බුලත් සංස්කෘතික වටිනාකමක් මෙන්ම ආර්ථික හා අපනයන වටිනාකමකින් යුතු භෝගයකි. බුලත් පිළිබඳ මෙරට ඉතිහාසය ක්‍රි. පූ. 340 තරම් ඈතට දිවෙයි. බුලත්වල ජන්ම භූමිය මැලේසියාව ලෙස සලකන අතර, දකුණු ආසියානු කලාපය පුරා ව්‍යාප්තව ඇති භෝගයකි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිවානය, බංග්ලාදේශය ප්‍රමුඛ නිෂ්පාදකයන් වන අතර, ලොව ඉහළම ඉල්ලුම ඇති රට පාකිස්තානයයි. ජපානය, බ්‍රිතාන්‍යය, මැදපෙරදිග රටවල් කිහිපයක් මෙන්ම කැනඩාව බුලත් ආනයනය කරන රටවල්ය.
බුලත් වගාව මෙරට ව්‍යාප්ත වී ඇත්තේ අතුරු භෝගයක් ලෙසයි. බුලත් වගාව පිළිබඳ පර්යේෂණ මෙන්ම උපදෙස් දෙන රාජ්‍ය ආයතනය වන්නේ නාරම්මල අතුරු භෝග සහ බුලත් පර්යේෂණ ආයතනයයි. එය විධිමත් ආකාරයෙන් බුලත් සහ අතුරු භෝග පිළිබඳ අධ්‍යයනයෙහි නිරත අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ආයතනයකි. එහි අධ්‍යක්ෂ ආචාර්ය එච්. එම්. පී. ඒ. සුබසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය සැකසිණි.
අතුරු භෝගයක් ලෙස බුලත් ප්‍රචලිත කිරීමට ප්‍රමුඛ කාරණය නම් කුරුණෑගල, ගම්පහ, පොල් ත්‍රිකෝණය ආශ්‍රිත ප්‍රදේශයේ පොල් වගා ආශ්‍රිතව පවත්වාගෙන යා හැකි මනා පාලනයකින් කටයුතු කිරීමෙන් ඉතා හොඳ ආදායමක් ගත හැකි අතුරු භෝගයක් ලෙස බුලත් වගාව හඳුනාගත හැකි වීමයි.
බුලත් වගාවෙහි නිරත වගාකරුවන් මෙන්ම අපනයනකරුවන් මේ වකවානුවේ මුහුණ දෙන ප්‍රමුඛතම ගැටලුව වන්නේ මේ කොරෝනා ව්‍යසනයත් සමඟ අපනයන කාර්යයන් සඳහා බාධා සිදු වී තිබීමයි. අපනයනය සඳහා සුදුසු බුලත් වෙළෙඳපොළ වෙත දෙන ප්‍රධාන ක්‍රමවේදය කුරුණෑගල සහ ගම්පහ ප්‍රදේශයේ පවත්වන බුලත් පොළයි. මේ දිනවල පොළ පැවැත්වීම අසීරු වීම හේතුවෙන් අපනයනය සඳහා ප්‍රමිතියෙන් යුතු බුලත් දීමට බාධා ඇති විය හැකියි. එවැනි බාධා මඟ හරවාගත හැක්කේ බුලත් වගාකරුවන් අපනයනකරුවන් හා සබඳතා ගොඩනඟා ගැනීමෙනි. කෙසේ වෙතත් අපනයන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට අවැසි ප්‍රතිපාදන රජයෙන් දැනටමත් සපයාදී තිබේ.
එසේම බුලත් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සුබසිංහ පවසන්නේ අපනයනය කිරීමේ බාධා පවතී නම් සති දෙකක් වැනි කාලයක් පොහොර යෙදීමේ රටාව වෙනස් කිරීමෙන් දේශීය වෙළෙඳපොළට ගැළපෙන ආකාරයෙන් බුලත් සැකසිය හැකි බවයි. ඒ සඳහා උපදෙස් අවැසි අයට නාරම්මල බුලත් පර්යේෂණ ආයතනයේ 037 -2248879 දුරකථන අංකය අමතා වැඩිදුරටත් අවැසි තොරතුරු ගත හැකි බව ඒ මහතා අවධාරණය කරයි.
කෙසේ වෙතත් දැනට වගාවෙහි නිරත අය බුලත් කොටු නඩත්තු කටයුතු යාවත්කාලීන කිරීම මඟ නොහැර කිරීම වැදගත් බවත් බුලත් අලෙවිය පහත වැටී ඇත්නම් බුලත් දඬු පැළ කිරීමෙන් පැළ තවානක් ඇරැඹීම සඳහා මෙය සුදුසු වකවානුවක් ලෙසත් පෙන්වා දෙයි. බුලත් වගාවෙහි මූලික ගැටලුව වන දිලීර රෝග ඇති වීමේ මූලික හේතුව වගාවේ නඩත්තු කටයුතු මැනවින් සිදු නොවීම බව පවසන ආචාර්ය සුබසිංහ පවසන්නේ වගාව තුළ පවතින ආද්‍රතාව අඩු මට්ටමක පවත්වා ගැනීමෙන් මෙවැනි වකවානුවක ලෙඩ රෝගවලින් වගාව ආරක්ෂා කරගත හැකි බවයි.
බුලත් වගාවේ විශේෂත්වය වන්නේ එය මෙරට ඕනෑම පළාතක වගා කරගත හැකි භෝගයක් වීමයි. එහෙත් වැඩි අස්වැන්නක් මෙන්ම අපනයන වෙළෙඳපොළට සුදුසු ආකාරයේ අස්වැන්නක් ගැනීම සඳහා වඩාත්ම සුදුසු තත්ත්වයන් ඇති ප්‍රදේශ ලෙස සලකන්නේ කුරුණෑගල, ගම්පහ, කළුතර ප්‍රදේශයි. මේ ප්‍රදේශවල පවතින මි. මී. 1500-2000ක් පමණ වන වාර්ෂික වර්ෂාපතනය මෙන්ම තෙත් සහ වියළි දේශගුණික කලාපවල පවතින හොඳින් ජලය බැස යන සාරවත් රතු ලැටරයිටිස් පස බුලත් අස්වැන්න සඳහා වඩාත් යෝග්‍ය වෙයි.
අපනයන තත්ත්වයේ බුලත් ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් භාවිතයට යොදාගන්නා බුලත් වර්ග වෙන්නේ මානේරු සහ රටදලු යන බුලත් වර්ගයි. අපනයනයට යෝග්‍ය තද කොළ (කළු බුලත්) පැහැය මෙන්ම විශාල පත්‍ර ගැනීමට මෙන්ම සැර රසයකින් යුතු බුලත් පත්‍ර නෙළා ගැනීමට මේ වර්ග වඩාත් යෝග්‍ය වෙයි. මානේරු සහ රටදලු බුලත් වෙන් වෙන්ව තේරීමකට ලක්කර නාරම්මලී සහ නාරම්රතී නමින් හැඳින්වෙන බුලත් වර්ග දෙකක් නාරම්මල බුලත් පර්යේෂණ ආයතනය මඟින් එළිදක්වා ඇති අතර, ඒවායේ අස්වැන්න අපනයන තත්ත්වයට වඩාත් සුදුසු වන අතර, දේශීය වෙළෙඳපොළ සඳහා නිෂ්පාදනයෙන් ද ඉහළ ප්‍රතිලාභ අත්කර ගත හැකි ආකාරයෙන් වැඩි දියුණු කොට තිබේ.
නාරම්මලී පත්‍රයක දිග 25cmක් පමණ වන අතර, පළල 19cmක් පමණ වෙයි. එක කොළයක බර ග්‍රෑම් 08ක් පමණ වෙයි. තද කොළ වර්ණයෙන් යුතු මේ බුලත් වර්ගයෙන් එක් වරකදී නෙළා ගත හැකි පත්‍ර ප්‍රමාණය 50-60ක් පමණ වන බවටයි හඳුනාගෙන තිබෙන්නේ. ඒ අනුව ආධාරක 1,000ක වගාවකින් වසරකදී කොළ 1,200,000ක් පමණ ගත හැකි යැයි හඳුනාගෙන තිබේ.
නාරම්රතී බුලත් කොළයක දිග 26cmක් පමණ සහ පළල 17cmක් වෙයි. බර ග්‍රෑම් 8කි. වැලකින් එක් වරකදී කොළ 60-65ක පමණ ප්‍රමාණයක් ගත හැකි අතර, ආධාරක 1,000කින් වසරකට 1,440,000ක පමණ පත්‍ර ප්‍රමාණයක් අස්වැන්නක් ගත හැකි යැයි ගණනය කර තිබේ.
මේ බුලත් වගා කිරීමට අවැසි අයට නාරම්මල බුලත් පර්යේෂණ ආයතනය වෙත ඇණවුම් කිරීමෙන් එක් රෝපණයක් සඳහා සුදුසු දඬු ගැනීමේ පහසුකම් සලසා තිබේ. එක් බුලත් දඬුවක් සඳහා රුපියල් 10ක මුදලක් අය කරන මුත් එක් වගාකරුවකුට රෝපණ ද්‍රව්‍ය දඬු 25ක් ලබාගත හැකි බවයි සඳහන් වන්නේ. එසේ සීමා වී ඇත්තේ වැඩි දෙනෙක් අතර මේ බුලත් වර්ග ව්‍යාප්ත කිරීමටයි. රෝපණ ද්‍රව්‍ය ලබාගෙන ඉතා හොඳ වගාවක්, තවානක් සකසා ගත හැකි බවත් එමඟින් අක්කර කිහිපයකට ඇවැසි රෝපණ ද්‍රව්‍ය ගත හැකි බවත් ආචාර්ය සුබසිංහ මහතා පවසයි.
තවාන් සකස් කර ගැනීම, බුලත් වගාවක් ආරම්භ කිරීම, අස්වනු නෙළීම, ලෙඩ රෝග පාලනය, වගා නඩත්තුව මෙන්ම පසු අස්වනු තාක්ෂණය පිළිබඳ දැනුම හා ප්‍රායෝගික පුහුණු කිරීම් නොමිලයේම දීමේ වැඩසටහන් නාරම්මල, දම්පැලැස්ස බුලත් පර්යේෂණ ආයතනයෙහි පැවැත්වෙන අතර, ඒ සඳහා ඉල්ලීම් කළ යුතු වෙයි. එසේ ඉල්ලීම් කිරීමෙන් සහ ආයතනය ප්‍රමාණවත් අයදුම්කරුවන් පිරිසකගේ ඉල්ලීම් ඒකරාශි වීමෙන් අනතුරුව සැලසුම් කරන දිනයක පුහුණු කිරීම් සිදු කෙරෙයි.
මේ කොරෝනා හේතුවෙන් නිවෙස් ආශ්‍රිතව කල්ගත කරන බොහෝ දෙනකුට ගෙවතු වගාවක් ලෙස හෝ බුලත් වැලක් හෝ කිහිපයක් පවතින ඉඩ පහසුකම් අනුව සිටුවා ගැනීම සඳහා උනන්දු විය හැකියි. ශ්‍රී ලංකාව පුරා බුලත් හෙක්ටයාර් 1,460ක් වගා කර ඇත. ඉන් කුරුණෑගල 735යි. ගම්පහ හෙක්ටයාර් 280ක්. අතුරු භෝග හා බුලත් පර්යේෂණ ආයතනයේ අපේක්ෂාව වන්නේ එම ප්‍රමාණය දෙගුණයක් කිරීමයි. මේ ප්‍රදේශවල ඇති පොල් ඉඩම් මේ සඳහා යොදා ගැනීමෙන් වඩාත් ඉහළ ප්‍රතිලාභ අත්කර ගත හැකි යැයි අපේක්ෂා කෙරේ.
මෙවන් බාධා සහිත වකවානුවක වුවත් කාලය ශ්‍රමය සහ පවතින කුඩා ඉඩකින් හෝ ප්‍රයෝජනයක් ගැනීමට අදිටන් කරන කෙනකුට බුලත් වැලක් දෙකක් වැල් 10ක් 25ක් සකසා ගැනීමට මෙය කදිම කාලවකවානුවකි. ඒ පිළිබඳ විශේෂඥ උපදෙස් සහිත විධිමත් ලිපියක් ලබන සතියෙහි පැලැස්ස වෙතින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමු.
බුද්ධිකා බ්‍රාහ්මණගේ
from dinamina

0 Comments