ටොලමි කී පමණින්ම එය අපේ නම් අතරට නුහුරු ගතියක් දැනුණද ඒ අතරම සුපුරුදු බවක් දක්නට ලැබෙන්නේ ටොලමි විසින් අඳින ලද ලංකාවේ සිතියම අපට මතකයට නැඟෙන නිසාවෙනි. ටොලමි යනු අප්‍රිකානු මහද්වීපය තුළ ඇලෙක්සැන්ඩ්‍රියාව නම් ප්‍රදේශයේ ජීවත් වූ භූගෝල දැනුමක් ඇති ශාස්ත්‍රඥයෙකි. ඔහු විසින් අඳින ලද මෙම ලංකාවේ සිතියම ක්‍රි.ව. 140ට ආසන්න කාලයකදී අඳින ලද්දක් බව යම් මතයක්ද පවතී. එම කාලය ලංකාව පාලනය කළ වාරි තාක්‍ෂණය පිළිබඳ මනා දැනුමක් ඇති වසභ රජතුමාගෙන් පසු සමය යැයි තවත් මතයක් පවතී. කෙසේ වුවද ටොලමි විසින් අඳින ලද මේ සිතියම මුතු ඇටයක හැඩයට දිස් නොවන අතරම එය ලංකාවේ පවතින ප්‍රමාණයටත් වඩා විශාලව නිර්මාණය කොට ඇත.
මුල්ම කාලයේ ලංකාවේ සිටි භාතිකාභය රජු රෝමයත් සමඟ ඇතිකරගත් වෙළෙඳ ගිවිසුම් නිසා මෙම සමය ඊජිප්තුව, ඉතියෝපියාව වැනි රටවල් සමඟ වෙළෙඳ සම්බන්ධතා පවත්වාගත් කාලයක් යැයිද සඳහන් වේ. යම් විටක ටොලමි විසින් අඳින ලද මෙම සිතියම ඔහුගේ මතය අනුව වෙළෙඳ ව්‍යාපාරයක් කරන රටක් වශයෙන් ලංකාවේ ප්‍රමාණයත් විශාල වන්නට ඇති බවය. කෙසේ වුවද ලංකාවේ ප්‍රමාණය හා හැඩය වෙනස් කොට අඳින ලද සිතියම ඒ ආකාරයෙන් වුවත් ඔහු විසින් රට තුළ සේම රටින් බාහිරව පිහිටි භූගෝලීය ලක්‍ෂණ හොඳින් අධ්‍යයනය කොට ස්ථානයන් පවා නිවැරැදිව දක්වමින් නිර්මාණය කර තිබෙන බවක් පෙනේ.
තැප්‍රොබේනය යන නම සම්බන්ධයෙන් විවිධ අදහස් පවතින අතර තාම්‍රපර්ණී යන සංස්කෘත භාෂාවෙන් නිර්මාණය වූ දෙයක් බවද බොහෝ අය සඳහන් කරයි. අනුරාධ ග්‍රාමය සම්බන්ධයෙන් ටොලමි පවසා ඇත්තේ අනුරෝග්‍රාමන් ලෙසයි. යම් විටෙක අනුරාධග්‍රාමය යන වචනය අනුරෝග්‍රාමන් යනුවෙන් ඔහුට ඇසුණු නිසා ඔහු එසේ නම් කරන්නට ඇති බවත් මතයක් පවතී. ඒ එසේ සිදුවන්නට ඇත්තේ ටොලමි යනු ග්‍රීක ජාතිකයෙක් නිසා උච්ඡාරණ ගැටළුවක් මත බවද විය හැකිය.
ලංකාවේ දකුණු පළාත ටොලමි විසින් නම් කර ඇත්තේ රෝහණ දනව්ව යනුවෙනි. මාතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති දෙවිනුවර නගරය ඔහු නම් කර ඇත්තේ දගන යනුවෙනි. එමෙන්ම මලය රට යනුවෙන් අප හඳුන්වනු ලබන මධ්‍යම කඳුකර ප්‍රදේශය ඔහු විසින් නම් කර ඇත්තේ මලය කඳ යනුවෙනි.
ලංකාවේ දිගම ගඟ වශයෙන් හදුන්වන මහවැලි ගඟ පිළිබඳවද ටොලමි විසින් සඳහන් කර ඇති අතර ඔහු මේ ප්‍රදේශය හඳුන්වා ඇත්තේ ගැන්ජිස් යන නමිනි. එමෙන්ම සුගලාදේවිය විසින් දළදා වහන්සේ සඟවා තබනු ලැබූ නූතන රම්බා විහාරය ආශ්‍රිත ප්‍රදේශය ටොලමිගේ නම් කිරීමට අනුව නාග ථූපයයි. අප විසින් මහානාගකුල යනුවෙන් හඳුන්වනු ලබන්නෙත් මේ ප්‍රදේශය යැයි සිතන්නට පිළිවන්කමක් ඇත්තේ මහානාග රජතුමා ස්ථූපයක් තැනවූ නිසා විය හැක.
ටොලමි ඇඳි සිතියම ප්‍රමාණයෙන් මෙන්ම හැඩයෙන් වෙනස් වුවද ඉන් පසු ලංකාවේ සිතියමක් ඇඳි පුද්ගලයා ලෙස ඉතිහාසගත තොරතුරු අනුව දැක්වෙන්නේ සිප්‍රියන් සැන්වේස්ය. ඒ 1619 - 1630ත් අතර කාලයේදීය. නමුත් ඒ සිතියමෙන්ද ලංකාවේ නියම හැඩය පෙනෙන්ට තිබුණේ නැත. එසේ වුවද ක්‍රි.ව. 1700දී ඛසිසැ ඇඳි සිතියම ලංකාවේ හැඩයට බෙහෙවින් සමානකමක් දක්වා ඇත. කෙසේ වුවද ටොලමි ඇඳි සිතියම ප්‍රමාණයෙන් හෝ හැඩයේ වෙනස්වීමක් පෙන්නුම් කළද ඔහු ස්ථාන නම් කිරීම අතින් හා භූගෝලයීය ලක්‍ෂණයන් නම් කිරීම අතින් ඉහළ ස්ථානයක සිටියේය.
ග්‍රිනිච් සම්මතයෙන් නැඟෙනහිර දේශාංෂක 79.55 සිට 81.51 දක්වාද උතුරු අක්‍ෂාංශක 5.5 සිට 9.51 දක්වාද ප්‍රදේශයක පිහිටා ඇති දකුණු ආසියාවේ විශාලතම දූපත වශයෙන් සැලකෙන ශ්‍රී ලංකාවේ විශාලත්වය වර්ග කිලෝමීටර 65,610කි.
අපට ආසන්නතම ප්‍රධාන රාජ්‍ය වන්නේ ඉන්දියාවයි. ඉන්දීය උප මහද්වීපයෙන් ශ්‍රී ලංකාව වෙන් වී ඇත්තේ කි.මී. 32ක් පමණ වන පෝක් සමුද්‍ර සන්ධියෙනි. ශ්‍රී ලංකාවේ ජීවත් වූ මිනිසුන් පිළිබඳ විමසීමේදී මීට වසර ලක්‍ෂ ගණනකට ඉහත මනුෂ්‍ය වාස තිබූ බවටද ඉතිහාසඥනයන් විසින් කරුණු හෙළිකරගෙන තිබේ.
එහෙත් නූතන ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ‘බළන්ගොඩ මානවයා’ හැටියට සැලකෙන වඩාත් ශක්තිමත්ම මානව ජනාවාස බිහි වී ඇත්තේ මීට වසර 37,000කට පමණ පෙරය. මෙම බළන්ගොඩ මානවයා දිවයිනේ බොහෝ ප්‍රදේශවල වාසය කර ඇති අතර මොවුන්ගේ වාසස්ථාන වී ඇත්තේ ගල් ගුහාය. මස් අනුභව කොට ජීවත් වූ බළන්ගොඩ මානවයා ගින්දර පවා නිපදවා ගැනීමට සමත් විය. ක්‍රි. පූ. වසර 100-800ත් අතර කාලය ශ්‍රී ලංකාවේ ගල් යුගයේ ආරම්භය ලෙස සැලකේ. වර්තමාන වැදි ජනයාට සමාන කම් දක්වන බළන්ගොඩ මානවයා මිනී මස් කා ඇති බවටද සාක්‍ෂි ඇතැයි ඉතිහාසඥයෝ විසින් සඳහන් කරති
ලංකාවේ ඉතිහාසය ගොනුකොට ඇති මහා වංශයේ සඳහන් වන අන්දමට ක්‍රි.පූ. 5වැනි සිය වසේදී 700ක පිරිවරක් සමඟ විජය කුමරු ලංකාවට පැමිණියේය. තම පියරජුගේ පිටුවහල් කිරීම මත විජය කුමරු ලංකාවට පැමිණියේ ඉන්දියාවේ සිංහපුරය නම් ප්‍රදේශයේ සිට බැව් ඉතිහාස විස්තරවල සඳහන් වෙයි. ඇතැම් ඉතිහාසඥනයෝ විජය කුමරු හා මේ පිරිස මංකොල්ලකරුවන් පිරිසක් ලෙසද හඳුන්වන ලදී. ඇතැම් පිරිස් විජය කුමරු උතුරු ඉන්දියාවේ ඉන්දු ආර්ය ගෝත්‍රයකට අයත් යැයි පවසන අතර තවත් පිරිසක් පවසන්නේ මොවුන් උතුරු ඉන්දියාවේන් දකුණු ඉන්දියාවට ගොස් දීර්ඝ හා දුෂ්කර මුහුදු ගමනකින් පසු ලංකාවේ වයඹ දිගින් පිහිටි වර්තමාන පුත්තලම වරායට සේන්දු වී ඇති බවයි.
විජය තම ඇමැතිවරුන්ගේ උපදෙස් පිළිගෙන මදුරා ප්‍රදේශයෙන් කුමාරිකාවක ගෙන්වාගෙන ඇති බවටත් එහි සඳහන් වෙයි. නමුත් ඔහුගේ අවසාන කාලයේදී තම බාල සොහොයුරාට ලක්දිවට පැමිණ රාජ්‍ය බලය ලබාගන්නා ලෙස පණිවුඩයක් යැවූවද ඊට කැමැති නොවූ බාල සොහොයුරා තම පුත්‍රයා වූ පඬුවස් කුමරු ලක්දිවට පිටත්කර හැරියාහ. මෙසේ පැමිණි පඬුවස් කුමරු අභිෂේක ලැබූවේ උපතිස්ස නම් ග්‍රාමයේදී බවද වැඩිදුරටත් මහාවංශයේ සඳහන් කරයි. ඉන් පසුවද තවත් කණ්ඩායමක් ලක්දිවට පැමිණි බැව් එහි සඳහන් වෙයි.
මෙසේ පැමිණි පිරිස මල්වතු ඔය ආශ්‍රිතව පදිංචිවන්නට වූහ. ඒ හා සමඟම ගංගාදාර ආශ්‍රිතව තවත් පිරිස් මුල්කරගෙන ජනපද බිහි විය. විජය රජ පරම්පරාවේ මුලින්ම සිටි රජවරුන් තම පාලන කටයුතු ගෙන ගියේ ලංකාවේ මුල්ම රාජධානිය වශයෙන් සැලකෙන උපතිස්ස නම් ග්‍රාමයේ සිටයි. තවත් කලක් ගතවීමෙන් පසු සංක්‍රමණික පිරිස් වලවේ ගඟ මූලික කරගෙන රෝහණ ප්‍රදේශයේ පදිංචි වන්නට වූහ.
මේ ආකාරයෙන් විවිධ ගෝත්‍ර හා කණ්ඩායම් පැමිණියද සියල්ල අතරින් ප්‍රභලම කණ්ඩායම සිංහලයන් යැයි ඉතිහාස විස්තරවල සඳහන් වෙයි. සිංහලයන්ගේ බොහෝ ජනපද ව්‍යාප්තව පැවැතියේ වියලි කලාපය ආශ්‍රිතවය. කෙසේ වෙතත් ලංකාවේ සිංහල ජනතාව පැවැත එන්නේ ඉන්දියාවේ සිට පැමිණි විජය කුමරුගෙන් නොවේ යැයිද යම් යම් මතිමතාන්තරවල සඳහන් වෙයි.
එක් මතයක සඳහන් වන්නේ මෙම කණ්ඩායම ඉන්දියාවේ සිට මෙරටට පැමිණි මුහුදු කොල්ලකරුවන් පිරිසක් බවයි. විජය හා පඬුවස් කුමරුත්, අභය කුමරුත් ක්‍රි.පූර්ව දෙවැනි සිය වසයේ මැද භාගයේ සිට ලංකාවේ බලය පවත්වාගෙන ගිය බවත් පසුකාලීනව පණ්ඩුකාභයගේ ඉන්දියන් සංහාරයෙන් පසු විජය හා ඔහුගේ කණ්ඩායම ඉතුරු වූ පිරිස් සමඟ කටයුතු කරමින් ලාංකීය සංස්කෘතිය හා එක්වූ බවත් සඳහන් වේ. එසේම ඉතිහාසය සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කර ඇති වංශකතාකරුවන් පවසන්නේ විජය කුමරු හා ඔහුගේ පිරිස ශ්‍රී ලංකාව තුළ ආර්ය වංශික ජනතාවක් බිහි කළ පුරෝගාමීන් නොවන බවත් එය එක්තරා කොට්ඨාසයක් විසින් මවාගත සිතිවිල්ලක් පමණක් වන බවයි. ඇතැම් විටෙක ඒ කරුණු අතර ගැබ්ව ඇත්තේ විජය යන නම යම් ජයග්‍රහණයක් ලබාගත්තකුට පවසන නාමයක් බවයි. එම නිසා එම නම ඕනෑම අයකු සඳහා භාවිත කළ හැකි බවද සඳහන්ය.
කෙසේ වෙතත් නොයෙකුත් කල්පිතයන් එක්රැස් කරගෙන විජය කුමරුගෙන් සිංහල පරපුර ආරම්භ වී යැයි කිව හැක. එසේත් නැත්නම් සත්‍ය ලෙසම විජය කුමරු හා පැමිණි පිරිසගෙන් සිංහලයන් බිහි වූයේ යැයි සඳහන් කිරීමටද හැකිය. කවුරුන් කෙසේ කීවද සත්‍ය ලෙසම මෙම කරුණු නිගමනය කළ හැක්කේ සැඟවී පවතින ඉතිහාසයට පමණි.
රජිත බස්නායක
from dinamina

0 Comments