ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙයවන ලද මහා පරිමාණයේ හෙරොයින් සහ අයිස්මත්ද්‍රව්‍යජාවාරමක්ඊයේ (6දා) කොටුකර ගනිමින් සිය දෙපාර්තමේන්තු ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සාර්ථකව සිදුකිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් සමත් වූහ.
සුරාබදු කොමසාරිස් ජනරාල් ආරියදාස බෝදරගම මහතාගේ මෙහෙයවීමෙන් හලාවත, තොඩුවාව ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර තිබේ.
ලැබුණු බුද්ධි තොරතුරු මත දින ගණනාවක් තිස්සේ කරන ලද සූක්‍ෂ්ම මෙහෙයුමක ප්‍රතිඵලයකට අනුව මුහුදු මාර්ගය ඔස්සේ ගෙනෙන ලද මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් තිබියදී සුරාබදු නිලධාරීන් වාහන හරස්කර මෙම මත්ද්‍රව්‍ය තොගය හා ඊට සම්බන්ධ වූ සැකකරුවන් කොටුකර ගෙන ඇත.
මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 200ක් බව සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කීය. මේ අතර හෙරොයින් කිලෝ 100ක්ද, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100ක්ද වේ.
ඩුබායිහි වෙසෙන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘ජූඩ්’ නැමැත්තා විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය ට්‍රෝලර් යාත්‍රා මඟින් හලාවත මුහුදු තීරයට ගෙනවිත් ඇති බව කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින ප්‍රධාන පෙළේ ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මොහු විසින් මීට ඉහතදී මුහුදු මාර්ගය ඔස්සේ ට්‍රෝලර් යාත්‍රා උපයෝගි කරගෙන මත්ද්‍රව්‍ය මෙරටට එවා තිබිණි.
එලෙස ගෙන එනු ලැබූ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි ජූඩ් නැමැත්තාගේ ප්‍රධාන පෙළේ ගෝලයන් හතර දෙනකුද තමන් භාරයට ගත් බව මෙහෙයුමට එක්වූ උසස් නිලධාරියකු ‘මව්බිම’ට කීවේය.
මෙම පුද්ගලයන් ගණේමුල්ල හා දෙමටගොඩ ප්‍රදේශවල පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූවෝ වෙති.
ප්‍රවාහනය කරමින් තිබූ මත්ද්‍රව්‍ය අතරමඟදී ලබා ගැනීම සඳහා පැමිණි මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මුස්ලිම් ජාතිකයකුද සුරාබදු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ. මොහු කොළඹ සිට මාරවිලට පැමිණ ඇතැයි වාර්තාවේ.
මත්ද්‍රව්‍ය තොගය කොටුකර ගැනීම සඳහා ගොඩබිම් සහාය ලබාදී ඇත්තේ නාවික හමුදාව විසිනි.
මසකට පෙර සිට සුරාබදු දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් ඔස්සේ මාසයකට ආසන්න කාලයක් ආවේක්‍ෂණ රාජකාරි කරමින් සිදුකරන ලද මෙම මෙහෙයුමට සුරාබදු නිලධාරීන් 30ක් පමණ සහභාගි වී තිබේ.
මෙරටට ගෙන්වූ මෙම මත්ද්‍රව්‍ය තොගය මාරවිල දකුණු තොඩුවාවේ සිට සූක්‍ෂ්ම ආකාරයෙන් ෙදාඹකර සහිත “බූම්” රථයක තිබූ විදුලි ජනක යන්ත්‍රයක රහසිගතව සඟවා ප්‍රවාහනය කිරීමට කටයුතු කර තිබියදී සුරාබදු නිලධාරීන් හා නාවික හමුදා බුද්ධි නිලධාරීන් විසින් ඊයේ (6දා) අලුයම අත්අඩංගුවට ගැනිණි.
මත්ද්‍රව්‍ය සැඟවූ බූම් රථයට ඉදිරියෙන් මාර්ගය පරීක්‍ෂා කරමින් ආරක්‍ෂාව සඳහා ගමන්ගත් මෝටර් රථ දෙකක්ද, කේ.ඩී.එච්. වෑන් රියක්ද සුරාබදු නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මාර්ග කාපට් කිරීමේ යෙදෙන සමාගමක ඉන්ජිනේරුවන් ලෙස පෙනී සිටිමින් පසුගිය 30 වැනිදා සිට දකුණු තොඩුවාව ප්‍රදේශයේ සංචාරක හෝටලයක නතරවී සිට ඇති අතර එතැන් සිට තාක්‍ෂණික ක්‍රම ඔස්සේ ඩුබායි රාජ්‍යය වෙත සම්බන්ධ වෙමින් මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන ඒමේ මෙහෙයුමට දායක වී තිබේ.
මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන ඒමෙන් පසු සූක්‍ෂ්ම ලෙස වෙනත් වාහනවලින් මේවා කොළඹට රැගෙන යෑමටත් ඉන් පසු ඒවා බෙදාහැරීමටත් සූදානමින් සිටි බව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෑත ඉතිහාසයේ කරන ලද විශාලම වැටලීම මෙය බවද වාර්තාවේ.
පොලිසියේ භාරයට ගත් මෝටර් රථයක් තුළ පාසල් බෑග් විශාල ප්‍රමාණයක් තිබී ඇති අතර ඒවා මෙම මත්ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා යොදාගන්නට සැලසුම් කළ ඒවා යැයි සැක කරන බව වැටලීමට සහභාගි වූ නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් ඊයේ සවස් වනතුරුත් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකෙරුණු අතර මෙම මත්ද්‍රව්‍ය තොගය කුමන ප්‍රදේශයකට ගෙන යන්නේද ඒවා කා අතට පත්වන්නේදැයි දැන ගැනීමට පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.
සුරාබදු කොමසාරිස් වසන්ත දිසානායක මහතාගේ අධීක්‍ෂණය මත සුරාබදු පරීක්‍ෂක චින්තක උඩපමුණුව, සුරාබදු නිලධාරීන් වන ඩබ්ලිව්.ජී.එස්. නිශාන්ත, ඩබ්ලිව්.එල්.ඩී. වීරසේකර, ඒ.එම් ප්‍රේමරත්න, එන්. තලගල, එස්. පිලපිටිය, අයි.සී. රත්නායක, රයිනිවයන් ඇතුළු සැරයන්වරුන් වූ රණුර නජිත්සිංහ, ධම්මික හතුරුසිංහ, උපුල් නිශාන්ත, නලින් ප්‍රියංකර, ගාමිණී හේරත්, කේ. ඒකනායක, ගාමිණී හේරත් හා රවීන්ද්‍ර පෙරේරා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීමට එක්වූහ.
කීර්ති මෙන්ඩිස්, හලාවත -ප්‍රසාද් පූර්ණමාල්, කොළඹ -එම්.සී. පෙරේරා
from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/36MTO86
tribune

0 Comments