Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වසර 2025 දී අපනයන ආදායම දෙගුණ කරනවා

Author(s): 
මානෙල් පුෂ්ප කුමාරි

වසර 2025 වන විට අපනයන ආදායම දෙගුණ කරන බව ප්‍රාථමික කටයුතු ඇමැති දයා ගමගේ මහතා ප්‍රකාශ කළේය.

විශ්වවිද්‍යාල හා කර්මාන්තකරුවන් අතර අන්තර් සම්බන්ධතා ගොඩනැගීම සඳහා බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පෙරේදා (12) පැවැති වැඩසටහනේ දී මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බවද කීය.

මේ වැඩමුළුව අප රටේ ආර්ථික ප්‍රවර්ධනයට විශේෂයෙන් ම වැදගත් වෙනවා. මෙරට රාජ්‍ය ආයතන මඟින් සොයා ගන්නා දේ වාණිජමය වෙන්නේ නැහැ. අප රටේ සංවර්ධනයට දායකත්වය ලබා දෙන්නේ නැහැ. රාජ්‍ය අංශය සොයා ගන්න දෙයින් පෞද්ගලික අංශය ලාභ ලබා ගන්නවා කියන මානසිකත්වය අපි බැහැර කළ යුතුයි. විදේශ රටවල ගොඩක් සොයා ගැනීම් කරන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝයි. නමුත් අපේ රටේ විශ්වවිද්‍යාලවල එහෙම නෑ. අපේ විශ්වවිද්‍යාලවල තියෙන්නේ අධ්‍යයන පැත්ත පමණයි.

ගොවීන්ට නොමිලේ පොහොර දීම නිසා අස්වැන්න අඩු වෙලා තියෙනවා. හෙක්ටයාරයකින් වී කිලෝ 5000ක අස්වැන්නක් අපි ලබනවා. අපි කන්න දෙකටම තමයි මේ ගාන ගන්නේ. චීනය හෙක්ටයාරයකට එක් කන්නයකට වී කිලෝ 12500ක අස්වැන්නක් ලබනවා. ඇයි අපිට ඒ තැනට යන්න බැරි. ඒ අයට වතුර නැහැ. දේශගුණික ප්‍රශ්න තියෙනවා. ඒ අය දින 21ක් කර්මාන්තශාලාව තුළ වගා කර පසුව තමයි කුඹුරට ගේන්නේ. අපේ ශ්‍රී ලාංකිකයෙක් ජපානයේ ග්‍රීන් හවුස් 4ක් පාලනය කරනවා. නමුත් අපේ රට අපොහොසත් වෙලා. විදේශ රටවල අය අධිතාක්ෂණය සමඟ වැඩ කරනවා වගේම වැඩි ආදායමක් ලබා ගන්නවා.

අපේ අය බලන්නේ කොහොම හරි රජයේ රැකියාවකට යන්නයි. උදේ රැකියාවට ගිහින් හවසට ගෙදරට එන්න. ඒ මානසිකත්වයෙන් මිදිලා කැපවීම ඇති කරන්න ඕනෑ විශ්වවිද්‍යාල වලින්. විශ්වවිද්‍යලයෙන් එළියට එන දරුවා සොයන්නේ අතු ගාන්න හරි කමක් නැහැ රජයේ රැකියාවක්. රජයේ රැකියාවේ විශ්‍රාම වැටුප දිහා බලා ඉන්නවා. දියුණුවක් ගැන සිතන්නේ නැහැ. මෙතනින් කොහොමද අපේ රට ඉදිරියට ගෙන යන්නේ. විශ්වවිද්‍යාල සෑම දරුවකුම තමන්ගේ ධෛර්යයෙන් ආර්ථිකයට දායකත්වයක් දෙන්න පුළුවන් රැකියාවක් කරනවා නම්, ඒ තමයි ඒ අය රට වෙනුවෙන් කරන දායාදය.

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය සංවිධාන කළ මෙම සම්මන්ත්‍රණය ලැන්කෂයර් විශ්ව විද්‍යාලය සහභාගී කර ගනිමින් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල හා කර්මාන්ත ක්ෂේත්‍රය අතර සහයෝගීතාව ඇතිකිරීමට එක්සත් රාජධානියේ අදහස් හා ඔවුන්ගේ අත්දැකීම් ලබා ගැනීම සිදුවේ.

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බන්දුල වික්‍රමආරච්චි මහතා පිළිගැනීමේ කතාව කළ අතර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය පී.එස්.එම්.ගුණරත්න , ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, මොරටුව විශ්වවිද්‍යාලයේ ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආනන්ද ජයවර්ධන, බ්‍රිතාන්‍යයේ මධ්‍යම ලැන්කෂයර් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මාටින් බ්‍රවුන් මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

ඡයාරූපය - වාසිත පටබැදිගේ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();