2011 ලෝක කුසලාන අවසන් තරගය පාවාදීමේ චෝදනාව:
වසර 2011 ඉන්දියාවේ පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දුෂණ සිදු වී ඇත්නම් එය සොයා බලා වාර්තා කරන ලෙස ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයෙන් ඉල්ලීමක් කර ඇති බවත්, පරීක්ෂණ අවසන් වන තෙක් මේ සම්බන්ධ ප්‍රකාශ නිකුත් කිරීමට තමාගේ සූදානමක් නැති බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා මාතර, පාලටුව ප්‍රදේශයේ පැවැති ජන හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
“ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්රයම දැඩි කම්පනයකට පත් කරමින් මේ චෝදනාව සමාජයේ පමණක් නොව ජාතික හා අන්තර්ජාතික මට්ටමින් බරපතළ කැලඹීමට පත්ව තිබෙනවා. මහින්දානන්ද අමාත්‍යවරයා මෙය අනාවරණය කිරීමෙන් පසුව ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් විමසීමක් කළා. මේ දක්වා එය සනාථ කරගැනීමට අදාළ සාක්ෂි ලැබී නැහැ. ඒත් මේ චෝදනාව කර තිබෙන්නේ 2011 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන අවස්ථාවේ සිටි ක්‍රීඩා අමාත්‍යවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතායි. මෙය බැහැර කරන්නට බැරි චෝදනාවක් බැවින් මේ පිළිබඳ සොයා බලන්න ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්තුමාට උපදෙස් දුන්නා.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු යටතේ ක්‍රියාත්මක වන ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් විමර්ශන ඒකකයට මේ පැමිණිල්ල බාර දී තිබෙනවා. මේ ඒකකයට ඉතා කෙටි කාලයක් තුළ මේ පිළිබඳ සොයා
බලා වාර්තා කරන්න කියලා දැනුම් දී තිබෙනවා.” යැයි ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.
“මේ අවස්ථාවේ විපක්ෂය රක්තහීනතාවය වගේ රෝගයකින් පෙළෙනවා. වර්තමානයේ විපක්ෂයට කරන්න කිසිම චෝදනාවක් නැහැනේ. මාත් ක්‍රිකට් ප්‍රේමියෙක්. ඒ නිසා සංගක්කාරලාට අප ආදරය කරනවා.
එදා මේ තරගයේ මහේල ජයවර්ධන ශතකයක් ලබා ගත්තා. ඒ නිසා මේ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වන තෙක් පෞද්ගලිකව යමක් ප්‍රකාශ කරන්න මා ඉක්මන් වන්නේ නැහැ. මේ තුළ මේ වේලාවේ ප්‍රශ්නාර්ථයක් පවතිනවා.
විපක්ෂය කිසිදු දෙයක් සන්තක කරගන්න බැරිව, තර්කයක් නොමැතිව, තර්ක හීනතාවයෙන් පෙළෙන වේලාවක ඔවුන් හිතන්න ඇති මේ ප්රශ්නය ඔවුන්ට තුත්තිරි ගහක් කියලා. අප ඔවුන්ට අනුකම්පා කළ යුතුයි. මේ වේලාවේ විපක්ෂය හිට් විකට් වෙලා තියෙන්නේ.
හිට් විකට් වී ක්‍රීඩාගාරයට යන විපක්ෂය මේ වේලාවේ උනන්දු වීම පුදුමයට කාරණයක් නොවෙයි. එහෙත් රටත්, අපත් අවසන් නිගමනය ගත යුතුයි. පරීක්ෂණවලින් පසුව අවසන් තීරණයක් ගත යුතුයි. සැකය මත කාට හෝ මෙහිදී ඇඟිල්ල දිගු කරන්න මා සූදානම් නෑ” ඇමැතිරයා මෙහිදී අවධාරණය කළේය.
වැලිගම සමූහ
ටී.කේ. මහින්ද
0 Comments