Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ පිටකොටුව ලංගම බස් නැවතුම්පොළ මිහිපිට අපායක්

Author(s): 
නිමල් රාජපක්ෂ

මිහිපිට අපායක් බවට පත්ව තිබෙන කොළඹ පිටකොටුවේ ලංගම බස් රථ රියැදුරු හා කොන්දොස්තර විවේකාගාර කඩිනමින් පිළිසකර කරන ලෙස මගී කළමානාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

නත්තල් හා නව වසර උදාව නිමිති කොට පැවැත්වෙන උත්සව සමයේ මගී ප්‍රවාහන සේවා සම්බන්ධව සොයා බැලීම සඳහා ප්‍රවාහණ කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අැමැති මහින්ද අමරවීර මහතා පිටකොටුව ලංගම බස් රථ නැවතුම් පොළේ පෙරේදා (24) හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් පසු මෙම නියෝගය ලබාදී ඇත.

මේ වනවිට අවශ්‍ය තරම් බස් රථ මගී ප්‍රවාහනය සඳහා යොදවා ඇති නමුත් මගී ජනතාව සඳහා ආහාර පාන සැපයීම හා සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවන බව අැමැතිවරයා නිරීක්ෂණය කෙළේය. ඒ අනුව කඩිනමින් ඒ සඳහා සුදුසු පියවර ගන්නා ලෙස දැන්වූ අැමැතිවරයා එහි මහජන වැසිකිළි කැසිකිළි පද්ධතිය නිරීක්ෂණය කෙළේය.

ඒ වනවිටත් එහි වැසිකිළිවල දොරවල් ගැලවී, ඉතා අපිරිසිදු මට්ටමින් තිබුණි. වහාම එහි කොන්ත්‍රාත්තුව බාරව සිටින පුද්ගලයා කැඳ වු අැමැතිවරයා සතියක් තුළ දොරවල් අලුත්වැඩියා කර තීන්ත අලේප කර වැසිකිළි කැසිකිලි පද්ධතිය ආකර්ශනීය තත්ත්වයට පත් කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට කටයුතු කරන බවත් දැන්වීය.

එමෙන්ම මේ වනවිට කිසිවකුගේ හෝ අවධානයට යොමු ව නැති රියදුරු හා කොන්දොස්තර විවේකාගාරය ද අැමැතිවරයා නිරීක්ෂණය කෙළේය. කොන්දොස්තර හා රියැදුරු විවේකාගාර සියල්ල වැසිකිලි ගඳින් පිරී ගොස් තිබු අතර දුහුවිලි හා මකුළු දැල් බැඳ එම විවේකාගාර සියල්ල හතර මහ අපාය පරිදි විය.

අධික උණුසම නිසා එම විවේකාගාර පොරණුවක් මෙන් විය. විදුලි බුබුලක් හෝ විදුලි පංකාවක් හෝ නොමැති එම විවේකාගාර සියල්ල අඳුරු ගුහාවන් පරිදි විය. ඒවා තුළ වූ යකඩ තට්ටු ඇඳන් මත කොන්දොස්තරවරු හා බස් රථ රියැදුරෝ අසරණයින් මෙන් වැතිර සිටියහ.

අැමැතිවරයා එහි යනවිටත් දුරගමන් සේවා බස් රථවල සේවය කරන, ඊළඟ වාරය එන තෙක් නිදා ගෙන සිටි රියැදුරු හා කොන්දොස්තරවරු රැසක් එහි නිදාගෙන සිටියේය. දුහුවිලි පිරුණු, කළු පැහැ ගැන්වුනු ඇඳ ඇතිරිලි මත ඒ සියලු දෙනා වැතිර සිටියේය.

අත්අඩංගුවට ගන්නා මන්ත්‍රීවරු සියලු දෙනා යැවිය යුත්තේ වැලිකඩ හිර ගෙදරට නොව ලංගම විවේකාගාරවලට යැයි පැවසූ අැමැතිවරයා ඉතාමත් ඉක්මනින්ම මෙම විවේකාගාර පිරිසිදු කර, හොඳ ඇඳන් හා මෙට්ට දමා එමෙන්ම වායුසමීකරණය කර දී රියැදුරු හා කොන්දොස්තරවරුන්ට යහපත් විවේකාගාර පද්ධතියක් සකස් කර දෙන බව දැන්විය. මාර්ග අනතුරු වළක්වා ගැනීමට නම් රියැදුරන්ට අවශ්‍ය පරිදි මානසික විවේකය ලබා දිය යුතුය. එසේ නොකරන්නේ නම් නිදිමතේ මහන්සියෙන් හා විඩාවෙන් රිය අනතුරු සිදුවීමට ඇති ඉඩකඩ ඉතාමත් ඉහළ බව කී අැමැතිවරයා තෘප්තිමත් රියැදුරන් හා කොන්දොස්තරවරුන් පිරිසක් මගී ප්‍රවාහණ සේවාව තුළ නියුක්ත කරලීම තම අරමුණ බව ද සඳහන් කෙළේය.

එමෙන්ම පිටකොටුව ලංගම බස් නැවතුම් පොළ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වශයෙන් සංවර්ධනය කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති නිසා ලංගම බස් නැවතුම් පොළේ සියලු ගොඩනැගිලි රජය හා පුද්ගලික අංශයේ දායකත්වය මත අලුතින් සකස් කැර අලංකාර කිරීමට පියවර ගන්නා බවත් පැවසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();