මහජන ගැටලු ඝෘජුව ජනාධිපතිවරයා වෙත යොමු කර විසඳුම් ලබාදීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය ක්‍රියාත්මක කරනු ලබන 'ජනපතිට කියන්න' වැඩසටහන පසුගියදා ඊ ස්වාභිමානී රන් සම්මානයෙන් පිදුම් ලැබීය.
තොරතුරු තාක්ෂණය පොදුජන සේවය වෙනුවෙන් උපරිමයෙන් භාවිත කිරීම ඇගයීමට ලක් කරමින් ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් 'ජනපතිට කියන්න' වැඩසටහන, මෙම සම්මානයට පාත්‍ර කළ අතර ඊයේ (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී එම සම්මානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදෙනු ලැබීය.
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතළ පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් වසන්ත දේශප්‍රිය මහතා විසින් සම්මානය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන, ජනාධිපති අතිරේක ලේකම් සුනන්ද කාරියප්පෙරුම, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සමන්ති රණසිංහ, ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී සමන් පෙරේරා, සාමාන්‍යාධිකාරී ප්‍රභාත් ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
'ජනපතිට කියන්න' වැඩසටහන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වීමේ පළමු වර්ෂ පූර්ණය වෙනුවෙන් හඳුන්වාදෙන ලද අතර රජයේ සේවා සැපයීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරමින් මහජන ගැටලු, දුක්ගැනවිලි සහ අදහස් හා යෝජනා ජනාධිපතිතුමා වෙත කාර්යක්ෂම සහ සරලව ඉදිරිපත් කිරීමට සහ ඊට කඩිනමින් ඵලදායීව ප්‍රතිචාර දක්වමින් විසඳුම් ලබා දීමට පහසුකම් සැලසීම මෙහි අරමුණයි.
මහජනතාවට 1919 දුරකථන අංකය ඔස්සේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන් හෝ වෙබ් ඊමේල්, තැපැල් යන ආකාරවලින් ජනාධිපති කාර්යාලය වෙත තමන්ගේ පැමිණිලි, දුක්ගැනවිලි හෝ යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ජනපතිට කියන්න වැඩසටහන හරහා ලබා දී ඇත.
මෙයට ලැබෙන පැමිණිලි ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය මගින් පරික්ෂා කෙරෙන අතර එහි දී එම පැමිණිලි, දුක්ගැනවිලි වැඩිදුර කටයුතු සඳහා අදාළ අමාත්‍යාංශ හෝ ආයතන වෙත යොමු කරනු ලබයි.
ඉහත සියලු කටයුතු නව තාක්ෂණය යොදාගෙන නිර්මාණය කරනු ලැබූ පරිගණක දත්ත පද්ධතියක් හරහා කාර්යක්ෂමව ක්‍රියාත්මක වේ.
ජනපතිට කියන්න වැඩසටහනට මේ වන විට පැමිණිලි 164504ක් ලැබී ඇති අතර, ඉන් විසඳා අවසන් කළ පැමිණිලි සංඛ්‍යාව 62351කි. විසඳමින් පවතින පැමිණිලි සංඛ්‍යාව 59351 ක් වේ.
0 Comments