දේශීය ගොවියාට නිෂ්පාදකයාට තිබූ සියලු අවස්ථා අහිමි කළා
බඩුමිල අඩු කළ හැක්කේ ජාතික නිෂ්පාදනය වැඩි කිරීමෙන් පමණයි
රිෂාඩ්ට අසීමිත බලයක් කප්පම් ලෙස ආයතන 45ක් යහපාලනය ලබා දී තිබුණා
වෙළෙඳ ඇමැති වශයෙන් සිටිමින් සහල් මෙට්‍රික්ටොන් දසදහස් ගණනින් ආනයනය කරලා
යහපාලනයේ පව් අපට ගෙවන්න වෙලා
සාමපුරම් සමූපකාර ගමට මිලියන 700ක් වෙන් කරලා
2015-2019 යහපාලන පාලන සමයේදී රිෂාඩ් බදියුදීන් මහතා දැරූ අමාත්‍යාංශය යටතේ සිදුවී ඇති ආයතන වල දූෂණ අක්‍රමිකතා සොයා බැලීම වෙනුවෙන් පැමිණිලි ගණනාවක් සිදුකර ඇති බවත්, අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කඩිනමින් සිදුකරන ලෙස ඉල්ලා සිටින බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ වෙළෙඳ අමාත්‍යාංශය පිළිබඳ කාරක සභා වැය ශීර්ෂයට එක් වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද පැවසීය.
අද දින කර්මාන්ත අමාත්‍යාංශයේ වැය ශිර්ෂය පිළිබඳ පිළිතුරු කතාව කරන්න මට ඉඩ දෙන්න. සභාව මෙහෙයවගන්න බැරුව කතාකරන්නේ කොහොමද. අපේ පූර්වගාමි ඇමැතිවරයා තමයි රිෂාඩ් බදියුදීන්.
රිෂාඩ් බදියුදීන් මේ අමාත්‍යාංශයේ පසුගිය ඇමැතිවරයායි. එතුමාට අසීමිත බලයක් තිබුණා. අන්තවාදය වෙනත් කප්පම් දීම් ලෙස ආයතන 45ක් එතුමාට ලබාදී තිබුණා. එම වකවානුවේදී ලංකා ඉතිහාසයේ කිසිම කාලයක සිදුනොවුන ආකාරයයේ වංචා රැසක් සිදුවුණා. එතුමාට ලැබුණු බලපරාක්‍රමය උපයෝගි කරගනිමින් මේ රටේ දේශීය ගොවියාට, නිෂ්පාදකයාට තිබුණු සියලු අවස්ථා අහිමි කළා.
මේ ආයතන සියල්ලම විනාශ කළා. සහල් මෙට්‍රික්ටොන් දසදහස් ගණනින් ආනයනය කළ ඇමතිවරයා තමයි පසුගිය කාලයේ වෙළෙද ඇමැති. ඒ සඳහා තිබෙන චෝදනාපිළිබඳ පැමිණිලි ගණනාවක් අප අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබෙනවා. නමුත් අවාසනාවකට පසුගිය රජය මේ රටේ මන්ත්‍රීවරුන්ට එළවා එළවා පහර දී නඩු පිට නඩු දමමින් කටයුතු කළා. නමුත් මේ පැමිණිලි සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගන්නා තරමට ඈලි මෑලි ප්‍රතිපත්තියක් තමයි අනුගමණය කරමින් තිබෙන්නේ.
පසුගිය කාලයේදී මෙම අමාත්‍යාංශය තුළ සිදුවී ඇති දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස මා පොලිසිය භාර ඇමැතිවරයාගෙන් ද ඉල්ලා සිටිනවා. මා ගිය සතියේ එතුමාගේ ගම් ප්‍රදේශයේ තිබෙන ගම්මානයකට ගියා. සාමපුරම් නම් සමූපකාර ගම්මානයකට කැබිනට් මණ්ඩලයෙන් විශාල මුදලක් වෙන්කර තිබෙනවා. මිලියන 700ක් වෙන්කරලා. මේ රාජ්‍ය අරමුදල් අයතා භාවිතය පිළිබඳ පරීක්ෂණ කරන්න. බණ්ඩාරනායක සම්මත්න්‍රණ ශාලාවවගේ ශාලාවක් හදලා. වෙන ඇමැතිවරයෙක් මේ ආකාරයට රාජ්‍ය මුදල් අවභාවිත කළා නම් නඩු අහන්නෙම නැතිව සිරගත කරලා. මේ වගේ ඇමැතිවරයෙක් යටතේ පසුගිය කාලයේදී අදාළ ඇමැතිවරයා යටතේ පැවැති ආයතන සියල්ල විනාශ කරලා. එදා මහින්ද රාජපක්ෂ මහතාගේ
වකවානුවේදී රට තුළ අර්බුද ගණනාවක් තිබුණා. සප්ත මහා අභියෝගවලට එතුමා මුහුණ දුන්නා. සුනාමියෙන් විනාශ වී තිබු රට එතුමා ගොඩගත්තා. තිස් අවුරුදු යුද්ධය තිබුණා. රාජය ණය අර්බුදය ආදි අර්බුද තිබුණා. යුද්ධය තිබුණත්, ඛණිජ තෙල් අර්බුද තිබුණත්, ඒ අභියෝග මැද අප මේ ආයතන ශක්තිමත් කළා. වෙළද ඇමැතිවරයා ලෙස ඒ රජය යටතේත් විශාල වැඩකොටසන් මම ඉටු කළා. අප හොරකම, වංචාව දුෂණය ආදියෙන් තොරව දියුණු කළා. වසා දැමීමට නියමිතව තිබූ ආයතන අප දියුණු කළා. ලාභ ලබන ආයතන ලෙස දියුණු කළා. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ වකවානුවේදීත් මේ ආයතන දියුණු කළා . රවී කරුණානායක මහතාත් මේ ආයතන විනාශ කළා. ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා සතොස වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කළා. අලුත් ආයතන ගණනාවක් ඇති කළා. එතුමාගේ ගෝලයා සතොස විනාශ කළා.
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා සතොස විස්සක් විවෘත කළා. නලින් ප්‍රනාන්දු සභාපතිවරයා සභාපතිවරයා ලෙස සම්බන්ධ කරගනිමින් විවිධ අයගේ අපහාස උපහාස මැද සතොස ජාලය පුළුල් කළා.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් මේ ආයතන ආරක්ෂා කළා. නමුත් යහපාලන ආණ්ඩුව පසුගිය කාල සීමාවේදී බරපතළ ලෙස පාඩු කළා. 2015 වසරේ සිට සතොස ආයතතනයට දිගින් දිගටම පාඩු කළා. අලාභ ලැබුවා. ඒ වගේම සතොස සැපයුම් කරුවන්ට බිලියන හතක් විතර ගෙවන්න තිබෙනවා. පොලු තියලා. ඒනිසා මේ මිනිස්සු අද සතොසට බඩු දෙන්නෙ නැති තැනට පත්වෙලා. ඒනිසා අප කැබිනට් මණ්ඩලයට ගිහින් විශෙෂ අවසරයක් ගත්තා. රුපියල් බිලියන 2.5ක බඩු අඟහරුවාදා මිලදී ගන්නවා. සිකුරාදා වෙනකොට මුදල් ගෙවනවා. ඒ සාධාරණ ප්‍රතිඥාව අනුව තමයි අප කටයුතු කරන්නේ.
යහපාලන ආණ්ඩුවේ තමුන්නාන්සේලා කරපු පව් ගෙවන්න වෙලා තිබෙන්නේ අපටයි. සහල් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයි. ගොවියාගේ වී සඳහා රුපියල් පනහක සහතික මිලක් දුන්නේ අපයි. ගොවියා ආරක්ෂා කළ යුතු බවට ස්ථාවරය දරමින් කකුල් දෙකම ගොවි ජනතාවගේ පැත්තේ තබාගෙන සිටින ඉතිහාසයේ සිට මේ දක්වා සිටි එකම ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතායි. එතුමා තමයි කිව්වේ මොන ප්‍රශ්න තිබුණත් මේ රටේ නිෂ්පාදනය කළ හැකි සියලු දේ ආනයනයය නතර කළ යුතුයි කියා. ජනාධිපතිවරයා හා අප ඉන්නේ ගොවියාගේ පැත්තේයි. මොන ප්‍රශ්න තිබුණත් මේ රටේ නිෂ්පාදනය කළ හැකි දේවල් මේ රටේම වැවිය යුතුයි කියන ස්ථාවරයේ ජනාධිපතිවරයා ඉන්නවා. ගොවියාගේ ආර්ථිකය දියුණු වෙනවා නම් ඒපැත්තෙන් සිතා අදාළ තීන්දු ගත යුතුයි. මේ රටේ ආහාර සුරක්ෂිතතාව ඇති වෙනවනම් අප සිටගත යුත්තේ ගොවි ජනතාවගේ පැත්තේ කියන එක තමයි ජනාධිපතිවරයාගේ මතය. අපට පුුළුවන් දවස් පහක් ඇතුළත ඉන්දියාවෙන් පොන්නි සම්බා ගේන්න. ඒ අපේ සල්ලි වියදම් නොකර ව්‍යාපාරිකයන්ගේ සල්ලි යොදවලා. ජනවාරි වෙනකොට අස්වනු කැපෙනවා. එහෙම ගෙනත් අතෑරියාම අපේ ගොවියාගේ වී ටික තමයි විකුණගන්න බැරි වෙන්නේ. මේ ටිකේ පොඩි දුකක් තිබෙනවා. ඒ දුක විදගෙන හරි අපි වී ගොවියා ආරක්ෂා කළ යුතුයි. නිෂ්පාදකයාත් ආරක්ෂා කළ යුතුයි. පොල් මිල වැඩි වෙනවා කියා ඔබතුමාලාමයි කිව්වේ. එ් වෙලාවේ වැවිලි කර්මාන්ත ඇමැතිවරයා තමයි පොල් සඳහා සහතික මිලක් පනවන්න කියා ඉල්ලුවේ. මොනතරම් අපහාස කළත් පොල් අද සහතික මිලට තිබෙනවා. එහෙම කරන්න පුළුවන් වුණේ මේ ගැසට් ගහපු නිසා තමයි. අපනයන සංවර්ධනය ගැන කතාකරනවා. අව්රුදු කීයකින් මේ ආයතනය රැස්වෙලා නැද්ද. අපනයන සංවර්ධනය ගැන කතා කරනවා. මේ ආයතනය වසර කීයකින් රැස්වී නැද්ද. සෙස් බද්දෙන් රජයට ආදායමක් ලැබෙනවා. අපනයන සංවර්ධන සෙස් බද්දක් තිබෙනවා. සෙස්බදු වශයෙන් අයවන මුදල් මේ අරමුදලට යා යුතුයි. මේකට අත්සන් කරන්නේ විෂය භාර ඇමැතිවරයා. මේ මුදල් අරමුදලට බැර වෙන්නෙ නැහැ. පාර්ලිමේන්තුවේ කතාකළ යුතු දේවල් මේවායි. රේගු අයකැමි මේ මුදල් ගෙවිය යුතුයි. අපනයන සංවර්ධනය වෙනුවෙන්, භාණ්ඩ නවෝත්පාදන වෙනුවෙන් මේ මුදල් යෙදවිය යුතුයි. නමුත් මේ මුදල් මණ්ඩලයට බැර කරන්නේ නැහැ. අතිතයේදී අපනයන සංවර්ධනය සඳහා මෙම මුදල් වෙන් කෙරෙනවා. නමුත් 2018 දී අති විශාල මුදලක් මෙයට වෙන් කෙරෙනවා. නමුත් සියයට එකයි වෙන් කෙරෙන්නේ. 2019 දී බිලියන 47ක් ලැබෙනවා. වෙන් කරන්නේ දශම ගණනක්. මුදල් අමාත්‍යාංශයේ සිටින සමහර නිලධාරීන් තමයි මේවා කරන්නේ.
මුුදල් අමාත්‍යාංශයේ ඉන්න සමහර හිතුවක්කාර නිලධාරීන් පාර්ලිමේන්තුවත් නොමඟ යවා තිබෙනවා. ඇමැතිවරුත් නොමඟ යවන්න උත්සාහ කර සතාට අන්ඳවන යුගයකට තමයි අප මේ ගමන් කරමින් සිටින්නේ.
කාගේ ආණ්ඩු තිබුණත් සිදුවෙමින් තිබෙන්නේ ඒක තමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 අනුව පාර්ලිමේන්තුවට නම් මූල්‍ය බලය තිබෙන්නේ, ඒක වෙනස් කරන්න මුදල් අමාත්‍යාංශයේ හරි, මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් කටයුතු කරනව නම් ඒ පිලිබඳ ප්‍රශ්නයක්වත් අහන්නෙ නැහැ. එතකොට කොහොමද අමාත්‍යාංශ දුවන්නේ. ඇමැතිවරු ඉන්නවා හරයට රබර් සීල් වගේ . එතකොට බැණුම් අහන්නේ ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ඇමතිවරයායි.
මේ ඔක්කොම කරන්නේ උසස්ම නිලධාරින් ඒකාධිකාරයක් තබාගනිමින්.
අපි ආණ්ඩු හදනවා. නිලධාරීන් අපව ගෙදර යවනවා. ඒ නිසා මේ තත්ත්වය ගැන සමාජය තුළ, පාර්ලිමේන්තුව තුළ ප්‍රබුද්ධ කථිකාවක් ගොඩනැගිය යුතුයි. නිලධාරීන් ලියල දෙන දේවල් කියවන මට්ටමට අප පත් නොවිය යුතුයි. මේවා පිළිබඳ අධ්‍යයනය කළ යුතුයි.
ජාතික අපනයන ප්‍රතිපත්තිය නීත්‍යානුකූළ නැහැ. පාර්ලිමේන්තුව උත්තරීතර නම් උත්තරීතර ආයතනය නීති සම්පාදනය කළාට පසුව කොහොමද ඒවාට පරිභාහිරව කටයුතු කරන්නේ. ජාතික නිෂ්පාදනය වැඩිකිරීමෙන් පමණයි බඩුමිල අඩුකරන්න පුළුවන් වන්නේ. මේ රටේ බදු භිතිකාවක් තිබෙනවා. වෙළෙද අමාත්‍යාංශය ලෙස අප දේශීය කර්මාන්ත කරුවන් ආරක්ෂාකිරීම වෙනුවෙන් පියවර ගෙන තිබෙනවා.
ඒ වගේම මුහුණු ආවරණ විවිධ මිල ගණන් යටතේ් විකුණුවා. ඒ සඳහා අප නිශ්චිත මිලක් ඇති කළා. සනීපාරක්ෂක දියර හිතූ හිතූ මිල ගණන් යටතේ විකුණනවා. ඒ නිසා අප සනීපාරක්ෂක දියර නිෂ්පාදනය කරන්න ආයතනයකට භාර දුන්නා. සතොස තුළ ජනතාවට හිතරක පරිදි සාධාරණ මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කරනවා.
ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර
ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර

0 Comments