2015 ජනවාරි මස 8 දින සිට 2019 නොවැම්බර් මස 16 වැනි දින අතර කාලයේදී පැවති යහපාලන ආණ්ඩු සමයේ සිදු වූ දේශපාලන පළි ගැනීම් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නොවැම්බර් මුල් සතියේ බාර දීමට නියමිතය. යහපාලන සමයේ නීතිවිරෝධී ආකාරයට ස්ථාපිත කළ දූෂණ විරෝධී කමිටුව හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය එක්ව අසත්‍ය පැමිණිලි ඉදිරිපත් කරමින් සිදු කළ දේශපාලන පළි ගැනීම්වලට සාධාරණයක් ඉටු කරන්නැයි ඉල්ලා ලිඛිත පැමිණිලි 1842ක් කොමිසම හමුවට ඉදිරිපත් ව තිබිණි.
කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල කොමිසම හමුවට අමාත්‍යංශ ලේකම්වරු, රාජ්‍ය ආයතනවල සභාපති හා අධ්‍යක්ෂවරුන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, දේශපාලනඥයින් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන් ඉදිරිපත් කළ පැමිණිලිවලින් පැමිණිලි 110ක් සම්පූර්ණයෙන් විභාග කොට අවසන් කර තිබේ.
යහපාලන රජය සමයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැබිනට් සංදේශයක් අනුව පිහිටවූ දුෂණ විරෝධි කමිටුව හරහා බොරු පැමිණිලි ඉදිරිපත්කරමින් මෙම දේශපාලන පළිගැනීම් කර ඇති බව පැමිණිළිකරුවෝ සාක්ෂි ඉදිරිපත් කරමින් කොමිසමට අනාවරණය කළහ.අනීතිකව පිහිටුවා ගත්තේ යැයි පැමිණිලිකරුවන් විසින් සඳහන් කරන FCID ය හෙවත් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය හා එක්ව සිදුකර ඇති දේශපාලන පළිගැනීම්වලට සධාරණය ඉටුකරන ලෙසට ඔවුහු ඉල්ලා සිටියහ.
රහස් පොලීසියේ ඇතැම් නිලධාරීන්ද දේශපාලන පළිගැනීම්වලට සම්බන්ධ බවට පැමිණිළිකරුවෝ කොමිසම ඉදිරියේ සඳහන් කළහ.
දේශපාලන පළිගැනීම්වලට වගකිවයුත්තන් ලෙස හා සාක්ෂිකරුවන් ලෙස දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක් කොමිසම ඉදිරියේ පෙනී සිටියේය.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ඇමතිවරුන් වන ආචාර්ය විජේදාස රාජපක්ෂ , දුෂණ විරෝධි කමිටුවේ සාමාජිකයින් ලෙස නම්කර තිබු හිටපු ඇමති මංගල සමරවීර, හිටපු ඇමති මලික් සමරවික්‍රම, හිටපු ඇමති පාඨලි චම්පික රණවක, හිටපු ඇමති රංජන් රාමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක, හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න, එම් ඒ සුමන්තිරන්,ඇතුළු යහපාලන රජයේ දේශපානඥයින් රැසක් කොමිසම ඉදිරියේ පෙනී සිටියේය.දුෂණ විරෝධි කමිටුවේ සාමාජිකයින්ව සිට වගඋත්තරකරුවන් ලෙස නම්කළ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා,ජනාධිපති නීතිඥ ජේ සි වැලිඅමුණ මහතා ඇතුළු තවත් කීප දෙනෙක් කොමිසම ඉදිරියේ පෙනී නොසිටි පුද්ගලයින් ලෙස නම් කෙරිණ.
ජනාධිපති කොමිසමේ සෙසු සාමාජික විනිසුුරුවන් ලෙස හිටපු අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක, හිටපු පොලිස්පති චන්ද්‍රා පුනාන්දු මහත්වරු කටයුතු කළහ.
නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා හා රජයේ අධි නීතිඥ රන්දිමා ප්‍රනාන්දු මහත්මිය කොමිසමට සහාය වුහ.
රෝෂන් තුෂාර

0 Comments