දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් සඳහා පි.සී.ආර් පරීක්ෂාව කටුනායක ගුවන් තොටුපළේ දී ඊයේ (01) සිට ඇරැඹේ.
එම පරීක්ෂාවේ ප්‍රතිඵලය අනුව පැමිණෙන සියලු දෙනා රෝහල්ගත කිරීම හා නිරෝධායනයට යොමු කෙරෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
උඩුගම්පළ කාර්යාලයේ දී ඊයේ (01) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් කැදවා තිබුණි.
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කාර්ය සාධන බළකාය මඟින් ගත් තීරණයක් අනුව මේ පියවර ගෙන තිබේ.
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු ලෝකයේ බොහෝ ගුවන් තොටුපළ මේ වන විට නැවත විවෘත කිරීමට සැලසුම් කර තිබේ. ඉදිරි මාස වලදී මෙලෙස ලෝකයේ විවිධ ගුවන් තොටුපළ විවෘත කෙරුණාට විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීමේ වැඩපිළිවෙළ නිසා කටුනායක ගුවන් තොටුපළ විවෘත කිරීමට සැලසුම් කර ඇත්තේ අගෝස්තු මුල දී ය. අගෝස්තු මුල දී සංචාරකයන් සදහා කටුනායක ගුවන් තොටුපළ විවෘත කෙරුණ ද පැමිණෙන සියලු සංචාරකයන් ගුවන් තොටුපළේ දී අනිවාර්යෙන්ම පි.සී.ආර් පරීක්ෂාවට ලක් කෙරේ. රට තුළට කොවිඩ් 19 රෝගියකු ඇතුළු වීම වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණයි.

0 Comments