රාජපක්ෂ පවුලෙත්-හිතවතුන්ගෙත් ආරක්ෂකයන්ගෙත් ප්‍රකාශ ගත්තා
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයන් සමඟ සමීප සබඳතා පැවැත් වූ හා ආරක්ෂක කටයුතුවල නිරතව සිටි පොලිස් හා නාවික හමුදා නිලධාරීන් රහස් පොලිසිය වෙත ගෙන්වා රගර් ක්‍රීඩක මෙහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගත් බවට රහස් පොලිසිය ඊයේ (26)කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දර්ශිකා විමලවීර මහත්මිය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේය.
මහබොටුවන විතානගේ යසාරා අබේනායක, නයනබදුගේ සරත් කිර්ති නන්ද, නංමුනිකන්කානම්මහදුරගේ ඉන්දික තුෂාර, රණතුංගආරච්චිගේ සංජය නවරත්න, පුල්ගිනිලාගේ දුමින්ද ඉන්ද්‍රලාල් නවරත්න, විත්සුරියමුදලිගේ චාමින්ද ප්‍රියදර්ශන, කඹුරුවෙලකංකානම්ගේ දොන් ජයන්ත කුමාර, ගුණවර්ධනආරච්චිගේ ප්‍රෙඩි ටයිටස් අබේසිංහ, පහලගෙදර අජිත් කුමාර කපිල යන අයගෙන් මෙසේ ප්‍රකාශ ලබා ගත් බවට රහස් පොලිසිය අධිකරණය හමුවේ පැවැසීය.
මීට අමතරව 2012/5/1 සිට 2012/5/30 යුද හමුදාවේ හා නාවික හමුදාවේ රාජකාරි ලේඛන හා නාවික නිලධාරීන් භාවිතා කළ PB7935ÓPQ8001යන නිසාන් වර්ගයේ කැබ් රථ හා GB0556BMW කාර්රථය සම්බන්ධ ධාවන සටහන් පොත් නාවික හමුදාපතිවරයාගෙන් හා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා තිබුණත් මෙතෙක් වාර්තා ලැබී නොමැති බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.
මරණකරු වූ වසීම් තාජුඩීන් ලුහුබැඳ ගිය කාර් රථයේ පුද්ගලයාගේ රුවට සමාන ඡායාරූප කිහිපයක් සංසන්දනය කිරීම සඳහා රජයේ සැකකටයුතු ලේඛන දෙපාර්තමේන්තුව 2018/1/2 වන දින වෙත යොමු කර ඇතත් මේ දක්වා එහි වාර්තා ද ලැබී නොමැති බවට රහස් පොලිසිය අධිකරණය වෙත දැන්වීය.
නාරාහේන්පිට පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩේමියන් පෙරේරාට හා දෙවන සැකකරු වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක යන අය සිද්ධිය වූ දින හා ඊට පසු දිනයන්හි කොළඹ ජනපති මන්දිරය හා අරලියගහ මන්දිරයට ලැබී තිබු සැක සහිත ඇමතුම් සම්බන්ධයෙන් වැඩි දුර විශ්ලේෂණ කටයුතු සඳහා ජනපති ලේකම් කාර්යාලයේ දුරකථන පුවරුවේ සවිකර තිබී භාරයට ගෙන තිබූ මාධ්‍ය සැකසුම් යන්ත්‍රය 2018
/1/19 වන දින ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කැඳවනු ලැබු මෘදුකාංග ඉන්ජිනේරුවරුන් වෙත හා පෙන්ටන්ස් ආයතනයේ මෘදුකාංග ඉන්ජිනේරුවරුන් සිද්ධිය වූ දින හා පසු දින අරලියගහ මන්දිරයේ ලැබුණු ඇමතුම් හා අභ්‍යන්තර හුවමාරු වූ ඇමතුම් සම්බන්ධ වාර්තාවක් ලබා ගෙන විශ්ලේෂණය සිදු කරමින් සිටින බවට ද රහස් පොලිසිය අධිකරණය වෙත වාර්තා කර තිබිණ.
මරණකරු සේවය කළ සිට්ට්‍රස් වැකේෂන් පුද්ගලික ආයතනයේ භාවිතා කළ ලැප්ටෝප් හා ඩෙස්ටෝප් පරිගණක තුළ අන්තර්ගතව ඇති දත්ත පරීක්ෂාව සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක පිඨය වෙත යොමු කර විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට පියවර ගත් බවට අධිකරණයට කරුණු දැක් වූ රහස් පොලිසිය, මරණකරු සමඟ ගිනි ගැනීමට ලක් වූ 6543 දරන විට්ස් වර්ගයේ කාර් රථය 2017/12/28 තිබූ ස්ථානයෙන් ඉවත්ව සුරක්ෂිතව වෙනත් ස්ථානයක ගාල් කර ඇති බවට ද පැවැසීය.
මීට අමතරව වසීම් තාජුඩීන් භාවිත කළ දුරකථන සම්බන්ධයෙන් 2012/1/11 සිට 2015/8/3 ලද ඇමතුම් සම්බන්ධව රහස් පොලිසියේ ස්ථාපිත වෝහාරික විද්‍යාගාරයේ පරීක්ෂණ පවත්වන බවත් මෙතෙක් වාර්තා ලැබී නොමැති බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.
සිද්ධිය ඊයේ යළි කැඳ වූ අවස්ථාවේ දී සැකකරුවන් වන නාරාහේන්පිට පෙලිසියේ අපරාධ අංශ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික පෙරේරා, හිටපු නියේජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා හිටපු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර යන අය අධිකරණය හමුවේ පෙනී සිටියහ.
සිද්ධියට අදාළ විමර්ශන සඳහා කාලය අවශ්‍ය බවට රජයේ අධි නීතිඥ ඩිලාන් පෙරේරා මහතා අධිකරණයට දැක් වූ කරුණු සලකා මහේස්ත්‍රාත්වරිය නැවත නඩුව කැඳවීම මැයි මස 2 වැනි දිනට කල් තැබිණ.
0 Comments