Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මතක මාවතක උදානය ධර්මාධිකරණ ශාස්ත්‍රය

දියෙන් පිරුණු නිල්වන් වැව් යායවල්, ඇළින් ඇළ බැඳි දිය යායන් වූ සමයය. ඇළින් ඇළට ගලන දිය, වෙලින් වෙලට ගොස් සරුසාර ගොයම පුබුදයි. මේ ජීවන තාලය පිම්මක් ගෙන වේගවත් වූයේ, ගෝකණ්ණ මහ වරාය මැදිකරගත් නව මානයකින්ය. දිය දහරා වෙලින් වෙලට යවා, කරලින් කරල බර කර, ලක්දිව වාණිජ බරට නව මඟ තැනුණේ, දිය තො‍ටුමුණවල් මැදිනි. ඒ, මහා පරාක්‍රමබාහු රජුගේ වාණිජවාදී නැඟී සිටීම සමඟය. පෙර - අපරදිග වාණිජ වෙළෙඳ ජාලයේ ගිමන් නිවන පාරාදීසය ගෝකණ්ණ විය.

මහ පරාක්‍රමබාහු රජු විසින් එය තවත් පුළුල් කර තීරණ ක්‍රියාවලියට නැංවූයේ, මහියංගණය වණික් ග්‍රාමයේය. මහියංගණයේ වණික් ග්‍රාම කීවේ නිදහස් වෙළෙඳ කලාපවලටය. ගෝකණ්ණ වරායේ නතරව සිටීම වෙනුවට රට මැද නැව් හා යාත්‍රාවලින් මහියංගණයට එන අමුතු දිය මාවතක් තැනුණේය. ඒ කීවේ ගෝකණ්ණ වරායේ සිට මහවැලි නදිය දිගේ මහියංගණය දක්වා යාත්‍රා වන වෙළෙඳ යාත්‍රා ජාලයක් රට තුළ ඇති වීමය. එම වෙළෙඳ යාත්‍රා ප්‍රජාව එකට හමුවන වාණිජවාදයේ නවීන නගරය මහියංගණ වාණිජ ග්‍රාම විය. වාණිජ ග්‍රාමයේ නැඟී ඒම විසින්, වැවින් වැව, ඇළින් ඇළ බැඳි ලංකාවේ ඔරු පාරු යාත්‍රා නැව් ගමනාගමනය ඉස්මත්තට දියුණු විය. ගොඩවායට දක්ෂිණ සාගරයෙන් ඇතුළුවන යාත්‍රා, වලවේ ගඟ දිගේ සබරගමුවට පැමිණීමේ දිය මාවත ද බැඳුණේය.

බටහිර සයුරෙන් බට යාත්‍රා, කැලණි නදිය දිගේ රට මැදට පැමිණෙන විට, දිය ගංගා හැම ඔස්සේ රටවටා සරුසාර වාණිජවාදය නැඟ එන්නේය. එහි ප්‍රතිඵලය සිංහලයන්ට අලුත් වන්නටත්, කඩිසර වන්නටත් සිදු වීමය. සුපුරුදු නිසල ජීවිතය වෙනුවට වඩා කඩිසර ජීවිතයක්, මේ ක්‍රමය මඟින් ගොඩනැඟුවේය. එය සරුසාර ලංකාවක් බවට පත් කළේය. සරුසාරකම සමඟ ධනවත්, දුප්පත්කම් අතර පරතරය පුළුල් වීම ද ඇරැඹිණි. නව තාලය විසින් ධනය උපරිම දු‍ටුවන් ද, නව තාලය නිසා ධනයෙන් පිටමං වූ සමාජයක් මතුවන්නේ මේ එක්කය. විටෙක සිංහලයාගේ සොබා තාලය වෙනස් එකකි. ඔවුහු අසීමාන්තික කඩිසරකම ප්‍රිය නොකරන ජාන වංශයකි. මහා පරාක්‍රමබාහු රජු විසින් ස්ථාපිත වැව්, කෙත හා බැඳුණු වාණිජ ජාලය සමඟ, ඉක්මන් වෙළෙඳ ප්‍රජාවක් බිහි වීමට සිංහල සමාජය තුළ විරෝධයක් ද මතු වේ. එය පුපුරා යන්නේ, සුගලා දේවිය විසින් සම්මත සිංහලයාගේ හද බිමවූ රුහුණින් කැ‍රැල්ලක් මතු කරවමිනි. සුගලා දේවිය විසින් රුහුණ පදනම් කරගෙන දියත් කළ මහා පරාක්‍රමබාහු විරෝධී කැ‍රැල්ලට පාදම වනුයේ, පීඩිත සිංහලයන්ගේ විලාපයය. එහි මුදුනේ තිබුණේ රාජ බල උරුමයෙහි තරගය වුව ද, පාදම මේ ප්‍රභූ නිර්ප්‍රභූ ගැ‍ටුමය.

ක්‍රි.ව. දොළොස්වැනි සියවස උදා වූයේ, ලෝකය පුරා නැඟ එන නව නැඟිටීමක් සමඟය. ඉස්ලාම් ආර්ථික බලය විසින් ද, එයට ප්‍රතිපක්ෂ ක්‍රිස්තියානි වෙළෙඳ බලය සහ මේ දෙකම එකවිට අබිබවන චීනයේ මකර නැඟීටීම ද මතුවේ. ලක්දිව ඒ මැදින් ලොව මුදුනට නංවන මාවත නිවුණ සැනහුණ පුරාණ ක්‍රමයට නොව, ප්‍රවේගවත් කඩිසර බහු මාදිලියේ ජීවන අවකාශය යැයි මහ පරාක්‍රමබාහු ලක් රාජ්‍යයට කාවැද්දුවේය. ඒ කාවැද්දුමේ අතුරු ප්‍රතිඵලවූ පීඩිත නැඟිටීම පරාජය වූයේ, සුගලා දේවියගේ කැ‍රැල්ල පරාජය කිරීමෙනි. එහෙත්, හිඩැස් පුළුල් වේ. කුලීන - කුලහීන ලෙස අතීත වහරින් අරුතට ගන්නා මේ පිබිදීම, පීඩිත - ධනපති භේදයය. කොහොමින් හරි අතිශය කඩිසර ජාතියක් බවට සිංහලයා පත් කිරීමේ මහා පරාක්‍රමබාහු රජුගේ ජාතික සිහිනය සැබෑ වුණේය.

එය සැබෑ වූයේ, මෙසේ දැඩි දුරස්ථකරණයක් මතු කරමිනි. මෙහි ප්‍රතිඵලය වූයේ, ප්‍රභූත්වයට එරෙහි සමාජ වෛරයක් ලක් සමාජය ඇතුළතින් ගලා යෑමය. ක්‍රි.ව.1153 සිට 1186 දක්වා පැතිර ගිය මහා පරාක්‍රමබාහුගේ තිස්තුන් අවුරුදු පාලනය, මේ පීඩිත අසහනයේ අතුරු කතාබහෙන් පිරී පවතින්නකි. ලක් ඉතිහාසය දෙස නෙත යොමු කිරීමේදී, මෙවන් විශේෂ පැති ඇති බව නොදන්නා ඉතිහාසඥයන් දන්නා දේම දෙස බලමින්, ලියමින්, සොයමින් එකම තොරතුරුම ඉතිහාසය සේ ගනිති. ඒත්, ඉතිහාසය බහුමාන පැතිමානවලින් එබී බලා සොයාගත යුතුය. මහා පරාක්‍රමබාහු රජතුමාගේ ජීවිතය වෙලා බැඳගත් පුත්‍ර වියෝගය මැදින්, මේ සමාජ අසහනය ඔහුට ආත්මීය වියවුලක්වූ තරම්ය.

පරාක්‍රමබාහු නමින් නමක් ලංකාවේ රාජ්‍ය පාලකයකුට හිමිවීම ඇරැඹුණේ, පළමු පරාක්‍රමබාහු රජතුමාගෙනි. ඔහුගේ පාලන කාලය දේශපාලන තේජසින් කෙතරම් බලවත් වූයේද යත්, ඒ නමින් රජවරු නම දෙනෙක් ලක් සිහසුන උරුම කර ගත්තේය. ඒ කියන්නේ පරාක්‍රමබාහු යනු ලංකාවේ රාජ නාම ‍රැල්ලක් බිහි කිරීමට තුඩු දුන් ආරම්භයකි. මහා පරාක්‍රමබාහු බලසම්පන්න වන්නා සේම, 'පරාක්‍රමබාහු' නාමයේ ආරම්භකයාය. උරුමවූ ආත්මීය වියෝව ද බොහෝ පරාක්‍රමබාහුලාගේ ජීවිතයට බැඳී පවතින පොදු ධර්මතාවකි. සිංහල රාජ වංශයේ මහා ප්‍රතාපවන්තයන් අතර මුඳුන් චරිතයක්වූ මහා පරාක්‍රමබාහු, තම කිරුළ උරුම කිරීමට ස්වකීය පුත්‍රයකු නොමැතිව, හද කඳුළින් දිවි ගෙව් රජ දරුවෙකි. ඔහුගේ අන්තිම සිහිනය ස්වකීය දියණිය රත්නාවලීය. ඒත්, ඇය තම පිය රජු ද, කිරුළ ද ප්‍රතික්ෂේප කර, දර වඩුවකුගේ ආදරය සොයා ගාඬි ‍රැහැට නික්ම ගියාය. මේ, පීඩිත අසහනයේ නැඟීම පෙන්වන කදිම ආත්මීය සංකේතයකි. මේ සියල්ල දරාගත් මහා ප්‍රතාපවන්තයා, ලක් රාජ්‍යය ලොව මුදුනට ඔසොවා තැබුවේය. මහා පරාක්‍රමබාහු නොවන්නට ලංකාව සේම, භාරත හා ආසියානු බෞද්ධ කලාපය මුස්ලිම් ආක්‍රමණයට ගොදුරු වීමට නියමිතව තිබුණි. ඔහු දේශපාලන වාණිජවාදය මැනවින් සුහුරුව හැසුරුවෙකි. එමෙන්ම, ශාසනය මනා කොට පාලනය කර, භික්ෂූත්වය දේශපාලන බල කාමයෙන් දුරක තබා ආරක්ෂා කළ අයෙකි. ඒත් ඔහුට, පීඩිතයාගේ සාංකාව තුලනය කර ගැනීමට මාවතක් නොවීය. විටෙක තම පුත්‍ර වියෝගී හද නිවා, සැනසුමවූ දියණිය පීඩිතයකු හා නික්ම යෑම, වියවුල උග්‍ර කළා විය හැකිය.

ඒ නිසා මහා පරාක්‍රමබාහු රජුගේ පාලනය කෙතරම් නවීන හා ඉදිරිගාමී ජාතික රාජ්‍යයක් සිංහලයන්ට තනා දුන්න ද, පලක් නොවීය. ඔහු දැඩි විරෝධාකල්පවලට බඳුන් වන්නේය. රජුගේ මහා ධන උපායන සංවර්ධනයෙන්, සොබා ගොවි මූල නායකයන් මහ ධනවතුන් වූහ. ඒ ධනවතුන් යටින් කුලහීනයන්, තම සුපුරුදු ඇල් මැරුණු විදිහටම ජීවත් විය. එහි කෙළවර වන්නේ ධනවතුන් හා දුගියන් අතර තව දුරක් ඇති වීමය. මේ නිසා, කුලවතුන්ට එරෙහිව ජන විඥානමය නැඟී ඒමක්, දෙළොස්වැනි සියවස පුරා මතුවන සැටිය පෙනේ. මහා විජයබාහු රජුගෙන් පසු පොලොන්නරු රාජධානිය යටින් මේ පීඩිත විඥානය ලංකාවේ සමාජ දේහය පුරා පැතිර ගිය නාස්තිකවාදී විඥානයකි. එහෙත් එය, යම් ඓතිහාසික වරදකින් මතුවී, තවමත් නොවිසඳුණු පැනයක් යැයි කිව හැකිය.

පරාක්‍රමබාහු මහ නිරිඳුගේ සමයේ මතුවූ මේ පීඩිත විඥානයේ කෙළවර වන්නේ, ලංකා ඉතිහාසයේ පළමු නිර්ප්‍රභූ වීරයා ලෙස චරිතයක් නැඟ ඒමය. ඒ ප්‍රභූ විරෝධත්වය හෙවත් කුලීන විරෝධය රාජ විලාසිතාව කරගත් නිශ්ශංකමල්ලගේ රාජපද ප්‍රාප්තිය සිදුවීමෙනි. මහා පරාක්‍රමබාහු රජුගේ විකල්පය නිශ්ශංකමල්ල වූයේ එබැවිනි. නිශ්ශංකමල්ල සෘජුව කුලීන විරෝධය රාජ්‍යය මතය බවට පත් කළේය. මෙය පෙන්වන්නේ සමාජ සිතුම් පැතුම් නූතන ප්‍රජාතන්ත්‍රවාදී යුගයේ මෙන්ම, අතීත රාජ සම්මත යුගයේ ද සමාන හැඩයක්ම ගෙන ඇති ආකාරයය. කොහොමින් හරි, පීඩිත පංති විරුවා වෙමින් නැඟී එන නිශ්ශංකමල්ල රජු, මෙරට රාජ උරුමය පමණක් නොව, හැම ක්ෂේත්‍රයකින්ම කුලීන පන්තිය හෙවත් වංශවතුන් පන්නා දමන්නේය. නූතනය දක්වා කියවා ගැනීමට ඔහුම එම යුගයේ හොඳ සාක්ෂ්‍යය ද ඉතුරු කර ඇත. එනම්, කුලීනයන් මර්දනයට පැනවූ ඔහුගේ ශිලා ලිපිය. නිශ්ශංකමල්ල රජු විසින් තමන් ඔසොවා තැබූ පීඩිතයන් සනහාලන්නට, ප්‍රභූන් රාජ්‍ය පාලනයේ ද, සමාජ බලයෙන් ද පහකර, ඈත් කර තබන්නට සිදු විය.

එමෙන්ම, මහා පරාක්‍රමබාහු රජුම ශේෂ කළ සාරවත් භාණ්ඩාගාරය හිස්වන තුරු සුබසාධනමය සහනාධාර බෙදන්න සිදු විය. 'තුලාහරජනසවිය' නමින් ඔහු පීඩිතයන් සනහන්නට කළ සහනාධාර බෙදා හැරීම්වලින්, ඔහුගේ නව වසරක රාජ්‍ය පාලනය පිරී ඇත. එහෙත්, නිශ්ශංකමල්ල රජුගේ පීඩිත පංති ආලයේ පාලනය, සිංහල රාජ්‍යයෙහි ගමන කෙළවර කර, භයානක තැනකට ගෙන ඒමට ද හේතු වන්නේය. ඒ, ලංකා රාජ්‍යයේ දීර්ඝ සම්මත සම්ප්‍රදාය හා රීති සිරිත හා ජාන එකඟතා සියල්ල සුනු විසුනු කරමින්, මාඝගේ නැඟී ඒමෙන්ය. සැබැවින්ම කාලිංග මාඝගේ රාජ්‍යය ප්‍රතිපත්තිය වූයේ, කුලීන විරෝධය හෙවත් පීඩිත තාලයය. ඒ අනුව පොළොන්නරු රාජධානියෙහි අවසානය උදා කරන්නේ, කාලිංගයකුවූ නිශ්ශංකමල්ලගේ පීඩිත ආලය, බල ආලය කරමිනි. කාලිංග - මාඝ ආදර්ශය තබන්නේ නිශ්ශංකමල්ල ප්‍රතිපත්තියය. එය සිංහලත්වය සහමුලින්ම වනසාලන තරම් සාහසික වූයේ, දිගු ගමනක අවසානය ලෙසය. එබැවින්ම, කාලිංග මාඝගේ පැමිණීමට, ආගමනයට සරු පසක්, ලංකා සමාජය තුළ තිබුණි. එනම්, පීඩිතවාදයය. ලක් ඉතිහාසය තුළ පීඩිත හැඟීම් සහිත විඥානය මේ කාලය තුළ වර්ධනයවී තිබේ. මේ සියල්ල කෙළවර වූයේ, පෙර සඳහන් කළ විලසින් කාලිංග - මාඝගේ කෘෘරත්වයට සමාජයම ගොදුරුව, උඩු යටිකුරු වීමෙනි.

සියවස් ගණනාවක සොබා සිරියෙන් අලංකෘතවූ නගර ශිෂ්ටත්වය බිඳ වැ‍ටුණි. සියල්ලෝම පලා යෑම මාවත කොට ගත්හ. පීඩිතයන් තමන් මෝහනය කළ ව්‍යාජ රාජ්‍ය ආලයකින් හුදෙකලාව අසරණ විය. මහා ඥානය ගිනිබත්ව ගියේය. අනුරාධපුරයෙන් පොළොන්නරුවට ගමන් කර, මහා පරාක්‍රමබාහුගේ වාණිජ පුනරුදයෙන් සවිමත්වූ සිංහල සාහිත්‍යය, ගිනිදැල්වල පිලිස්සී ගියේය. සිංහල සිරිත වනවැද සැඟවිනි. මේ අඳුරු ගණඳුරු සමය ප්‍රශ්න කරන්නට කිසිවෙක් නොවුනි. ඒ, බිය, සංත්‍රාසය හා භීතිය රජ කළ සමයය. කුලීන සංහාරය නිශ්ශංකමල්ල රජුගේ සිට කාලිංග - මාඝ දක්වා පැතිර යාමේ සෘජු ප්‍රතිඵලය ලෙස ඇතිවූ දුර්දශාවක් විය. එනම්, රටකට සවියක් විය හැකි කිසිවෙක් නැතිවීමය. ජීවිත රක්ෂණය පිණිස දන්නා ශිල්ප අත්හළ යුතු විය. වාසගම් සඟවාලිය යුතුය. ශාස්ත්‍ර අමතක කළ යුතු විය. ජීවිත බේරා ගැනීමට පරපුරුදු පෙළපත්, වාසගම් අත්හළේය. ශිල්ප අත්හළේය. ශාස්ත්‍ර අත්හළේය. සිදු වූයේ, කිසිවක් නැති නිකමුන් බවට ලක් වැසියන් පත් ඛේදයකි. මේ ඛේදනීය වටපිටාව විසින් අන්තිම පරපුර තම ශිල්ප ශාස්ත්‍ර දන්නා තරම් සඟවන්නට පටන් ගති. ශිල්ප ශාස්ත්‍ර බොහොමයක් පැවැතියේ මුඛ භාෂිතවය. අවසන් ශිල්ප පරපුර මිය යන්නට පෙර, මුඛ භාෂිතය දායාද කළ යුතුය. සීත වන්නියට පලා ගිය මහලේනාවරු රහසේ දිවි ගෙවිමින් සිටියහ. මහලේනාවරු නම් සිංහල රාජ්‍යයෙහි සිරිත් ප්‍රකරණය දන්නා මුඛ භාෂිතයන්ය. ලිඛිත භාෂණයට නොනඟා, මුඛ භාෂිතාවෙන් ශිල්ප තබා ගැනීමට හේතුවක් විය. ඒ, සතුරා ලිඛිත මූලාශ්‍රය කවර අයුරකින් හෝ වටහා ගතහැකි බැවිනි. බ්‍රිතාන්‍යයන් යටත් කර ගන්නා තුරුම, ලක්දිව ව්‍යවස්ථාව ද මුඛ භාෂිත පෙර සිරිතකි. සිංහලයන් ස්වකීය රාජ්‍ය පාලන සිරිත් ප්‍රකරණය, ලිඛිත භාෂිත නොකළේය. සීත වන්නියට පලා ගිය මහ ලේනාවරු පසුපස හඹා ගිය කාලිංගගේ සේනා සොයමින් සිටියේ අයස්මාන්තය.

අයස්මාන්ත යනු නිශ්ශංක රජුගේ ව්‍යසනයෙන් ලක්දිව යම් පමණකට බේරා ගත් කල්‍යාණවතී මහ ‍රැජනගේ අමාත්‍ය මණ්ඩල සඟයාය. කල්‍යාණවතී ‍රැජනගේ අමාත්‍ය මණ්ඩලයේ හිරිමල් සභිකයකු වූ අයස්මාන්ත, මහලේනාවරයකු ද විය. ඔහු, කාලිංග - මාඝගේ රුදුරු සංහාරයට ගොදුරු නොවී, සීත වන්නියට පලා ගියේය. සතුරා අයස්මාන්ත සතුව සිරිත් ප්‍රකරණ, පෙර සිරිත් ව්‍යවස්ථා හා ශිල්ප ශාස්ත්‍රවල අවසාන කියවීම ඇති බව දැනගත්තේය. එබැවින් අයස්මාන්තව සොයාගෙන, මුඛ භාෂිතය වමාරා, ඔහු පුලුස්සා කැබැලි කරවීමට කාලිංග මාඝ අණ කළේය. සතුරා කවර මොහොතක හෝ පැමිණෙන වග අයස්මාන්ත දැන සිටියේය. කාලිංග - මාඝගේ පාලනය ගෙවී යන විට, ඔහු මැදි විය ගෙවා මහලු වෙමින් සිටියේය. මුඛ භාෂිතය හතුරාට වමාරන්නට තමන් සුදානම් නැති වග අයස්මාන්ත දනී. එහෙත්, තමා ඝාතනය වුවහොත්, මුඛ භාෂිතය දන්නා කිසිවෙක් ශේෂ නොවනු ඇත. තව කවර කලකින් හෝ විරුවන් නැඟිට, සිංහල සිරිතට පණ පෙවීමට කිසිවක් ශේෂ නොවනු ඇත. සියල්ල සිදු වූයේ නීතියේ ධර්මතාව රාජ්‍යයෙන් පලා යෑමට පටන් ගත් බැවිනි.

සමතුලිතය බිඳ වැ‍ටුණේ, නිශ්ශංකමල්ල රජු පමණ ඉක්මවා යෑමෙනි. එය කාලිංග - මාඝ, ව්‍යවසනය කරාම ගෙන ගොස්ය. හතළිස් දෙවසරක් කාලිංග - මාඝ නිරුපද්‍රිතව වැජඹේ. ඔහු ප්‍රශ්න කරන්නට තබා, තම උරුම ශිල්ප ‍රැක ගන්නට ලක් වැසියා අපොහොසත් සමයකි. නායකත්වයට පරපුරු සියල්ල ඝාතනයවී අවසන්ය. ඒත්, කොහේ සිට හෝ මතු දිනෙක විරුවෙක් නැඟිට, මතක මාවත පාදා ජය ඔද නංවනු ඇතැයි අයස්මාන්ත සිතුවේය. ඔහු සීත වන්නියෙන් පිටත්ව, තම ජීවිත අවසානයට පෙර ජාතියට යුතුකම ලියා තබන්නට තීරණය කළේය. එසේ සිතූ අයස්මාන්ත, සීත වන්නියෙන් පලාවිත්, සිත්තම්ගල ගල් ගුහා බලා ගමන් කළේය. ඒ යන අතරතුර ඔහුට සිහිපත් වූයේ, තමන් නොදත් මුඛ භාෂිතමය ශිල්පයක උරුමකරුවකු ගැනය. ඒ නාඔටුන්නේ නාගමලිතය. දෛවය පුදුමය. දෙදෙනාම අහම්බයෙන් හමුවන්නේය. දෙදෙනාම නාගදූවේ නාග ශෛලයට පියමැන ගියේය. නාගදූවේ නාග ශෛලය තිබුණේ නිල්වලා නදිය මුහුද සිඹින්න ආසන්න ඉමකය. මේ නාග ශෛලය නාගරාක්ෂරයෙන් නිමිති ගැන්වීය. ඉක්බිතිව දෙදෙනා ශෛල අභ්‍යන්තරයේ වැදී නොපෙනී දිවි ගෙවන්නට විය.

මේ අතර සීත වන්නියේ වහන්වී ‍රැකුණු මහලේනාවරු සියල්ල, මාඝගේ සේනා අතට පත් විය. එම පත්වීමේ ප්‍රතිඵලය මහලේනාවරු ශේෂය සමූලඝාතනය වීමය. ඒ සමඟ අයස්මාන්ත පලා ගිය ඉසව්ව පිළිබඳ ඉවක් මාඝට හමුවීමය. මාඝගේ සේනාවට රුහුණට ඇතුළු වීම පහසු නොවීය. එහෙත්, මාඝ සටන අත් නොහළේය. ඔහුගේ සේනා සිත්තම්ගලට පැමිණ සිත්තම්ගල වටකොට ගිනි ඇවිළීය. සිංහලයන්ගේ සිත්තර ගුරු කුලය සමූල ඝාතනය වූයේ එදාය. 'සිත්තර සිදත' නම් මහා පුස්තකය බඩ බැඳගෙන 'කලස් ලෝනා' පලා ගිය ද පලක් නොවීය. ඈ සමඟ කෘතිය ගිනිබත් වූවේය.

ඥාන වෛරයෙන් අපරිමිත කෘෘරයන්වූ මාඝගේ සේනා සැනසුම් සුසුම් හෙළීය. ශිෂ්ටාචාරයේ අවසන් හද බිම ද අවසන් කළ උතුරන සතුටෙන්, මාඝ පිරී ගියේය. එහෙත්, ගින්නේ ලා පුලුස්සා, ශිෂ්ටාචාරයක් අවසන් කළ නොහැකිය. ලේ හෝ මරණයට එය නතර කළ නොහැකිය. ජීවිතයට වඩා පරාර්ථයට පේවූ මිනිසුන් කවර ශිෂ්ටාචාරයක වුව ද බිහිවේ. ශිෂ්ටාචාරය මතු පරපුරට ගෙන යන ප්‍රතාපවන්තයන් වන්නේ ඔවුන්ය. මේ උදාරත්වය මෙනෙහි කළ අයස්මාන්ත, නොනැවතී මතක මාවතක මහ දැනුම ලේඛනගත කරන්නට පටන් ගති. යම් දිනෙක නැඟිටින කවර වීර පරම්පරාවකට හෝ අමතකව නොයන සේ පෙර සිරිත ලියන්නට පටන් ගති. මුඛ භාෂිතමය පමණකැයි තහංචි පැනවූ දැනුමක් ලිඛිත භාෂිත කිරීම ඇරැඹීය. මුඛ භාෂිතය ‍රැක්ම පිණිස හේතුවූ වටපිටාව වෙනස්ව ඇති විට කළ හැකි එකම පිළිතුර, ලිඛිත භාෂිත කොට සඟවා තැබීමය. නාගදූවේ නාග ශෛල භූ අභ්‍යන්තරයේ සිට එසේ ලිඛිත භාෂිත වූ පත්ඉරු දෙදහස නම් කළේ, 'ධර්මාධිකරණ ශාස්ත්‍රය' ලෙසය.

අයස්මාන්ත ධර්මාධිකරණ ශාස්ත්‍රය පත්ඉරු දෙදහසක ලියා තබා, එදා ‍රැයේ අවසන් සුසුම හෙළීය. ඔහුගේ දේහයත් ගෙන, නාඔ‍ටුන්නේ නාගමලිත නා විමනට පලා ගියේය. නාවිමන කන්දේ කිරළ වනයේ අයස්මාන්ත මිහිදන් වූවේය. එසේ මිහිදන්වූ අයස්මාන්තගේ පත්ඉරු දෙදහස, නාගදූවේ නාග ශෛලයේ නිධන්ව තිබුණි. ඉන් වසර 16කට පසුව මහ වන්නියේ වන්නිවරු අතරින් දණ්ඩවාසි දණ්ඩ පුරුෂ කුමරෙක් මතුවිය. ඔහු දනව්වෙන් දනව්ව අල්ලාගෙන, වනවාසි දණ්ඩ පුරුෂ බල ඇණියක් තැනීය. දණ්ඩ පුරුෂ කුමරුට දඩේපැලැස්ස දණ්ඩ පුරුෂ බල ඇණියේදී අමුතු දණ්ඩ පුරුෂයෙක් හමු විය. ඒ, නාඔ‍ටුන්නේ නාගමලිතය. මහ වන්නියේ දණ්ඩ පුරුෂ කුමරුට රහස සැල විය. මතක මාවතේ නැඟී සිට නැඟී එන මහ ‍රැල්ල ඇරැඹිණි. අයස්මාන්තගේ පත්ඉරු දෙදහසේ මහ දැනුමෙන් ගතේ සවිබල, සිතේ සවිබල කොට, හිසේ මහ බල තැනුවේය. දණ්ඩ පුරුෂ කුමරු තුන්වැනි විජයබාහු නමින් රජ වන්නේය. ඒ, කාලිංග - මාඝ පරදවමින්, දඹදෙණි යුගය අරඹමිනි. එයට මතක මාවත වූයේ අයස්මාන්තගේ පත්ඉරු දෙදහස වූ ‘ධර්මාධිකරණ ශාස්ත්‍රය’ කෘතියයි.

 

සුජිත් අක්කරවත්ත



from dinamina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();