ග්‍රීසියෙන් වීදි ආහාර ඇරැඹුණායැයි සැලකෙන හෙයින්ම වර්තමාන ග්‍රීසියේ වීදි බැස ආහාරවලට සුවඳ ඇල්ලීම කළ යුතුම රාජකාරියකි. වර්තමාන ග්‍රීසිය යනු වීදි ආහාර පුරවරයකි. එක්, එක් ස්ථාන ආවේණික ආහාර වර්ග වෙනුවෙන් නම් දරා ඇත. ලෝකයේ සෑම අස්සක්, මුල්ලකින්ම පැමිණෙන සංචාරකයන්ගේ නැරැඹුම් ස්ථාන ලැයිස්තුවේ මුල් හරියේම මේ වීදි ආහාර රස විඳීම දක්නට ඇත. ග්‍රීසියට ගියහොත් ආහාරයට නොගෙන අත් නොහැරිය යුතුම ආහාර වර්ග මේ යැයි ඇතමකු පාරම් බායි. අන්තර්ජාලය පීරමින්, වර්චුවල් ආහාර සුවඳ ඉව කරමින් මේ උත්සාහ දරන්නේ වර්චුවල් ස්ට්‍රීට් ෆුඩ් සවාරියක ඔබව ගෙන යෑමටයි.
පෙරදිග සහ අපරදිගින් ආභාසය ලබා කාලාන්තරයක් මුළුල්ලේ පැසී වැඩුණු ග්‍රීක ආහාර සම්ප්‍රදාය සෑම කෙනකුගේම පැසසුමට ලක් වන්නකි. එසේම සෘතු වෙනස් වීමත් සමඟම ඔවුන්ගේ ආහාර පුරුදු ද වෙනස් වේ. සීත කාලයට විශේෂ ආහාර වර්ග සේම සෙසු සෘතු සඳහා ද වෙනස් ආහාර වර්ග ග්‍රීකයෝ සතුය. ඔවුන් තම ආහාර සංස්කෘතිය සමරන්නේ ද එක්තරා දේවමය ස්වභාවයකිනි.
මෙකී සාම්ප්‍රදායික ග්‍රීක ආහාර පවා වීදිවලින් මිලදී ගත හැකි වීම අනෙක් සුවිශේෂීත්වයයි.
Amygdalota යනු එවන් රස වෑහෙන සාම්ප්‍රදායික කෙටි අහරකි. ආමන්ඩ් බිස්කට්‍ටුවක් වන මේ කෙටි ආහාරය බැලූ බැල්මට සුළු දෙයක් සේ පෙනුණත් එහි රස නම් සුළුවෙන් සැලකිය නොහැකි බවට රස බැලුවෝ පවසති. උණු උණුවේ ග්‍රීක් කෝපි කෝප්පයක් සමඟ මෙය රස විඳින්නටය ඇරැයුම. ගමනක් කෝපි කෝප්පයකින් සහ ආමන්ඩ් බිස්කට්‍ටුවකින් පටන්ගැනීමට තිබීම එක්තරා සහනයකි. මේ කෙටි ආහාරයම ග්‍රීසියේ වෙනත් ප්‍රදේශවලදී තරමක් වෙනස් ආකාරයකින් රස විඳිය හැකිය. එහෙත් මෙහි පොදු සාධකය ලෙස තිබෙන ආමන්ඩ්වල කිසිදු වෙනසක් නොවේ.
Baklava තවත් සාම්ප්‍රදායික කෙටි අහරකි. විවිධ ඇට වර්ග සහ බටර් මූලික කරගෙන සාදන මේ අහරේ සීනි සංයුතියක් ද ඇත. උදුනේ ලා පුලුස්සා ගත් පසුව පැණි රස දැනවීමට සිරප් වර්ගයක් ඒ මතින් දමා ගනී. මේ ග්‍රීක්වරුන්ගේ වඩාත් ප්‍රකට අතුරුපස වර්ගයකි.
Bougatsa මෙන්ම Courgette Balls තවත් සාම්ප්‍රදායික කෙටි ආහාර වර්ග දෙකකි. Dolmadakia මේ අතර විශේෂ කොට සැලකිය හැකි තවත් අපූරු කෙටි කෑමකි. මිදි කොළ ඇතුළට පුරවන ලද හරක් මස් හෝ බැටළු මස්වලින් සැකසෙන මේ කෙටි ආහාරය තවත් රස වන්නේ සමෝසමේ ඒ අතරට හාල් ආදියත් යොදාගන්නා හෙයිනි. සාම්ප්‍රදායිකව පිළිගන්වන විට මේ සමඟ කුඩා ලෙමන් කැබලි භාවිත කෙරෙයි.
Ellinikos යනු ග්‍රීක කෝපි වර්ගයකි. ග්‍රීසියෙන් ආභාසය ගෙන වැඩි දියුණු වූ සුප්‍රකටම කෝපි පානයක් ලෙස ද හඳුන්වයි. දිගු අණ්ඩක් සහිත කුඩා තඹ කෝප්පයකින් පිළිගන්වන කෝපි කෝප්පය ග්‍රීක් භාෂාවෙන් හඳුන්වන්නේ 'බ්‍රිකී' නමිනි.
Feta Me Meli යනු තවත් ප්‍රකට අතුරුපසකි. Frappe යනු අයිස් කෝපි පානයකි. මේ එක් වරක් බීමෙන් ඇබ්බැහි වන සුළු බීමක් ලෙස ද ප්‍රකටය. මේ අතර අපේ රටේත් අතිශය ප්‍රකට ග්‍රීක් සලාදය එරට වැසියන් සෑම ආහාර වේලක් සමඟම ගනු ලබන්නකි. තක්කාලි, ඔලිව්, පිපිඤ්ඤා, විශාල ප්‍රමාණයට කපන ලද චීස් යහමින් දමා සලාදය පිළිගන්වයි. විනාකිරි, ලුණු, ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට කලවම් කර ගත හැකිය.
Kataifi යනු තවත් ප්‍රකට ග්‍රීක අතුරුපසකි. මෙය එක්තරා අන්දමක පේස්ට්‍රි වර්ගයකි. ඇතුළත කරස් ගා කැවෙන ස්වභාවයෙන් යුක්තය. Pastitsioද කදිමට පුලුස්සා ගත් පැස්ටා වර්ගයකි. හරක් මස් සහ විශේෂිත සෝස් වර්ගයක් සමඟ ආහාරයට ගැනීම මනාය. මේ ආහාරය පිළිගන්වන්නේ කොළ පැහැති එළවළු වැඩි සලාදයක් සමඟිනි. ඒ මතට යහමින් ඔලිව් තෙල් ද තවරා ඇත.
Souvlaki යනු ග්‍රීසියේ වීදි ආහාර සංස්කෘතියේ නැතුවම බැරි අහරකි. ග්‍රිල් කර ගන්නා ලද ඌරු මස් හෝ කෝටුවක ගසා බැද ගන්නා ලද කුකුළු මස් ආශ්‍රයෙන් සාදා ගන්නා කෑමකි. Gyros යනු පැතැලි රොටි වර්ගයක් ඇතුළට පුරවා ගන්නා ලද කැබලි කළ ඌරු මස් හෝ දිගු අතට ග්‍රිල් කරගන්නා ලද ඌරු මස් කැබලිය. මේ ආහාර දෙවර්ගයම ඇණවුම් කළ හැකි විධි කිහිපයකි. වඩාත් ප්‍රකට ක්‍රමය වන්නේ සැන්ඩ්විචසයක් මෙන් තුනී රොටියකින් ඔතා සකස් කරන ක්‍රමයයි. මේ සඳහා ඔබට කැමැති මස් වර්ගයක් ඉල්ලා සිටිය හැකිය. කපන ලද තක්කාලි, රතු පැහැති ලූනු කැබලි, සෝස් සහ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්වලින් පිරවුමේ සෙසු ඉඩ වැසී යනු ඇත. මේ ආහාර වර්ගයට එක් එක් ප්‍රදේශවල වෙනත් නම් භාවිත වන අතර ඒ එක් එක් ප්‍රදේශයට ආවේණික පිරවුම් භාවිත වේ. ඇතන්ස්වලදී Kalamaki ලෙස වහරයි. යුරෝ 2-4 අතර මිලකට මේ කෙටි ආහාරය මිලදී ගත හැකිය.
Loukoumades යනු ග්‍රීකයන්ගේ ඩෝනට්ස් ය. ගැඹුරු තෙලේ බැද ගන්නා කවාකාර හැඩැති Loukoumades පැණි රසැති සිරප් වර්ගයක් ගිල්වා ගනී. පැණි සයුරක ගිල් වූ මේ ග්‍රීක ඩෝනට්ටුවේ මුදුනට මී පැණි සහ වොල්නට් ඉසීම ඊළඟට ඇරැඹෙයි. සෑම ග්‍රීක දරුවකුගේම ළමා වියේ මේ පැණි රස ඩෝනට්ටුව නම් මතකය නිධන්ව ඇති බවට සැකක් නැත. සාමාන්‍යයෙන් මෙහි සැකැස්ම සමාන මුත් මුදුනට මී පැණි සහ වොල්නට් වෙනුවට වෙනත් ආදේශක ද විටෙක භාවිත කෙරේ. ඒ විවිධ ප්‍රදේශවල වැසියන්ගේ රුචිකත්වය මතය. සුදු චොක්ලට්, කිරි රසැති චොක්ලට්, මාමලේඩ් හෝ අයිස් ක්‍රීම් ඩෝනට්ටුවේ මුදුනත තැවරීමට තෝරා ගත හැකිය. එනමුත් සාම්ප්‍රදායිකව භාවිත කෙරෙන මී පැණි සහ වොල්නට් ඒ සඳහා යොදා ගැනීම යෝග්‍ය බවට ආහාර පිළිබඳ විශේෂඥයෝ මතක් කර සිටිති. යුරෝ 3-5ත් අතර ගණනකට මේ ඩෝනට් වීදි ආහාර අලෙවි කරන ඕනෑම තැනකින් මිලදී ගත හැකිය. වීදි ආහාර විකුණන තැනක ගැඹුරු තෙලේ බැදෙන ග්‍රීක ඩෝනට්වල ස්වභාවය ඔබට පරීක්ෂා කළ හැකිය. ඔබේ රුචිකත්වය අනුව පැණි රසින් හෝ ලුණු රසින් යුක්තව ඉල්ලා සිටිය හැකිය. කුඩා තක්කාලි ගෙඩියක් සමඟ හෝ සීත බීර වීදුරුවක් සමඟ මෙය ආහාරයට ගත හැකිය. අයිස්ක්‍රීම් කෝණයක පවා බහාලූ ග්‍රීක ඩෝනට් විකිණීමට ඇත. ඒවා ඔබේ රුචිකත්වය අනුව තෝරා ගත හැකිය.
Fish in a cone ඊළඟට සිත වශී කරවන අහරකි. ග්‍රීකයන් විසින් මුහුදට සහ මුහුදු ආහාරවලට කෙරෙන ගෞරවයක් ලෙස මේ ආහාරය සකසනු ලබයි. ඝනකම කොළ කැබැල්ලකින් ගැසූ ගොට්ටක් ඇතුළට බහාලූ කැබලි ලෙස බැද ගත් මාළු මෙහි අන්තර්ගතය. මේ සඳහා අතිශය ජනප්‍රිය Zisis – Fish in a cone නම් වෙළෙඳසලකි. ඔවුන් මේ වීදි ආහාරය නිපදවීමේ නිපුණයෝ වෙති. ඇතන්ස් නුවරුන්ගේ රස නහර ඇවිස්සීමේ රාජකාරිය පැවරී ඇත්තේ මොවුන්ටය. ඔවුන් ඒ රාජකාරිය පංකාදු පහට ඉෂ්ට කරන බව පෙනෙන්නේ ඉහත කී වෙළෙඳසලේ මෙන්ම මඟ තොට ඇති ජංගම වීදි වෙළෙඳුන් වටා රැස් කකා ඉන්නා ගැනුම්කරුවන් සංඛ්‍යාව පෙනෙන විටය.
Sesame Bagel යනු ග්‍රීසියේ ජනප්‍රිය කෙටි කෑම වර්ගයකි. වීදි ආහාර විකුණන කුඩා කරත්ත, වෑන් ආදියෙහි සෙසමි බේගල් අතිශය ජනප්‍රියය. පෝෂ්‍යදායිභාවය නිසා ද මෙය බාල මහලු භේදයක් නොමැතිව ජනප්‍රියය. යුරෝ 1-5 දක්වා එහි මිල නියම වී ඇත.
ඇප්‍රිකොට්, දිඹුල් සහ වියළි මිදි අතිශය ජනප්‍රිය වේලූ පලතුරු ය. අවශ්‍ය නම් මේ වෙළෙන්දන්ගෙන් කුඩා කඩදාසි බෑග්වලට දැමූ නොයෙකුත් ඇට වර්ග මිල දී ගත හැකිය. ඉනුත් සූරියකාන්ත ඇට වඩාත් ජනප්‍රියය. කුඩා බයිසිකල් වැඩි දියුණු කරමින් සෑදූ ජංගම වෙළෙඳ කරත්ත වියළි පලතුරු ආදිය විකුණමින් තැනින් තැනට ගමන් කරනු සුලබ දසුනකි. දිග හරින ලද විශාල තහඩුවක් මත කොටස්වලට බෙදා වියළි පලතුරු සහ ඇට වර්ග විකිණීමට තබා ඇත. පසෙකින් ඇත්තේ ඒවා වේලාසනින් පුරවා සකස් කරන ලද කඩදාසි බෑග්ය. ඒවා හදිසිකාරයන්ටය. නගර මධ්‍යයේද ස්ථීරව සාදා ගත් විකුණුම් කුටිද නැත්තේ නොවේ.
මේ සියල්ලම හෙළි කරන්නේ ග්‍රීසියේ ආහාර සංස්කෘතියේ විවිධත්වයයි. ඔවුන් ආහාර සම්බන්ධයෙන් දක්වන කැමැත්ත සහ ලාලසාවයි. කෙටි ආහාර වේවා, වීදි ආහාර වේවා, සාම්ප්‍රදායික ආහාර වේවා මේ සියල්ලම සියවස් ගණනාවක් පුරා විවිධ හැලහැප්පීම්වලට නතු වෙමින් ක්‍රමිකව වැඩි දියුණු වූ දෑය. බොහෝ ආහාර වර්ග කාලයත් සමඟ පරිණාමයට ලක් වී ඇත. හැඩය පවා වෙනස්ව ඇත. රටක ආහාර සංස්කෘතියෙන් ඒ රටේ මිනිසුන්ගේ ස්වභාවය යම් ප්‍රමාණයකින් කිව හැකිය. නිදහස්කාමී ජීවිත ප්‍රිය කරන ග්‍රීසියේ ඇත්තන් ලෝකයට වීදි ආහාර සංස්කෘතිය හඳුන්වා දී බකංනිලාගෙන සිට නැත. ඔවුන් විසින් සෙසු මහාද්වීප වෙත ආහාර පිටත් කර ඇත. ආහාර හරහා ගැට ගැසෙන මේ රසාත්මක බන්ධන ගැන ලබන සතියේත් කතා කරමු.
කාංචනා අමිලානි
from dinamina

0 Comments