායුවට හානි වීම, ඇසේ පෙනුම ක්‍රමයෙන් අඩු වීම, අන්ධභාවයට පත් වීම යනාදිය සිදු වන බවත් මේ රෝග අවදානමෙන් මිදීම සඳහා වයස අවුරුදු 40 ඉක්ම වූ විට අක්ෂි පරීක්ෂාවකට ලක්වීම වඩාත් වැදගත් බවත් ඒ මහත්මිය පැවැසුවාය.
ලෝක ග්ලෝකෝමා සතිය මේ මස 11වැනි දා සිට 17 වැනිදා දක්වා ක්‍රියාත්මක කෙරේ. එම සතිය නිමිත්තෙන් ජාතික අක්ෂි රෝහලේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.
පවුලේ අයකුට ග්ලෝකෝමා රෝගය පැවැතීම, අවිදුර දෘෂ්ටිකත්වය, දියවැඩියාව රෝගය, ඇසට අනතුරක් සිදු වීම, ස්ටීරොයිඩ ඖෂධ භාවිතය යනාදිය පවතින්නේ නම් ග්ලෝකෝමා අවදානම පවතින්නේ යැයි ද, රෝගය සම්බන්ධයෙන් මහජනතාව වැඩිපුර දැනුවත් කිරීම ඔස්සේ රෝගය වළක්වා ගත හැකි යැයි ද වෛද්‍ය ලලිතා සෙනරත් මහත්මිය පැවැසුවාය.
වසර 2020 වන විට මේ රෝගයට ගොදුරු වීමේ හැකියාව ඇති ලෝක ජනගහනය මිලියන 76 ක් බවත් වසර 2040 වන විට ග්ලෝකෝමා රෝගීන් මිලියන 111 වැඩි සංඛ්‍යාවක් ලෝකය පුරා සිටිනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවත් ඇය කීවාය.
වැඩිහිටි ජනගහනය වැඩි වීමත් සමඟ ග්ලෝකෝමා රෝගීන් සංඛ්‍යාව වැඩි වී ඇති බවත් මේ රෝගය හේතුවෙන් මෙරට ජනගහනයෙන් දහස් ගණනක් අන්ධභාවයට පත්ව තවත් දහස් ගණනක් අල්ප දෘෂ්ටිකතාවයෙන් පෙළෙන බවත් ඇය පැවැසුවාය.
රෝගය කලින් හඳුනා ගැනීම මඟින් ඖෂධ ප්‍රතිකාර, ලේසර් කිරණ ප්‍රතිකාර, ශල්‍ය ප්‍රතිකාර ඔස්සේ ඇසේ පෙනුම තබා ගත හැකි යැයි ද ඒ මහත්මිය අවධාරණය කළාය.
මේ අවස්ථාවට ජාතික අක්ෂි රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ලයනල් මුහන්දිරම්, නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රිෆාස්, අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය නලීන් රාජකරුණා, විෂන් 2020 වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග මහත්ම මහත්මීහු සහභාගී වූහ.
0 Comments