Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සිංහලද්වීපයේ සිංහලයෝ

සිංහල ජාතියේ ආරම්භය සම්බන්ධයෙන් ඉතිහාසයෙහි විවිධ පුවත් ඇත. වගු රට වගු රජුගේ දියණිය වූ සුප්පා දේවිය විසින් සිංහයකු සමඟ කළ සංවාසය හේතුවෙන් ඇතිවූ පරපුර පුරාණ කථාවල විශේෂයෙන් සඳහන්වී තිබේ. සුප්පා දේවියගේත්, සිංහයාගේත් පුත්‍රයා සිංහබාහු වූ අතර, දියණිය සිංහසීවලී විය. විජය යනු ඔවුන් දෙදෙනා ජ්‍යෙෂ්ඨ පුත්‍රයාය. ලංකාවට පැමිණි පසුව කුවේණිය සමඟ විවාහ වන්නේ ද මෙකී විජය කුමරුයි.

සිංහල ජාතියේ ආරම්භකයා සිංහබාහුය. සිංහබාහු ‘සිංහල’ වූයේ කුමක් නිසාවෙන්දැයි මහාවංසය පවසා තිබේ. (සුමංගල හිමියන් හා බටුවන්තුඩාවේ පඬිතුමා සකස් කළ මහාවංසය)

‘‘ඒ සිංහබාහු නරෙන්‍ද්‍ර සිංහයා ගත්තේය එහෙයින් සිංහල නම් වී; ඔහු හා සම්බන්‍ධ ඇති මේ සියල්ලෝ ද සිංහලයෝයි’’ යනුවෙනි.

ධම්පියා අටුවා ගැටපදය ද, ‘‘සීහබාහු රජ සිහකු මරා ‘සීහළ’ නම් වී. ‘සීහං ලූනවා ඉති සීහළො’. විදෑ කුමර ඒ ඔහු දරු බැවින් ‘සීහළ’ නම් වී. සෙසුවෝ එවුහු පිරිවර බැවින් ‘සීහළ’ නම් වූහු’’ ආදි වසයෙන් සඳහන් කර තිබේ.

සුප්පා දේවිය සිංහයකු සමඟ සංවාසයේ යෙදී සිංහබාහු හා සිංහසීවලී නම් යුත් දරුවන් දෙදෙනා බිහි කළ බව පුරාණ කථාවල දැක්වෙතත්, තිරිසන් සත්ත්වයකුට දාව මනුෂ්‍ය දුවකගේ කුසින් දරුවන් වැදිය නොහැකි බව කා හට වුව ද වැටැහෙන කාරණාවකි. මන්ද, එය එතරම්ම අභව්‍ය සිද්ධියක් හෙයිනි. එහෙත්, මහාවංසයාදි මූලාශ්‍රයවල සිංහල ජාතියේ ආරම්භය සිංහයකු වෙත හා මනුෂ්‍ය දුවක්වූ සුප්පා දේවිය වෙත ඈඳෑ තිබේ. ප්‍රාථමික මූලාශ්‍රය අධ්‍යයනයේ දී හමුවන මෙවැනි කරුණු බොහෝ සීරුවෙන් අධ්‍යයනය කළ යුතු ඒවාය.

ජී. සී. මෙන්ඩිස් විසින් කර ඇති පහත සඳහන් මේ සාකච්ඡාවේ දී වැදැගත්ය.

‘‘... සිංහබාහු කථාන්තරයට ද පදකුසලමානව ජාතකයේ අභාසය ලැබී ඇති බවක් පෙනේ. ඒ ජාතක කථාව බ‍්‍රාහ්මණයකු හා යක්ෂණියක සම්බන්ධ වූවකි. මෙහි ද දක්නට ලැබෙන්නේ බොහෝසෙයින් සමාන විස්තර මාලාවකි. මේ අනුව මේ කථාන්තර දෙකත් අන්‍යෝන්‍ය සම්බන්ධයක් නැතිව වෙන් වශයෙන් පතළවී ගිය කථාන්තර දෙකක් වශයෙන් සැලකීම අපහසුය ...’‘

එසේම, ලක්ෂ්මන් සු. පෙරේරා විසින් තබා ඇති සටහන ද අවධානයට ලක් කළ යුත්තකි.

‘‘... සිංහල රාජ්‍යයේ ආරම්භය පිළිබඳ මේ සුප්‍රකට විස්තරයේ තිබෙන ඇතැම් ලක්ෂණ ජාතක කථා කීපයක ද දක්නා ලැබේ. මහාවංසඉතිහාසපරම්පරාවේ කර්තෘවරුන් මේවා ජාතකවලින් උපුටා ගන්ට ඇත. නැතහොත් මහාවංස පරම්පරාවටත්, ජාතකවලටත් පදනම් වූ වෙනත් පොදු මූලාශ්‍රයක් තිබෙන්ට ඇත. මේවා කොතරම් සමීප සමානකම් ද යතහොත්, අහම්බෙන් ඇති වූ සමානකම්යැයි සැලකීමට පවා ඉඩක් නැත්තේය. එහෙයින් මේ විස්තරයේ සත්‍යබීජය කුමක් දැයි සොයාබැලීමේ දී, මේ කරුණු අපේ පරීක්ෂාවට භාජන විය යුතුය.

වංගකුමාරිකාවට සිංහයා හමු වීමේ කථාව පදකුසලමානව ජාතකයේ මුල් කොටසට සමානය. වෙළඹකගේ වැනි මුහුණක් ඇති යකින්නක විසින් ගැල්වලින් වෙළෙඳාමට ගිය පිරිසකට පහර දී, සුරූප බ‍්‍රාහ්මණ තරුණයකු පැහැරගෙන ගොස් ඔහු තම ගුහාවෙහි සිර කර තබාගත් බව ද, ඔවුන්ගේ සහවාසය නිසා බෝධිසත්ත්වයන් ඇය කුස පිළිසිඳ ගත් බව ද, එතුමා යථාකාලයෙහි බිහි වූ බව ද ඒ ජාතකකථාවෙහි සඳහන් වෙයි. වැඩිවිය පැමිණි පුත්‍ර තෙමේ තම පියා සමඟ පලාගොස්, මිනිස්අඩවියට යයි. ඔවුන් නැවත ගෙන්නා ගැනීමට මව් යකිනිය වෑයම් කරන්නීය. ඒ වෑයමෙන් වැඩක් නොවූ හෙයන් ඕ ශෝකයෙන් මැරී වැටෙන්නීය ...’’

තිරිසන් සත්ත්වයකුගෙන් පැවැත එන්නේ යැයි යන පුරාණ කථාන්දරය ඇති එකම ජාතිය ද ‘සිංහල’ පමණක් නොවේ. පැරැණි ග්‍රීකයන්, චීන ජාතිකයන්, රුසියානුවන් ආදි විවිධ ජාතීන් ද තමන් සත්ත්වයකුගෙන් පැවැත එන්නේ යැයි යන විශ්වාසයක සිටී. ග්‍රීකයන් පවසන්නේ, තමන් ෆීනික්ස් නමැති පක්ෂියකුගෙන් පැවැත එන බවයි. චීන ජාතිකයන් මකරකුගෙන් පැවැත එන බවත්, රුසියානුවන් හිස් දෙකක් සහිත උකුස්සකුගෙන් පැවැත එන බවත් ප්‍රවාදගතව පවතී. මේ අනුව තමන් තිරිසන් සත්ත්වයකුගෙන් පැවැත එන්නේ ය යන විශ්වාසය ඇති එක ම ජාතිය ‘සිංහල’ ජාතිය පමණක් නොවන බව පැහැදිලිය. එපමණක් නොව, මෙසේ ස්වකීය ජාතියේ පූර්වාරම්භය සිදු කළේ යැයි පැවැසෙන සත්ත්වයා, තම තමන්ගේ සංස්කෘතියට සාපේක්ෂව වැදැගත් සත්ත්වයකු වීම ද කැපී පෙනෙන කාරණාවකි. ස්වකීය ජාතිය තුළ ඇති සුවිශේෂීත්වය, පාරිශුද්ධත්වය ආදිය මතුකොට දැක්වීමේ දී, තමන් සත්ත්වකුගෙන් පැවැත එන ජාතියකට අයත්ය යන සංකල්පය වැදගත් වන්නට ඇත.

ඇතැම්විට, සුප්පා දේවියගේ සහකරු තිරිසන් සත්ත්වයකු නොවූයේ නම්, හෙතෙම ‘සිංහ’ යන නම ඇති පුරුෂයකු දැයි කල්පනා කර බැලිය යුතුය. සුප්පා දේවිය සිංහයාට නතු වන්නේ වෙළෙඳ සමූහයක් සමඟ ගමන් කරන අතරවාරයේ බැවින්, වෙළෙඳ සමූහය වෙත කඩා පනින සිංහයා, ‘සිංහ’ නම් ඇති මං පහරන්නකු වීමට ද බැරි නැත. තත් කථාන්දරය විවිධ විපර්යාසවලට බඳුන් වෙමින්, දශක ගණනාවත් තිස්සේ පැවැත ඒමේ දී, මුලින් සිටි ‘සිංහ’ නමැති මනුෂ්‍යයා, ‘තිරිසන් සිංහයකු’ බවට පත් වීම ද විය නොහැක්කක් නොවේ.

සිංහබාහු හා සිංහසීවලී යන දෙදෙනාගෙන් පැවැත එන පරපුර ‘සිංහල’ නම් වූ බව මහාවංසයා දී මූලාශ්‍රයවල අදහස බව, ඉහත සඳහන් කළෙමු. චීන වාර්තාවල ද මේ කථාන්දරය සඳහන්වී ඇතත්, යම් යම් තැන්වල වෙනස්කම් ද පවතින බව පෙනේ. හියුත් සාං හිමියන් සඳහන් කරන විස්තරයේ කථා නායකයා ද සිංහයකුගේ පුත්‍රයෙකි. ස්වකීය පියා වූ සිංහයා මරා දැමූ හේතුවෙන් ඔහුත්, ඔහුගේ නැගණියත් නැව් දෙකක දමා පිටුවහල් කරනු ලැබේ. සොයුරිය පර්සියාවටත්, සොහොයුරා රත්නදීපයටත් ගොඩබසින අතර, රත්නදීපයට පැමිණි පසු සිංහ පුත්‍රයා සිදු කළේ තත් දිවයිනට පැමිණෙන වෙළෙඳුන්ගේ ප්‍රධාන වෙළෙන්දන් මරා, ඔහුගේ දරුවන් (හෝ සේවයකයන්) එහි ම රඳවා ගැනීමයි. කල් යාමේ දී විශාල ජන පිරිසක් එහි ඇති විය. ඔවුහු රජකු තෝරාගෙන, මිනිසුන් කොටස් වශයෙන් බෙදා ක්‍රමයෙන් මහා නගර, කුඩා නගර ආදිය පිහිටුවා ගත්හ. මොවුන්ගේ ආදි පුරුෂයා සිංහයකු මැරූ නිසා, එරට ‘සිංහල’ නාමයෙන් ප්‍රකට විය.

සිංහලද්වීපය සම්බන්ධයෙන් හියුත් සාං හිමියන් සඳහන් කරන දෙවැනි විස්තරය ද වැදගත් වූවකි. එහි සඳහන් වන ආකාරයට, රත්නද්වීපයේ වාසය කෙළේ රාක්ෂස ස්ත්‍රී වර්ගයකි. මැණික් සොයමින් එහි පැමිණෙන වෙළෙඳුන් ළඟට මනුෂ්‍ය වේෂයෙන් ගොස් ඔවුන් පොලඹවාගෙන, ඔවුන් හා සතුටුවී, අනතුරුව තමන් කැමැති වේලාවක ආහාරයට ගැනීම සඳහා වෙළෙඳුන් සිර කර තබා ගැනීම, මේ රකුසියන්ගේ සිරිත විය. දඹදිව සිංහ නමැති වෙළෙන්දකුගේ සිංහල නමැති පුත්‍රයකු ද මේ ආකාරයෙන් පිරිවර හා සමඟ රත්නද්වීපයට පැමිණෙන ලදුව, රකුසියන්ගේ වසඟයට පත් විය. එහෙත්, සිංහල නමැත්තා මොවුහු රකුසියන් බව දැනගෙන, ස්වකීය පිරිවර සමඟ වලාහක අශ්වයකුගේ උපකාරයෙන් පැන ගියේය. පිරිස පලාගිය බව දැනගත් රාක්ෂසියෝ නැවැත පැමිණ, සිංහල වෙළෙඳ පුත්‍රයා හැර අන් සියල්ලෝම යළි තමන් සමඟ යාමට කැමැති කරවා ගැනීමට සමත් විය. සිංහල වෙළෙඳ පුත්‍රයා නැවත කැඳවාගෙන ඒමට අසමත් වීම නිසාවෙන්, රකුසු රැජනිය අනෙකුත් අයගේ සරදමට ලක් විය. එහෙයින්, සිංහල වෙළෙඳ පුත්‍රයා සොයා නැවත පැමිණෙන රකුසු රැජිනිය තමා සමඟ යළි පැමිණෙන ලෙස ඇවිටිලි කළ ද, සිංහල වෙළෙඳ පුත්‍රයා ඊට අකමැති විය. එහෙත්, එරට රජු රකුසිය කෙරෙහි වසඟවී, ස්වකීය අන්තඃපුරයේ ඇය නවතා ගත්තේ ය. එදින මැදියම් රැයේ දී රත්නද්වීපයට පැමිණෙන රකුසිය, සිය පිරිවර රකුසියන් පන්සියයක් සමඟ නැවත රජ ගෙට පැමිණ, රජ ගෙයි සිටි සියලුම දෙනා මරා කා, ඉතිරි මසුත් රැගෙන රත්නද්වීපයටම ගියාය.

පසු දිනයේ රජ ගෙට පැමිණි ඇමැති ආදීන්ට සිදුවී තිබූ විපත දැක ගත හැකි විය. හිස්වූ රජකමට ධර්මිෂ්ට, නුවණක්කාර හා ක්‍රියාශීලී සිංහල වෙළෙඳ පුත්‍රයා තෝරා ගත්හ. ස්වකීය මිත්‍රයන් තවමත් රකුසියන්ගේ රටේ බව රජවූ පසු ඔහුට සිහිපත් විය. එහෙයින් ඔවුන් බේරා ගැනීම පිණිස උත්සුකවූ හෙතෙම, යුද සෙනඟ පිරිවරා නැව් නැඟී, රත්නද්වීපයට ගියේය. ඔහුගේ පිරිසේ යුද්ධාභ්‍යාසයෙන් බියපත් වූ රකුසියෝ පලා යන්නට වූ අතර, අතැමෙක් සමුද්‍රයේවූ පර්වත සහිත දිවයින්වලට පැමිණියහ. ඇතැමෙක් මුහුදේ ගිලී මළහ. රත්නද්වීපයේ රකුසියන්ගේ ධනය ‘සිංහල රජු’ (මුලින් සිංහල වෙළෙඳ පුත්‍රයා) සතුවූ අතර, හෙතෙම තමාට අභිමත තැනෙක නගරයක් පිහිටුවාගෙන, තවත් නොයෙක් තැන්වල නගර, ගම් පිහිටුවමින් රත්නද්වීපයේ රාජ්‍යය කළේය. මුලින් රත්නද්වීපය වූ නමුත්, පසු කලෙක මේ රජු ගේ නමින් මේ දිවයින ‘සිංහලද්වීප’ නමින් හඳුන්වන්නට විය.

හියුත් සාං හිමියන් සඳහන් කරන මුල් විස්තරය, සිංහබාහු කථාන්දරයට තරමක් සමාන වුවත්, දෙවනු කරන විස්තරය මහාවංශයා දී මූලාශ්‍රයවල දක්නට නොලැබෙන්නකි. උන් වහන්සේ ස්වකීය වාර්තාව සකස් කරන කාලය වන විට ලංකාවේ මහාවංසය ලියැවී තිබුණු බව ද අමතක කළ යුතු නැත. එසේම, උන් වහන්සේ ලංකාව පිළිබඳ දැන ගන්නේ ලංකාවේම භික්ෂූන් වහන්සේලා පිරිසකගෙන් වීම ද විශේෂ කාරණාවකි. ඒ, හියුත් සාං හිමියන් කාඤ්චිපුරයට පැමිණ සිටි කාලය විය. ක්‍රි. ව. 640ට ආසන්න කාලයක ලක්දිව ඇතිවූ රාජ්‍ය විප්ලවයක් හා දුර්භික්ෂයක් හේතුවෙන් බෝධිමේඝේෂ්වර, අභයදංෂ්ට‍්‍ර යන ස්ථවිර දෙනම ප්‍රමුඛ 300ක් ලක්දිව භික්ෂූන් වහන්සේලා දඹදිවට වැඩම කළහ. ලක්දිව සම්බන්ධ පුවත් හියුත් සාං හිමියන්ට පවසන්නේ මේ භික්ෂූන් වහන්සේලා පිරිසයි. ඒ වන විට ලක්දිව මහාවංසය රචනාවී තිබුණේ නමුත්, මහාවංසයේ සඳහන් වන ආකාරයෙන් ලංකාවේ සිංහල ජාතියේ ආරම්භකයා වූ විජය නමැති කුමරුවකු පිළිබඳ තත් භික්ෂූන් වහන්සේලා හියුත් සාං හිමියන්ට පවසා නොමැති බව පෙනේ. එවැනි කථාන්දරයක් පැවැසුයේවී නම්, නිසැකවම ඒ පිළිබඳ උන් වහන්සේ ස්වකීය වාර්තාවේ අන්තර්ගත කරනු ඇත. ඇතැම් විට හියුත් සාං හිමියන් වාර්තා කර ඇති, සිංහබාහු පුවතට සමාන මුල් කථාන්දරය පවසන්නට ඇත්තේ ද, මේ භික්ෂූන් වහන්සේලාම වන්නට ඇත. ඒ කෙසේ නමුත්, ලක්දිව මහාවංසයා දී මූලාශ්‍රයවල එක් කතාවකුත්, හියුත් සාං හිමියන්ගේ වාර්තාවේ ඊට තරමක් වෙනස් කථාන්දරයකුත් සඳහන් වීම මඟින් පෙනෙන්නේ, තත් කාලය වන විට ලංකාවේ සිංහල ප්‍රජාවේ තහවුරු වීම සම්බන්ධයෙන් එකිනෙක වෙනස් කථාන්දර දිවයිනේ ව්‍යාප්තවී පැවැති බවයි. ක්‍රි. ව. 4-6 සියවස් අතර කාලයකට අයත් යැයි සැලැකෙන අජන්තා ලෙන් චිත්‍ර අතර, සිංහලගේ ලංකාගමනය සිතුවම් කර තිබීම ද අමතක කළ යුතු කාරණාවක් නොවේ.

කෙසේ නමුත්, මේ කථාන්දරවල පවතින පොදු ලක්ෂණය වන්නේ, ලංකාවේ සිංහල නමින් තහවුරු වූ ප්‍රජාව ඉන්දියාවේ සිට පැමිණි බවට ඇති පිළිගැනීමයි. මහාවංසය පවසන ආකාරයට, සිංහබාහු රජු, සිංහසීවලියගෙන් ජාත භූමියට ගොස් නුවරක් ඉදි කළේය. එය ‘සිංහපුර’ නම් විය. ලාට රට ඒ නුවර සිංහබාහු තෙමේ රජ කළේය. විජය කුමරුගේ උපන් බිම ද සිංහපුරය හෙයින්, ලංකාවට පැමිණි සිංහලයන්ගේ මුල්ම භූමිය වශයෙන් අදාළ ප්‍රදේශය සුවිශේෂීවේ. මහාචාර්ය සෙනරත් පරණවිතාන මෙසේ කිය යි.

‘‘... සැබැවින්ම මේ සිංහපුරය පිහිටියේ කොතන ද යනු සත්ත්වැනි සියවසේ දී එරටට පැමිණි හියුං ත්සං හිමියන් දක්වා ඇත. මේ චීන යාත්‍රිකයා කියන පරිදි සිංහපුර රාජ්‍යයේ බටහිර සීමාව වූයේ සින්ධු නදියයි. සිංහපුර නගරය පිහිටියේ තක්ෂශිලාවට (තක්ෂිලාවට) ලී 700 ක් (සැතපුම් 117 ක්) පමණ ගිනිකොනින්ය.

‘සිංහල’ යන පුද්ගල නාමය (සුළු වෙනසක් ඇතිව) ක්‍රි. ව. පළමුවැනි හෝ දෙවැනි ශත වර්ෂයට අයත් ඛරෝෂ්ඨි ශිලාලිපි දෙකක සඳහන් කර තිබීමත්, ආදිම සිංහලයාගේ මුල් බිම මේ පෙදෙසේ පිහිටි බවට සාධකයකි. ඉන්දියාවේ සෙල්ලිපිවල මේ නම දක්නට ලැබුණේ මෙහි පමණකි. මෙයින් එක් ලිපියක් තක්ෂිලාවේ ස්ථුපයක තිබී සොයාගනු ලැබූ කරඬුවක ද, අනෙක, ලොරියාන්-තංගයි නමැති තැන තිබී සොයාගනු ලැබූ පැතළි රූපයක ද දක්නට ලැබුණේය. සිහිල (සිංහල), සිංහරක්ෂිත යන සහෝදරයන් දෙදෙනකු විසින් සියලූ බුදුවරයන් උදෙසා ස්ථූපයක් ඉදිකරවනලදැයි පළමුවැනි සෙල්ලිපියේ සඳහන් වෙයි. සිහිලක (සිංහලක) ගේ යහළු (නොහොත් අතවැසි) සිංහමිත්‍ර විසින් පිරිනමනලද පරිත්‍යාගයක් ගැන දෙවැනි සෙල්ලිපියේ සඳහන් වෙයි ...’’

සිංහපුර සිංහබාහු රජු ගේ පුත් විජය විසින් ක්‍රි. පූ. 6වැනි සියවසේ දී පමණ ලංකාවට පැමිණීමෙන් පසු, ලංකාවේ සිංහල ජාතියේ ආරම්භය සිදුවූ අතර, මේ දිවයින සිංහලද්වීප වශයෙන් ව්‍යවහාර වන්නට ද පටන් ගත්තේය. අද වන විටත් ලංකාව පුරා සිංහල නමින් ජාතියක් විසිරී පැතිරී පවතින්නේ, ක්‍රි. පූ. 6 වැනි සියවසේ දී පමණ සිදුවූ උක්ත ඓතිහාසික සංසිද්ධිය මූලික කර ගනිමින් බව මෙහි ලා අමුතුවෙන් පැවැසීය යුත්තක් නොවේ.

ශකිල රාජකරුණා

 



from dinamina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();