මූලික පිරිවෙන් අවසන් විභාගය සහ රාජ්‍ය කළමනාකරණ සේවයේ දෙවන පංතියේ නිළධාරින් සඳහා වූ කාර්යක්ෂමතා කඩයිම් යන විභාග සඳහා ප්‍රමාද වී පැමිණෙන සිසුන්ට විභාගයට පෙනී සිටිම අවස්ථාව ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණයකර තිබෙනවා.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රමාද වී පැමිණෙන සිසුන් සඳහා මෙම අවස්ථාව ලබාදීමට තීරණය කළ බව විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

එමෙන්ම ප්‍රමාද වන සිසුන්ට විභාගයට පෙනී සිටිම සදහා අමතර කාලයක් ලබාදීමට ද තීරණය කර ඇත.

ත්‍රිකුණාමලය, මඩකලපුව සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව ද සනත් පූජිත මහතා සදහන් කළේය.

එම දිස්ත්‍රික්කවලට අමතරව දිවයිනේ කුමන හෝ ප්‍රදේශයක පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම විභාග දෙක සඳහා පෙනී සිටිමට ප්‍රමාද වන සිසුන් සඳහා එම සහනය ලබාදෙන ලෙස සම්බන්ධිකරණ නිළධාරින් සහ විභාග ශාලාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

The post අපදා තත්වය හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් සහනයක් appeared first on Lanka News Column.