දුටුගැමුණු මහරජුට උදේට එළකිරි උණු කර දී ඇත්තේ 'බුලතා' යෝධයා බව පැවසේ. මහියංගණයේ සොරබොර වැව ඉදි කළ මෙම බුලතා යෝධයා නමින් ගමක් ද ඉදිකොට ඇත. මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වේරගංතොටට නුදුරු බුලත්වැල්කඳුර නමින් අදත් මෙම ගම හඳුන්වයි. දුටුගැමුණු මහ රජුට බුලතා යෝධයා එළකිරි උණු කර ඇත‍්තේ විශාල ගල් පර්වතයක පිහිටි තැනිතලාවක කළුගල් තුනක විශාල මැටි මුට්ටියක් තබාය. මෙම ගල් පර්වතයට උණුකිරිගල කන්ද නමින් ප්‍රසිද්ධ විය.
ඒ හේතුවෙන් මහියංගණ චෛත්‍යය මුලින්ම ඉදිකොට ඇත්තේ ද දුටුගැමුණු මහරජතුමා විසින් බව සඳහන් වේ. ක්‍රි. පූර්ව 505 දී පමණ එය සිදු වූ බවට ඉතිහාසයේ සඳහන් වේ. ඒ වකවානුවේදී බුලතා යෝධයා සොරබොර වැව ඉදි කළ බවටත්, බිබිල වෙල්ලස්සේ ඓතිහාසික කොටසර රාජමහා විහාරස්ථානයේ උමං ළිඳ හෑරූ බවටත් ඉතිහාසයේ සඳහන් වෙයි. දුටුගැමුණු මහරජුට කිරි උණු කළ ගල පිහිටි කඳුවැටිය අද වන විට මාදුරුඔය ජාතික වන උද්‍යානයට අයත්ව තිබේ. මහියංගණ - පදියතලාව මාර්ගයේ දඹාන ආදිවාසී ගම්මානය පහුකර ගුරුකුඹුර වනජීවී මුර කපොල්ලෙන් ඇතුළු වී මාදුරුඔය ජාතික වන උද්‍යානයට පිවිසිය හැකිය. මහියංගණ - පොලොන්නරුව මාර්ගයේ ගිරාඳුරුකෝට්ටේ නගරය පසු කර රත්කිඳ ජලාශයෙන් එගොඩවීමෙන් ද මෙම ස්ථානයට ළඟා විය හැකිය.
එදා බුලතා යෝධයා කිරි උණු කළ ස්ථානය මෙම ගල තරණය කළ විට අදත් දකින්නට හැකිය. මෙහි අක්කරයකට වැඩි භූමි ප්‍රමාණයක තැනිතලාව ඇත. ඒ මත විශාල ගල් තුන පිහිටා ඇත. ඒ මත තැබූ මුට්ටියක කිරි උණු කරන්නට ඇතැයි විශ්වාස කළ හැක. එකල දුටුගැමුණු මහරජ කිරි කළ හතක් පානය කළ බවට ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙම ගල පිහිටි කඳුවැටිය දිගින් කිලෝමීටර් එකක් පමණ වන අතර, පළලින් මීටර් 500 කට ආසන්න යැයි විශ්වාස කළ හැකිය. මෙහි අඹ, කොස් වැනි ගස් වර්ග දැකගත හැකිය. වැළ, වරකා ඇති අතර, ඒවා අනුභව කළ හැකිය. එහෙත් රැගෙන ඒමට නොහැකි බවටත් එලෙස රැගෙන ඒමට සූදානම් වූ මෙන්ම නිධන් වස්තු කොල්ලයට ගිය අයට කරදරවලට මුහුණපෑමට සිදු වුණ අවස්ථා ඇති බවත් ගම්වාසීන් විස්තර කළේ මේ අයුරිනි.
දඹාන ගුරුකුඹුර පදිංචි ඌරුවරිගේ ගුණබංඩිලා ඇත්තන් (54) පැවසුවේ මෙබඳු කතාවකි.
‘මේ කන්දට පාර නොදන්න කෙනෙකුට එන්න බැහැ. කැලේ අතරමං වෙනවා. ගල මුදුනට යන්න වනජීවී මහත්වරුන්ගෙන් අවසර ගන්න ඕනෑ. පාරුකරුවෙකුගේ මාර්ගයෙන් ගලට හොරෙන් ගිහින් නිධන් ගන්න හදපු අයත් පසුගිය කාලයේ වනජීවී නිලධාරීන්ට අහුවුණා. මේ ගලේ වටිනා නිධන් වස්තු තිබෙන බවට ප්‍රසිද්ධයි. බුලතා යෝධයාගේ රන්කඩුව, රන් ආභරණ මෙහි නිධන් කරලා තිබෙන බව කියනවා. බුලතා යෝධයා සොරබොර වැව බැඳලා තියෙන්නේ මේ ස්ථානයේ ඉඳගෙන. බුලතා යෝධයා වැඩි කාලයක් ගතකරලා තියෙන්නේ මේ ගලේ බවට විශ්වාසයක් තියෙනවා. මහියංගණ චෛත්‍යයත් සොරබොර වැවත් මේ උණුකිරිගලත් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. එදා මහියංගණ චෛත්‍ය හදන්නට දුටුගැමුණු රජ්ජුරුවන්ට මුලින්ම ආරාධනා කර ඇත්තේ සුමන සමන් මහා දෙවියන් විසින්. ඊට පසු රජු මහියංගණ මහා සෑය හදන තැනට බුලතා යෝධයා මේ උණුකිරිගල කන්දේ සිට ගමන් මාර්ගයක් හදාගෙන තියෙනවා. ඒ අතරතුර තමයි සොරබොර වැව හදන්න පටන්ගෙන තියෙන්නේ. සොරබොර වැව ඉස්මත්තේ වටවන කියන ගම පිහිටා තියෙනවා. ඒ කාලෙ පටන් මේවගෙ ජීවත්වෙලා තියෙන්නේ වැදි මිනිස්සු. උණු කිරිගල කන්දෙන් බැහැලා යන්නේ දඹාන වැදි ගමට. එතනින් යනවා වටවනට. ගිහින් සොරබොර වැවට යනවා. එතනින් මහියංගණ චෛත්‍යයට යනවා. ඔන්න පාර. දවසකට දෙතුන් වතාවක් බුලතා යෝධයා මෙහෙම අවා ගියා කියනවා. ඒක පිළිගන්න සාධක තියෙනවා. අපේ මී මුත්තන් ඒ දවස්වල මේ කතා අපට කියලා තියෙනවා. උණුකිරිගල කන්දට රාත්‍රියට දේවතා එළි පාත් වෙනවා. ඒ දේවතාවරු යන එන බව තමයි කියන්නේ. මේවාට දවස් තියෙනවා. පසළොස්වක පෝය දවසට, බදාදා, සෙනසුරාදා වගේ කෙම්මුර දවස්වලට රාත්‍රී 12 න් පසුව තමයි දේවතාවරු වඩින්නේ.
රාත්‍රී කාලයට මේ ගල් කන්දට කිසිවෙකු යන්නේ නැහැ. ඒ වුණත් විශේෂයෙන් කෙම්මුර දවස්වල රාත්‍රී කාලයේ කථා, ශබ්ද, ගල් දොරවල් ඇරෙන සද්ද ඇහෙනවා. නමුත් ගලෙන් බසින කෙනෙක් පේන්ට නැහැ. මේ ගල් කන්දට අරක්ගෙන සිටින දේවතාවරු එහෙම නැත්නම් මේවා භාරගත්ත බහිරවයෝ වෙන්න ඕනෑ,
දඹාන වතුයාය ප්‍රදේශයේ පදිංචි ආදිවාසී ඌරුවරිගේ විජේබංඩිලා ඇත්තන්,
‘මේවා වැද්දන්ගේ ගම් පොජ්ජවල්, අම්මිලා, අප්පිල ඇත්තන් කැකුලි කැකුලන් ආදී කාලේ ඉඳලා මේ ගම් පොජ්ජේ ජීවත්වෙලා තියෙනවා. උණුකිරිගල කන්ද බොහොම බලගතු තැනක්. නරක හිතකින් ගියොත් එන්න වෙන්නේ නැහැ. දවසක් අම්පාර පැත්තේ දේශපාලනය කරන ලොකු මහතෙක් තවත් කීපදෙනෙකු සමඟ ගමේ ඉන්න පාරකාරයත් සමඟ කොහොමහරි මේ කන්දට ගියා. ආපු පිරිස ගියේ නිධන් බලන්න. මේක දන්නෙ නැහැ ගමේ ඇත්තෝ. කොහොම හරි හවස් වෙනකොට ගමට ආරංචි වුණා කලු දෙබරු ඇවිස්සිලා ගිය අයට ගහලා කියලා. අවසානයේ අම්පාරෙන් පැමිණි මන්ත්‍රීතුමා උස්සාගෙන පාරට ගේන්න පාර පෙන්වන්න ගිය ගමේ අයට සිද්ධ වුණා. මේ උණුකිරිගල කන්ද බොහොම බලගතු තැනක්. වැරැද්දක් කරලා නම් හොඳින් එන්න බැහැ. බුලතා කියන යෝධයා දේවතාවෙක් වෙලා ඉන්නවා කියලා කියන්නත් පුළුවන්. මේ සිදුවීම් එක්ක විශ්වාස කරන්න හැකියි දුටුගැමුණු රජ්ජුරුවන්ට කිරි උණු කරලා තියෙන්නේ මේ කන්දේ. කිරි උණු කළේ කැලේ ඉන්න හරකුන්ගෙන් දොවාගෙන ඇවිත්. බුලතා යෝධයා මේ ගල් කන්දට ගිහින් කිරි උණු කරලා දුටුගැමුණු රජුට දුන්නා කියනවා. බුලතා යෝධයා කිරි කළ හතක් අරගෙන කන්දෙන් කන්දට පැන ගියා කියලත් මතයක් තියෙනවා. කොහොම වුණත් මේ ගල කන්දට උණුකිරිගල කන්ද කියලා නම හැදුණේ බුලතා යෝධයා දුටුගැමුණු රජුට කිරි උණු කළ නිසා යැයි විශ්වාස කළ හැකියි.
බුලතා යෝධයාගේ ඇල්ම බැල්ම නිසා තාමත් උණු කිරිගල කන්දේ පරිසරය ආරක්ෂා වී ඇත. මේ සඳහා වනජීවී නිලධාරීන්ගෙන් ලැබෙන සහය ද අගය කළ යුත්තකි.
බිබිලේ වීගොඩ හේමපාල
from dinamina

0 Comments