පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත මාස 18ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ප්‍රශ්න කළ පාස්කු ප්‍රහාරය සිදු කරමින් මියගිය ස්වයං ඝාතක බෝම්බකරු වන ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ගේ බිරිය වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් හය දෙනකු ලබන මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (22) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සහරාන්ගේ බිරිය වන අබ්දුල් හමීඩ් ෆාතිමා හාදියා, අසරුඩීන් මොහොමඩ් ඉල්මි, අබ්දුල් හමීඩ් මොහොමඩ් රිෆාස්, මොහම්මදු මෂ්නුක් මොහහොම්මදු රිලා, මොහොම්මදු අමීර් එම්. අයතුල්ලා, මොහොමඩ් මුබාරක් මොහොමඩ් රිෆායිල් යන අය වෙති.
මහේස්ත්‍රාත්වරයා එම නියෝගය සිදු කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම සැකකරුවන් රැඳවුම් නියෝග අවසානයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සහරාන්ගේ බිරිය වන අබ්දුල් හමීඩ් ෆාතිමා හාදියා යන සැකකාරිය අද (23) පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිසමට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

0 Comments