උත්සාහක දිනුම් තුනක්ම ගෝල බවට පත් කරමින් ද, දඬුවම් පහර 4ක් සාර්ථක කරමින් ද තරගය පුරා පෙරළිකාර දස්කම් පෑ රීසා මුබාරක්ගේ විශිෂ්ට දායකත්වය මත අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ යුද හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 33-10ක ජයක් ලැබූ සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සිය අපරාජිත බව තවදුරටත් රැක ගත්තේය.
සී.ආර්.පිටියේදී පෙරේදා පස්වරුවේ පැවැති මේ තරගයේ 13 වැනි මිනිත්තුවේදී සිය පළමු දඬුවම් පහර සාර්ථක කරමින් සී.ආර්.පිල ලකුණු 3-0කින් ඉදිරියට ගෙන ගිය මුබාරක් අනතුරුව 18 වැනි සහ 30 වැනි මිනිත්තුවලදී තවත් දඬුවම් පහර දෙකක්ම සාර්ථක කරගත් අතර පළමු භාගය නිමාවට පෙර සිවුවැනි දඬුවම් පහරත් සාර්ථක කරමින් සී.ආර්.පිලට ලකුණු 12-10කින් ඉහළට ඔසවා තැබීමට සමත්විය. මීට අමතරව දෙවැනි භාගයේදී සී.ආර්.පිලේ ජනිඳු ඩිල්ෂාන් තැබූ උත්සාහක දිනුමත්, 49 වැනි මිනිත්තුවේදී සුපුන් වර්ණකුලසූරිය තැබූ උත්සාහක දිනුමත් ගෝල බවට පත් කළ හෙතෙම 66 වැනි මිනිත්තුවේදී රීසා රෆායිඩීන් තැබූ උත්සාහක දිනුමත් නිවැරිදිව ගෝලයක් බවට පත් කළ රීසා මුබාරක් සිය කණ්ඩායමට තවත් විශිෂ්ට ජයක් ගෙන දුන්නේ තරගය පුරා ලකුණු 18ක්ම අත්කර ගනිමිනි. යුද හමුදා පිල තරගයේ පළමු භාගයේදී මනෝජ් බණ්ඩාර තැබූ උත්සාහක දිනුමක් ඉසුරු මැදගෙදර විසින් ගෝලයක් බවට පත් කිරීමෙන් ලකුණු 7ක් ද, දඬුවම් පහරක් සාර්ථක කරමින් පළමු භාගය ලකුණු 10ක් ලබා නිමාවට පත් කරගත්ත ද, දෙවැනි භාගයේදී කිසිදු ලකුණක් ලබා ගැනීමට අසමත්විය.
මහනුවරට ජය
මේ අතර පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 34-13ක ජයක් වාර්තා කළ මහනුවර ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියේ සිය අපරාජිතභාවය තව දුරටත් රැකගත්තේය. පොලිස් පිටියේ පෙරේදා පස්වරුවේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 17-3කින් පෙරමුණ ගත් මහනුවර ක්‍රීඩකයන් තරගය නිමා කළේ ගෝල් 3ක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහරක් සමගිනි. පොලිස් පිලට රැස් කිරීමට හැකිවූයේ උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහරක් පමණි.
හැව්ලොක්ස් පිලට තියුණු ජයක්
රත්මලාන ගුවන් හමුදා පිටියේදී හැව්ලොක්ස් පිලට දැඩි අභියෝගයක් එල්ල කිරීමට ගුවන් හමුදා පිල සමත්වූවත් ලකුණු 13-11ක තියුණු ජයක් වාර්තා කිරීමට හැව්ලොක්ස් පිල සමත්විය.
උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහරක් රැස් කිරීමට හැව්ලොක්ස් පිල සමත්වෙද්දී ගුවන් හමුදා පිලට රැස් කිරීමට හැකිවූයේ උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2ක් පමණි.

0 Comments