Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇතැම් අය ජනපති ප්‍රමුඛ රජය අපහසුතාවට පත්කරන්න සැලසුම් කරනවා

Author(s): 
සමන්මලී ප්‍රියශාන්ති

වැඩවර්ජන, බඩු මිල ඉහළ දැමීම, භාණ්ඩ සඟවා තැබීම වැනි විවිධ කඩාකප්පල්කාරී ක්‍රියාවල යෙදෙමින් ඇතැම් පිරිස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ රජය අපහසුතාවට පත් කරන්නට සැලසුම් සහගත අයුරින් කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපකීර්තියට පත් කරන ආකාරයේ කටකතා පැතිරවීමට වෙනම බළකායක් නිර්මාණය කර තිබෙන බවට තොරතුරු වාර්තා වන බවද අමරවීර මහතා පැවසීය.

හෙතෙම මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට ඊයේ (12) එක් වෙමිනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතුව 2020දී සන්ධාන රජයක් බිහි කිරීමට කැමැති සියලු දෙනා මේ වන විට පක්ෂය වටා ඒකරාශී වී තිබෙන බවත් මේ නිසා විවිධ පාර්ශ්වයන්ගේ අභූත චෝදනා හා ක්‍රියාකාරකම්වලට මුහුණ දීමට ජනාධිපතිවරයාට හා පක්ෂයට ශක්තිය තිබෙන බවත් ඇමැතිවරයා මෙහිදී කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමරවීර මහතා මෙසේද කීවේය.

අපි එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස නාමයෝජනා බාර ගැනීම ආරම්භ කර තිබෙනවා. ජනාධිපතිතුමා පිරිසිදු ආණ්ඩුවක් බිහි කිරීමට හා පිරිසිදු පළාත් පාලන ආයතන බිහි කිරීමත් බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිතුමාගේ මේ වැඩපිළිවෙළ කෙරෙහි පැහැදුණු නිසාම අද බහුතර පිරිසක් අප වටා එක් වෙමින් සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්තීවරු වගේ ජනතා නායකයින් රැසක් අපි සමඟ එක්ව සිටිනවා. පක්ෂය වටා ගොනු වෙන මේ පිරිස දෙස බැලූ විට ඉදිරි මැතිවරණයෙන් අපේ ජයග්‍රහණය ගැන අපට සැකයක් නැහැ. මේ වන විටත් සහෝදර පක්ෂ රැසක් ද අප සමඟ එක් වී සිටිනවා. කඳුකරයේ ද්‍රවිඩ පක්ෂ වගේම මුස්ලිම් පක්ෂ රැසක් අප සමඟ එක්ව තරග කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපතිතුමා එක්ක අත්වැල් බැඳ ගෙන මැතිවරණයට ඉදිරිපත් වීමට තවත් පක්ෂ රැසකින් ඉල්ලීම් ලැබී තිබෙනවා.

මේ සියලු දෙනාට නාම යෝජනා දීමට බැරිවීම අපට තිබෙන ලොකුම ගැටලුවයි. ඇතැම් කොට්ඨාසවලට අපේක්ෂකයන් නවදෙනා ඉදිරිපත් වී තිබෙනවා. නාමයෝජනා ලබා දීමට නොහැකි වීම නිසා ගැටලු මතු වෙනවා. මෙවර නාමයෝජනා දීමේදී ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව අපි ඉතාමත් පරිස්සම් වුණා. පිරිසිදු, උගත්, බුද්ධිමත් එමෙන්ම පළාත් පාලන ආයතනවල කටයුතු කරන්න හැකි, චෝදනාවලට ලක් නොවු පිරිස් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා අපට උපදෙස් දී තිබෙනවා.

මේ සියල්ල අතර රජයට විවිධ අභියෝග ඇති කරන්නට විවිධ පාර්ශ්ව කටයුතු කරමින් සිටිනවා. වැඩවර්ජන, බඩු සඟවා තබා ගැනීම, මිල ඉහළ දැමීම, කඩාකප්පල්කාරී කටයුතු විවිධ කණ්ඩායම් විසින් සැලසුම් සහගත ලෙස යෙදී සිටින බව පැහැදිලිව පේනවා. පාසල් දරුවන්ගේ විභාග කටයුතු අඩාල කිරීම කටයුතු කරනවා. එමෙන්ම කටකතා ප්‍රචාරය කිරීම සඳහාම වෙනම බලකායක් හදලා තිබෙන බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. එවැනි විවිධ දේවල් අද ක්‍රියාත්මක වෙනවා. මේ සියලු දේට මුහුණ දීමේ ශක්තිය ජනාධිපතිතුමාටත් පක්ෂයටත් තිබෙනවා.

සයිටම් ගැටලුව ගැන දීර්ඝ කාලයක් කතා වුණා. ප්‍රවෘත්තිවල මුල් පුවත ලෙස පත්වුණා. නමුත් ගැටලුව විසදුණු පසු ඒ ගැන අවසන් පිටුවේ පළ වුණේ. අද ඒ ගැටලුව ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් විසඳා දී තිබෙනවා. කැබිනට් මණ්ඩලය අද අවම සුදුසුකම් ගැන සාකච්ඡා කර ඒ ගැටලුවට අවසන් විසඳුමක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දැනට සයිටම් ආයතනයේ සිටින දරුවන්ට අවම සුදුසුකම සී - 2 යි එස් - 1 යි බවට තීරණ කර තිබෙනවා.

ආචාර්ය මහාචාර්යවරු සිසු දරුවන් ඉල්ලා තිබුණු ඉල්ලීමක් අනුව තමයි මේ සුදුසුකම සම්බන්ධයෙන් ඇමැති මණ්ඩලය තීරණයක් ගත්තේ.

ජාතික නිදහස් පෙරමුණෙන් පමණක් නොව මහජන එක්සත් පෙරමුණ වැනි පක්ෂ රැසකින් පිරිස් අපේ පක්ෂයට ආවා. 2020 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුමුඛ ආණ්ඩුවක් හදන්න කැමැති පිරිස්, පිරිසිදු ආණ්ඩුවක් හදන්න කැමැති පිරිස් අපිත් එක්ක එකතු වෙනවා. පිරිසිදු කට්ටියට එන්න පුළුවන් තැන මෙතැනයි. අනිත් කට්ටියට යන්න පුළුවන් තැන් තිබෙනවා. ඔක්කොම කුණු බේරුවල බොක්කට වගේ ඒ අයට එතැනට යන්න පුලුවන්. ජනතා නායකයින් මෙන්ම, ගම් මට්ටමින් ද අද සමාජිකයෝ රැසක් අපට එක් වෙලා තිබෙනවා. ඒ අය පෙළඹවීමක් කරනවා නායකයින්වත් මෙතැනට එකතු වෙන්න කියලා. ඒ අයගේ අරමුණ වන්නේ 2020 දී ශ්‍රීලනීප ආණ්ඩුවක් හදන්නයි.

ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට දිස්ත්‍රික්ක රැසක නාමයෝජනා පත්‍ර බාර දිලා තිබෙනවා. අපි මෙවර ඉදිරිපත් කරන්නේ අලුත් මුහුණු. ගමේ ජනතාව අලුත් ප්‍රවණතාවක් ගමේ ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මැතිවරණය ගමේ ජනතාවගේ කැමැත්තෙන් වෙන දෙයක්. ජනතාව පිළිගත් අපේක්ෂකයින් ඉන්නවා. පිළි නොගත් අය ඉන්නවා. අපිට මේ නාමයෝජනා සකස් කරද්දි බෙදීම ගැන ගැටලුවක් තිබුණත් ගම් වල ජනතාව අතර එවැනි බෙදීමක් නැහැ. ඒ බව අද පැහැදිලියි. නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා ද මෙහිදී අදහස් දැක්වීය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();