ෆවුස් මොහොමඩ්
දේශීය බොක්සිං වළල්ලේ ආධිපත්‍යය පතුරුලමින් පිට පිට 6 වැනි වරටත් ක්ලිෆර්ඩ් කුසලානය අත්පත් කරගැනීමට ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය සමත්විය. කොළඹ රාජකීය විදුහලේ ‘රෝයල් මාස් ඇරීනා‘ බොක්සිං වළල්ලේ දී පසුගියදා නිමාවට පත්වූ 91 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ පිරිමි තරග අංශයේ රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ස්ලිම්ලයින් කණ්ඩායම සිය කිරුළ රැක ගත්තේය.
ස්ලිම්ලයින් කණ්ඩායමට ක්ලිෆර්ඩ් කුසලානය අත්පත් කරදෙමින් ඩබ්.ඒ.සී.අයි. පෙරේරා (කි.ග්රෑ.49), යූ.එන්.කේ. අමරවංශ (කි.ග්රෑ.56), ආර්.එම්.ඒ.බී. ගුණතිලක (කි.ග්රෑ.60), පී.වී.ඩී.ඩී.සපරමාදු (කි.ග්රෑ.64), ජි.ජී.ඩී.ඒ.ගුණසේකර (කි.ග්රෑ.75) සහ එල්.ටී.බී. රත්නදිවාකර (කි.ග්රෑ.91ට වැඩි) රන් පදක්කම් දිනාගත්හ.
මේ අතර කාන්තා තරග අංශයෙන් රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනූ යුනිචෙලා බොක්සිං සමාජය තරගාවලියේ සමස්ත කාන්තා ශූරතාවට හිමිකම් කීමට සමත්විය.
පසුගිය වසරේදිත් කාන්තා ශූරතාව දිනූ යුනිචෙලා කණ්ඩායමට සුපිරි ක්‍රීඩිකා අනූෂා කොඩිතුවක්කු (කි.ග්රෑ.48), ජේ.ඒ.ඩී.ජයසිංහ (කි.ග්රෑ.51), කේ.ඒ.කේ.හංසිකා (කි.ග්රෑ.57), එච්.එම්.කේ.ජී.එල්. උදයංගනී (කි.ග්රෑ.69) සහ ජී.ඩී.එම්.එච්. ජයදේව (කි.ග්රෑ.81ට වැඩි) රන් පදක්කම් අත්කර දීමට සමත්වූහ.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ස්ලිම්ලයින් පිලේ දිනිඳු සපරමාදු දෙවැනි වරටත් සම්මාන දිනූ අතර වසර දෙකකට පසුව යළි බොක්සිං වළල්ලට පිවිසි යුනිචෙලා කණ්ඩායම නියෝජනය කළ අනූෂා කොඩිතුවක්කු දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්විය.
හෙල ක්ලෝතින් කණ්ඩායමේ බී. ජී.ආර්.අයි. වර්ණසූරිය හොඳම පරාජිත ක්‍රීඩකයා ලෙසත්, යුද හමුදා ‘ඒ‘ පිල නියෝජනය කළ එච්.එස්. ප්‍රියදර්ශනී හොඳම පරාජිත ක්‍රීඩිකාව ලෙසත් සම්මානයට පාත්‍රවූහ.
තරගාවලියේ පිරිමි තරග අංශයේ සමස්ත දෙවැනි ස්ථානය දිනාගනු ලැබුවේ රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 6ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් යුද හමුදා කණ්ඩායම විසිනි. එහි තුන්වැනි ස්ථානය රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනාගත් නාවික හමුදා කණ්ඩායමට හිමිවිය.
රන් පදක්කම් 2ක් දිනාගත් හෙල ක්ලෝතින් කණ්ඩායම කාන්තා තරග අංශයේ දෙවැනි ස්ථානය දිනාගත් අතර ගුවන් හමුදා කණ්ඩායම කාන්තා තරග අංශයේ තුන්වැනි තැනට පත්වුයේ රන් පදක්කමක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනාගනිමිනි.
ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් මෙහෙයවනු ලැබූ 91 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ ත්‍යාග ප්රදානෝත්සවය එම සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
0 Comments