දකුණ ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ
දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා සමඟ දිනමිණ කළ සංවාදයකි.
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සහ රජයේ විවිධ තනතුරු රැසක් දැරූ පුද්ගලයෙක් ලෙස මේ දක්වා ඔබ පැමිණි මාවත ගැන අදහස කුමක්ද?
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමුපකාරයක නිෂ්පාදන කළමනාකරුවකු වීම මගේ ප්‍රථම රැකියාව. 1977 දි දිස්ත්‍රික්ක පේෂ කර්මාන්ත සමිතියේ සාමාන්‍යාධිකාරීවරයා ලෙසත් පසුව පෞද්ගලික පර්යේෂණ ආයතනයකටත් සම්බන්ධ වුණා. ඉන් අනතුරුව ස්විස්ටර්ලන්තයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානයක ආසියානු කලාපය භාර අධ්‍යක්ෂකවරයා ලෙස 1993 වසර පමණ තෙක් සේවය කළා. ජාලගත වීම තුළින් දිළිඳුකම පිටුදැකීම ඒ සංවිධානයේ ප්‍රධාන අරමුණක්. ඒ අත්දැකීම උපයෝගී කරගෙන 1994 දී 'ප්‍රජා සංවිධාන ජාතික සංසදය' වශයෙන් මගේම රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවා ගත්තා.
ඒ කාලයේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් ඔහුගේ දේශපාලන කටයුතු වලටත් සහයෝගය දුන්නා. ඒ මහතා 2005 වසරේ ජනාධිපති වූ පසු උපායමාර්ගික ව්‍යවසායක කළමනාකරණ ආයතනයේ රාජකාරි කළා. ඒ හරහා වරාය ගුවන්තොටුපළ ගුවන් සමාගම් බැංකු ආදි රාජ්‍ය ආයතන කටයුතු කළමනාකරණය කිරීමට උපදෙස් දෙමින් අධීක්ෂණය කළා. එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරයෙක් වශයෙන්ද පත් වුණා.
ඉපලෝගම නිවාස ව්‍යාපෘතිය (1508ක් නිවාස) සාර්ථකව නිම කරන්න ඒ කාලයේ මා දායක වුණා. විශේෂයෙන් හමුදා සුබසාධක අංශයේ කටයුතු කළා. 2010 වර්ෂයේ රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් වුණා. ඒ යටතේ එවකට අඩපණ වී තිබුණ පිඟන් සංස්ථාව, ලක්සල, සළුසල වැනි ආයතන නඟා සිටුවීමට කටයුතු කළා. ඒ අනුව මම අපේක්ෂා කළ ආකාරයෙන් ආයතන කිහිපයක් තුළ විශාල වෙනස්කම් රැසක් කරන්න මට හැකි වුණා. නිදසුනක් ලෙස ඛණිජ වැලි නීතිගත සංස්ථාවත් පහළ මට්ටමේ ආදායමක් ලැබූ සංස්ථාවක්. රසායනික ද්‍රව්‍ය අඩංගු වැලි ටොන් එකක් අළෙවි කර ඩොලර් 25ක 30ක ආදායමක් පමණයි ලැබුවේ. මා වැඩ කටයුතු කළ වසර තුනකටත් වඩා අඩු කාලයක් තුළ ලාබය ඉතා ඉහළ මට්ටමකට ගෙනඒමට කටයුතු කළ අතර ඛණිජ වැලි නීතිගත සංස්ථාවේ වාර්ෂික ආදායම එවකට බිලියන 3.5ක් ලෙස ඉහළට ගෙනාවා.
2008 වන විට ගරා වැටී සේවකයන්ට වැටුප් ගෙවීමටවත් නොහැකි තත්ත්වයක තිබුණු ලක්සල ප්‍රතිව්‍යුහගත කළා. ගාල්ල, පේරාදෙණිය වැනි සංචාරකයන් බහුලව ගැවසෙන ස්ථානවල ලක්සලේ ශාඛා ස්ථාපිත කළ අතර තෑගි භාණ්ඩ වෙළෙඳපොළේ 60%ක පමණ හිමිකාරීත්වයක් සහිත ආයතනයක් බවට එය පත්කර තිබුණා.
ඔබතුමා රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශ වැනි විශාල වගකීම් රැසක් පැවති අමාත්‍යාංශයකින් උද්භිත උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශයට යොමු වුණේ ඇයි?
2015 මැතිවරණය සංවිධානය කරන කණ්ඩායමට එකතු වී වැඩ කිරීමේ අවශ්‍යතාවය සහ දේශපාලනයේ ඉහළ පෙළේ තැනැත්තකුගෙන් ලැබුණ උපදෙස් මත විශාල අමාත්‍යාංශ භාරදී උද්භිත උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශය භාර ගත්තා. එහි ව්‍යාපෘති බොහෝමයකට මා දායකත්වය දැක්වූයේ අවසන් අදියරේදීයි. මිරිජ්ජවිල උද්භිත උද්‍යානයේ අවසන් අදියර කටයුතු නිම කර චෝගම් උළෙලේදී විවෘත කළා. චෝගම් වලට සහභාගී වූ රාජ්‍ය නායකයන් සියලු දෙනා එහි පැළ රෝපණය කළා. සීතාවක උද්භිත උද්‍යානය භූමි අලංකරණ සංකල්පය යටතේ ඉදි කරන්න කටයුතු කළා.
දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පළාතේ සංවර්ධන කටයුතු හා පරිපාලන කටයුතු ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කරන වැඩපිළිවෙළ කුමක්ද?
පළාත් සභා මට්ටමේ පාලනය මධ්‍යම ආණ්ඩුවේ පරිපාලනයට තරමක් වෙනස්. ආණ්ඩුකාර වශයෙන් පළාතේ සියලුම අමාත්‍යාංශවලට ගොස් අධීක්ෂණයක නිරත වුණා. එම කටයුත්තේදී නව ජනපතිවරයාගේ දැක්ම පිළිබඳ මම අදාළ නිලධාරීන් සියලු දෙනා දැනුවත් කළා. අධ්‍යාපන ඇමැතිවරයාට ලබාදී තිබෙන ජාතික පාසල් 1000ක ව්‍යාපෘතියට සමගාමීව දකුණු පළාතේ අධ්‍යාපනය වෙනුවෙන් වැදගත් ව්‍යාපෘතියක් කිරීමට බලාපොරොත්තු වෙනවා. අනෙක් පළාත් වලට සාපේක්ෂව දකුණු පළාතේ අධ්‍යාපනය ඉහළයි. එය තවදුරටත් ශක්තිමත් කරන්න හැකි උපරිම දායකත්වය ලබා දෙනවා. විශේෂයෙන් කලාපයෙන් පිටතට සිදුවන දේශපාලනික පළිගැනීම් ලෙස කරන ගුරු මාරු ආදී දේවල් සම්පූර්ණයෙන් අධෛර්ය කරනවා. සානුකම්පිත හේතුමත මාරුවීම් වලට පොඩි ඉඩක් ලබා දෙනවා.
ජනාධිපති උපදෙස් අනුව ජනප්‍රිය පාසල් ආසන්නයේ තිබෙන පාසල් කිහිපයක් ජනප්‍රිය මට්ටමේ පාසල්වල සම්පත් හා සමාන මට්ටමකට දියුණු කරන්න කටයුතු කරනවා. ඒ අනුව දකුණු පළාතේ දිස්ත්‍රික්ක තුනෙන් පාසල් 100ක් තෝරාගෙන ඒ පාසල්වල මූලික අඩුපාඩු වගේම පාසලේ පෙනුම පවා වෙනස් කොට භෞතික සම්පත් සහ මානව සම්පත් වැඩිදියුණු කරනවා. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන ගුරුවරු සහ අමතර උත්සහයක් දරන්න කැමති විදුහල්පතිවරු සම්බන්ධ කරගෙන ඒ පාසල් ඉතා හොඳ පාසල් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. දුප්පත්කම තුරන් කිරීමට හැකි වැඩපිළිවෙළක්ද ක්‍රියාවට නංවනවා. වළං කර්මාන්තය, කොහු කර්මාන්තය, ධීවර කර්මාන්තය වැනි කර්මාන්තවල සුළු වශයෙන් යෙදෙන පුද්ගලයන් 5,000ක් ආමන්ත්‍රණය කරන්න බලාපොරොත්තු වෙනවා.
යහපාලන ආණ්ඩුවේ පරිපාලන කටයුතු හා සංවර්ධන කටයුතු පිළිබඳ සෑහීමකට පත්විය හැකිද?
යහපාලන ආණ්ඩුවේ සමහර අංශවල වරදක් මම දකින්නේ නැහැ. නමුත් සමස්ථයක් ලෙස ගත් කළ යහපාලන ආණ්ඩුව ඒ සංකල්පය වියවුල් කර ගත්තා. යහපාලන ආණ්ඩුවට නිසි මඟපෙන්වීමක් තිබුණ නම් එය බිඳ වැටෙන්නේ නැහැ. යහපාලන සංකල්පය පමණක් පිටතට පෙන්වා අභ්‍යන්තරය තුළ ඒ සංකල්පය ක්‍රියාත්මක කළේ නැහැ.
මේ වන විට බොහෝ කතාබහට ලක්වී තිබෙන මාතෘකාවක් වශයෙන් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. මෙරටට පළාත් සභා ක්‍රමයේ අවශ්‍යතාවය ඔබ දකින්නේ කොයි ආකාරයෙන්ද?
රටේ ධනය ආයතන නඩත්තු කිරීමට යොදවනවාට වඩා රටේ දියුණුවට යෙදවීම හොඳයි කියන එක මගේ පෞද්ගලික මතය. ඒ වගේම බලය විමධ්‍යගත කිරීම පහළ මට්ටමට බලය ගමන් කිරීම හොඳ දෙයක්. පළාත් පාලන ආයතන සංකල්පය ඒ වගේම මින් පෙර පැවති ගම් සභා සංකල්පය ඉතා හොඳයි.
වර්තමාන රජය පළාත් සභා පිළිබඳ විශේෂ අවධානයක් දීමට සූදානම්. එළඹෙන මැතිවරණයෙන් ප්‍රමාණවත් බලයක් ලබා දුන්නොත් අවිධිමත් වී තිබෙන මේ සංකල්පය විධිමත් කරන්න කටයුතු යොදයි.
බලය විමධ්‍යගත කිරීමෙන් අපිට ඉවත්වෙනන බැහැ. නමුත් බලය විමධ්‍යගත කිරීමට තිබෙන එකම ක්‍රමය පළාත් සභා ද කියන කාරණය විමසිය යුතුයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ වත්මන් රජයේ වැඩපිළිවෙළ අපේ රටට කෙතරම් දුරට ගැළපෙනවාද?
දැනට රටේ විවිධ අංශවල කතාබහට ලක් වෙලා තිබෙන සුවිශේෂී මාතෘකාවක් වර්තමාන ජනපතිතුමන්ගේ වැඩපිළිවෙළ. මේ නිසා දේශපාලනය පිළිබඳ විශේෂ උනන්දුවක් නොදක්වපු අය පවා දේශපාලනය පිළිබඳ උනන්දුවන තත්ත්වයක් අද උදා වෙලා. මේ වෙනස්වන සමාජ මතය රජයට ඉතාමත් හිතවාදී දෙයක්. යම් සුළු සුළු අවස්ථාවන් වලදී තනතුරු ආදිය නොලැබුණු විට හිත් අමනාපකම් ඇතිවීම් තිබිය හැකියි. නමුත් සැබෑ මහජන මතය මේ මාසයක් ගත වන මොහොත වන විට ඉතා පැහැදීමක් නව රජය වෙත තිබෙනවා. වෙන කාලවකවානුවල එළවළු මිල ඉහළ ගියපසු ජනතාව ඒ පිළිබඳ විශාල වශයෙන් හිතුවා. මේ වන විට පවතින වර්ෂාපතනයත් සමඟ එළවළු මිල යම් ආකාරයක ඉහළ යාමක් තිබෙනවා. නමුත් ජනතාව එයට වඩා මේ නව රජයේ වෙනස පිළිබඳ හිතන්න යොමු වෙලා. බඩ ගැන හිතනවට වඩා රට ගැන හිතන්න ජනතාව අද යොමුවෙලා සිටිනවා. එයින්ම තහවුරු වෙනවා නව රජයේ වෙනස රටේ ජනතාව පිළිගෙන ඇති බව.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ඔබගේ මිත්‍රත්වය විශ්වවිද්‍යාල කාලයේ ඇතිවූවක්. ඒ මතකය නැවත ආවර්ජනය කළොත්?
1969 වර්ෂයේ මා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ව සිටි අවධියේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවුණේ. එම කාලයේ ඇති වූ සිද්ධියකදී ජයවර්ධනපුර සරසවියේදී මහින්ද රාජපක්ෂ මහතාත් සමඟ විශාල මිත්‍රකමක් ගොඩනැඟුණා. ඒ අනුව මම ඔහුගේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වුණා. ඒ ආකාරයෙන් තමයි මගේ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ මිත්‍රත්වය ගොඩනැඟෙන්නේ.
ජනතා හිතෛෂී රජයක් වශයෙන් වත්මන් ආණ්ඩුවේ ඉදිරි වැඩ පිළිවෙළ කුමක්ද?
සෑම කාලයකම කවුරු බලයට එන්නත් දිළිඳුකම විකුණා. නමුත් නව ජනාධිපතිවරයා දිළිඳුකම ඉතා හොඳින් හඳුනනවා. අලුතින් සමෘද්ධිය ලබාදීම තුළින් වෙන්නේ ශ්‍රම බළකායෙන් ප්‍රයෝජන නොගෙන දිළිඳුකම පවත්වාගෙන යාමක් පමණයි. නව ජනාධිපතිවරයා දිළිඳු පවුල් උදෙසා රැකියා ලක්ෂයක් ලබාදීමට ජනවාරි මස සිට කටයුතු කරනවා. එහිදී සමෘද්ධිය ලබා ගන්නා කාණ්ඩවල අය මේ ශ්‍රම බළකායට එකතු කරනවා. මෙය සිදු කරන්නේ රුපියල් 35,000ක වැටුපක් ලබා ගැනීමට හැකිවන පරිදියි. එවිට දිළිඳු ප්‍රජාව රටේ සංවර්ධන බලකායක් බවට පත්වෙනවා.
මෙහිදී සමෘද්ධි ආධාරය ඔවුනට කැමති නම් අත්හැරීමට හැකියාවක් තිබෙනවා. තමන්ගේ පවුලට රු. 35000ක මුදලක් උපයනවා මෙන්ම රටේ සංවර්ධනයට දායකත්වයක් ලබාදීමටත් මෙම ශ්‍රම බළකායට හැකි වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම දිළිඳුකම පිටුදැකීම උදෙසා අදියර තුනකින් වැඩ කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. පළමුව පහළම පෙළේ කුසලතා නොමැති ප්‍රජාවත්, දෙවනුව සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දක්වා ඉගෙන ගත් අය වෙනුවෙනුත්, තෙවනුව රැකියා විරහිත උපාධිධාරීන් 54,000කටත් රැකියා ලබා දෙනවා.බ මේ අනුව රටේ ජනතාවගෙන් සුවිශාල පිරිසක් රටේ සංවර්ධන උදෙසා පෙරගාමී බලකායක් ලෙස සකසනවා. එවට තවදුරටත් රටේ සිදු කළ යුතු වන්නේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පමණයි. E - Goverment සහ තාක්ෂණය වැඩි දියුණු කිරීම සම්බන්ධනුත් අවධානය යොමුකර තිබෙනවා. නාස්තිය අවම කිරීමටත් කටයුතු කරනවා.
රටට ජනතාවට කිවයුතු විශේෂ කරුණක් හෝ පණිවිඩයක් තිබේද?
මෙසේ විශාල වෙනසක් කරන්න දායක වූ ජනතාව වගේම වෙනත් මත දරන පුද්ගලයන් සියලු දෙනාටම මම ඉතා ඕනෑකමින් ප්‍රකාශ කරනවා මේ වෙනසට උදව් නොකළත් ඒ සඳහා කාලයක් ලබාදෙන්න. අපේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන යෑමට කාලයක් අපට අවශ්‍යයි. ඒ සඳහා අවස්ථාව ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ මම වසර 05ක් වැඩ කටයුතු කළා. ඔහුට ඉතා හොඳ දැක්මක් තිබෙනවා. එය ක්‍රියාත්මක කිරීමට සහයෝගය දීම තුළින් මේ රට ඉතා දැවැන්ත සංවර්ධනයක් කරා ගනෙ යා හැකි බව විශ්වාසයෙන් ප්‍රකාශ කර සිටිනවා.
සඳුනි රණසිංහ
ඡායාරූප ගයාන් පුෂ්පික

0 Comments