කලා ඔය උතුරා යාමෙන් තඹුත්තේගම නීරාවිය ගොවිපොළට යාබද කුඹුරු යායේ වී සහ එළවළු වගාවලට දැඩි හානි සිදුව තිබේ. පසුගිය කාලයේ පැවති මහ වැසි හේතුවෙන් කලා වැවේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කලා ඔය පිටාර ගලා මෙසේ වගා විනාශ වී තිබේ. තිස්පනේපුර, කොත්මල්පුර, පහේ කෑල්ල, හයේ කෑල්ල ආදී ගම්මාන රැසක අක්කර සියයකට වැඩි වගා බිම් මේ නිසා විනාශ වී තිබෙන බව ගොවීහු පැවසූහ.
මාසක් ඉක්ම වූ පැළ ගොයම් දින කිහිපයක් ජලයට යටවීමෙන් කුණුවී විනාශ වී ඇති අතර, බණ්ඩක්කා, වටකොලු, පතෝල, කරවිල ආදී එළවළු වගා මුළුමනින්ම කුණුවී ඇත. තම වගා පාළුවෙන් අසරණව සිටින ගොවීන්ට යම් සහනයක් සලසන ලෙස ඔවුන් වගකිවයුත්තන්ගෙන් ඉල්ලති. මේ පිළිබඳ ප්‍රදේශයේ ගොවීහු මෙසේ අදහස් දැක්වූහ.
ඊ. එම්. රණ්බංඩා මහතා
පසුගිය යල් කන්නයේත් ගොවිතැනක් කරගන්න බැරිවුණා. මෙවර ණය වෙලා කළ ගොවිතැන තමයි මේ විදිහට විනාශ වුණේ. මාසේ හමාරේ පැළ ගොයම දවස් දෙක තුනක් වතුරෙන් යටවෙලා තිබුණා. දැන් ඔක්කොම කුණු වෙලා. කන්නය පසු වී තිබෙන නිසා වපුරන්නත් කාලයක් නෑ. මේ යායේ සමහරු වැස්ස නිසාම දෙපාර වපුරපු කුඹුරුත් මෙතැන කුණුවෙලා තියෙනවා.
ජේ. ඒ. සුරවීර මහතා
කුඹුරේ කෑල්ලක වී වපුරා අනිත් කෑල්ලේ එළවළු වගා කළා. දවස් දෙක තුනක් වතුරෙන් යටවුණ නිසා ඒ සියල්ල විනාශ වෙලා. වැස්ස එනකොට වී වගාවට මාසයක් විතර. වැටකොලු, කරවිල හදලා දවස් කීපයයි ගෙවිලා තිබුණේ. ලොකු වියදමක් ගියා බීජ වලට. කරල් කපපු පතෝල කොටුව ඔක්කොම කුණුවෙලා ගියා. බණ්ඩක්කා කොටුවේ කරල් කපන කාලේ. පසුගිය ටිකේම ගස් උඩ පැල් හදාගෙන නිදි වරාගෙන අලි එලවන්න දුක් වින්දා. හැමදේම එක වැස්සට ඉවරයි.
තඹුත්තේගම විශේෂ ඩබ්ලිව්. ප්‍රදීප්
ඡායාරූප තඹුත්තේගම විශේෂ

0 Comments