Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දෙටුමලුන් පලා ගිය දෙමටමල් විහාරය

මෙරට පැරණි භික්ෂු ආරාම අතර පඤ්චපාවාස යනුවෙන් හැඳින්වෙන ගොඩනැඟිලි විශේෂයකි. එය පඤ්චායතන පිරිවෙන ලෙස ද ව්‍යවහාර‍යේ පවතී. මෙය භූමියේ සැලසීමට අනුව සහ පූජනීය ගොඩනැඟිලි ගොඩනැංවීමේදී ද අනුගමනය කළ ශිල්පීය ක්‍රමයකි. මෙකී ආරාම ආයතචතුරස්‍රාකාර හෝ සමචතුරස්‍රාකාර භූමි හැඩයකින් යුතුය.

පඤ්චාවාස විහාරයක සැලැසුමට අනුව එහි මධ්‍යයේ උපෝසථඝරය හෝ පටිමාඝරය ඉදිකරනු ලැබේ. අනෙකුත් ගොඩනැඟිලි ඉදිකරනුයේ අනතුරුවය. මේ පූජනීය ගොඩනැංවීම් වටා භික්ෂුන් වහන්සේලාගේ ආවාස කුටි ඉදිකරනු ලැබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් වන ඔක්කම්පිටියේ ඓතිහාසික දෙමටමල් විහාරය යන කෘතියේ සඳහන් වන්නේ, දෙමටමල් විහාර බිම් සැකැස්ම සහ එහි නටබුන් ගවේෂණය කළ පුරාවිද්‍යාඥයන් එය පඤ්චාවාස විහාරයක් ලෙස හඳුනාගත් බවකි.

දෙමටමල් විහාරයේ ආරම්භය මහානාග යුව රජුන්ට සම්බන්ධව දක්වන ජනප්‍රවාදයකි. මුටසීව රජුගේ දරුවන් දස දෙනා අතර මහානාග යනු දෙවැනියාය. ඔහු දේවානම්පියතිස්ස රජතුමාගේ ජ්‍යෙෂ්ඨ සහෝදරයාවේ. එබැවින් ඔහු ඉදිකළ නිසාම දෙටුමල් යන්න දෙමටමල්වූ බව සඳහන්ය.

ජනප්‍රවාදයට අනුව දෙමටමල් විහාරය සද්ධාතිස්ස කුමාරයාට ආරක්ෂාව සැපයූ ස්ථානයකි. මෙකී විහාරස්ථානයට නුදුරින් පිහිටි යුදගනා වෙහෙර පිහිටි ස්ථානයේ ගැමුණු කුමාරයා සහ තිස්ස කුමාරයා යන සොහොයුරන් දෙදෙනා එකිනෙකාට එරෙහිව සටන් කළ ස්ථානයක් ලෙස ප්‍රකටය. මොවුන් අතරවූ සටනින් පසු පරාජයවූ තිස්ස කුමාරයා පලා ගොස් ජීවිත ආරක්ෂාව පතා දෙමටමල් විහාරයේ සැඟවුණු බව කියැවේ. තම සොයුරා මෙහි සැඟවී ඇති බව දැනගත් පසු භට පිරිස් රැකවලෙහි යෙදවීය. මේ බව සැලවූ විහාරයේ භික්ෂූන් වහන්සේලා කළේ, තිස්ස කුමාරයා මෙයින් පිටමං කිරීම සඳහා උත්සාහ කිරීමය. එහෙත් එය ගැමුණු කුමාරයා දැන ගත්තේය. ඒ බැව් සද්ධර්මාලංකාරය කෘතියේ 484 පිටුවෙහි දැක්වේ. මේ නිසා, එකී විහාරය ‘දුටු මල්‘ යන්න ‘දෙටුමල්‘ වී, ‘දෙමටමල්‘ වූ බව ජනප්‍රවාදවල ඇත. වෙනත් ජනප්‍රවාදයකට අනුව, දුටුගැමුණු කුමාරයා ඉහත ආත්මයක පැවිදි බව ලබා රෝගී සාමණේර නමක් විදිහට මේ විහාරයේ වැඩ සිටි බව ප්‍රකටය.

දෙමටමල් විහාරයට යාබද ස්ථානයක පවතින සෙල්ලිපියකින්, විහාරයට පරිත්‍යාග කළ ඉඩම් භුක්තියක් ගැන හෙළිවේ. ක්‍රි.ව. 04 වැනි සියවසට අයත් අපර බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියැවී ඇති මෙහි, ‘ගෝඨක අබ‘ යන්න ‘ගෝඨාභය‘ ලෙස පරණවිතාන මහතා හඳුනා ගනී. කාවන්තිස්ස රජුගේ පියා ද ගෝඨාභය නමැත්තෙක් බව කියැවේ.

ඉහත ඓතිහාසික තොරතුරු සහ ජනප්‍රවාද පරීක්ෂා කරනවිට, දෙමටමල් විහාරය ක්‍රි. පූ. යුගයේ ආරම්භව ඇත. එය වරින්වර ප්‍රතිසංස්කරණවලට හා ඉදිකිරීම්වලට හසුව ඇති අතර, පොළොන්නරු යුගය වන විට මේ විහාරය ඉතා ජනප්‍රිය හා දියුණු ආරාමයක්ව පැවැති බව සඳහන්ය.

දෙමටමල් විහාරය ඌව පළාතේ, මොනරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය මැතිවරණ බල ප්‍රදේශයේ, බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ඔක්කම්පිටිය ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇත. මේ විහාරය, තැනිතලාවක හරිත පැහැ කෙත් යායක් මධ්‍යයේ පිහිටියේය. එකල රුහුණු රට ඉදිවූ ප්‍රථම පංචාවාස විහාරය මෙය බැව්, පුරාවිද්‍යාඥ‍යෝ හඳුන්වති. එය අක්කර හයක පමණ භූමියකින් යුක්තය. දෙමටමල් විහාර පූජා භූමිය සංරක්ෂක නටබුන් ස්ථානයකි. එසේම ක්‍රියාකාරී විහාරස්ථානයකි.

දෙමටමල් විහාරස්ථානය වන්දනාමානයට හෝ නැරැඹීමට යන ඔබට, එහි ළඟාවිය හැකි ප්‍රධාන මාර්ග දෙකකි. බුත්තල - කතරගම ප්‍රධාන මා වතේ පැමිණ, අතුරු මාර්ගයකින් යා යුතු එක් මඟකි. බුත්තල සිට කතරගමට දිවෙන මාර්ගයේ ගම්උදා තොරණ පසු කරමින්, මීටර් 50ක් පමණ ඉදිරියට යන විට, වම්පසට වැටී ඇති අතුරු මාර්ගයේ කිලෝමීටර් 08ක් පමණ ගමන් කිරීමෙන් පසු මෙකී විහාරයට ළඟා වීමේ හැකියාව ඇත.

දෙවැනි මාර්ගය වන්නේ, මොනරාගල, මාලිගාවිල ප්‍රධාන මාර්ගයෙන් මෙකී ස්ථානය වෙත පැමිණීමය. මොනරාගල - බුත්තල මාර්ගයේ කුඹුක්කන හන්දියෙන් වම්පසට හැරී, මාලිගාවිල මාර්ගයේ කිලෝමීටර් 06ක ප්‍රමාණයක් ගිය තැන, ඔක්කම්පිටිය කඩමණ්ඩිය අසලින් දකුණුපසට හැරී මාලිගාවිල - බුත්තල අතුරු මාර්ගයේ කිලෝමීටර් 02ක් ඉදිරියට පැමිණිවිට, කෙත් යායක් මධ්‍යයේ පිහිටි මේ පින්බිම දර්ශනය වේ.

මෙහිදී පඤ්චාවාස විහාර, නටබුන් හා ගොඩනැඟිලි, චෛත්‍ය රාජයාණන් වහන්සේ, උපෝසථාඝරය, ප්‍රතිමාඝරය, බෝධිමාලකය, ආවාස කුටි, අවශේෂ පුරාවස්තු ද සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව උදා වේ. එසේම, ඓතිහාසික තොරතුරුවල සඳහන් දෑ සහ ජනප්‍රවාදවල පවතින දෑ අනුව, ක්‍රි. පූ. ශතවර්ෂයට පැමිණි බවක් ඔබට හැ‍ඟෙනු නොඅනුමානය. භික්ෂූන්, සද්ධාතිස්ස කුමරු, ගැමුණු කුමරු, මහානාග කුමරු, විහාරමහා දේවියගේ පාද ස්පර්ශයෙන් පහස ලත් මේ විහාර‍ස්ථ පින්බිම පුරා, අද ද ඒ දසුන් මැවි මැවී ඔබට පෙනෙනු ඇත.

 

 අනුසාර මාහිංගොඩ
ඡායාරූප - අන්තර්ජාලයෙනි


from dinamina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();