Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුපිරි අට 28 දා හැප්පෙයි

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ ආරාධිත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට (28) පැවැත්වෙයි.

කණ්ඩායම් 25ක් මූලික වටයේදී කාණ්ඩ 4කින් තරග වැදුණු අතර ඒ ඒ කාණ්ඩවල මුල් ස්ථාන 2 දිනාගත් කණ්ඩායම් 8 අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටී.

ඒ අනුව එස්.එස්.සී සහ ද්‍රවිඩ සංගම් පිල අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරගයට එක්වන්නේ එන්.සී.සී පිටියේදීය. එන්.සී.සී සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය කෝල්ට්ස් පිටියේදී දෙවැනි තරගයට එක්වන අතර එස්.එස්.සී. පිටියේදී පානදුර සහ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජ තෙවැනි තරගයට එක්වෙයි. සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගය ගුවන් හමුදාව සහ යුද හමුදාව අතර කටුනායකදී පැවැත්වෙයි.

මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩයෙන් තරග කළ එස්.එස්.සී ක්‍රීඩා සමාජය තරග 5කින් 4ක් ජයගෙන ප්‍රසාද ලකුණු 21ක් සමගින් එම කාණ්ඩයේ පෙරමුණගත් අතර යුද හමුදාව තරග 3ක් ජයගනිමින් දෙවැනි ස්ථානයට පත්විය. කණ්ඩායම් 7ක් එක්වූ ‘බී’ කාණ්ඩයේදී එන්.සී.සී පිල තරග 6කින් 5ක් ජයගෙන ප්‍රසාද ලකුණු 24ක් සමගින් එම කාණ්ඩයේ ශූරයන් ලෙස අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි අතර හලාවත මේරියන්ස් කණ්ඩායම තරග 6කින් 4ක් ජය ගෙන දෙවැනි ස්ථානයට පත්විය.

පානදුර ක්‍රීඩා සමාජය (16) තරග 5කින් 3ක්ද, සැරසන්ස් ක්‍රීඩා සමාජය (14) තරග 2ක්ද ජයගෙන ‘සී’ කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට එක්වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය තරග 3 බැගින් ජයගෙන පිළිවෙළින් ප්‍රසාද ලකුණු 18ක් සහ 15ක් ලබා ‘ඩී’ කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථාන වෙන්කර ගත්තේය.

තරගාවලියේ මූලික වටය නිමාවනවිට ලකුණුලාභීන් අතර පෙරමුණ ගැනීමට එන්.සී.සී. ක්‍රීඩා සමාජයේ ඇන්ජලෝ පෙරේරා සමත්ව ඇත්තේ තරග 6කදී ලකුණු 301ක් රැස්කරමිනි. ඉහළම ලකුණු සංඛ්‍යාව 99ක් ලෙස සටහන් කරගත් ඔහු අර්ධ ශතක 4ක් වාර්තා කර තිබේ. එම කණ්ඩායමේ ම උපුල් තරංග ශතක 2ක් සමගින් ලකුණු 244ක් ලබා පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ පසුවන අතර එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ චරිත් අසලංක තෙවැනි ස්ථානය අත්කරගෙන ඇත්තේ ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 237ක් සමගිනි. හලාවත ක්‍රීඩා සමාජයේ ලසිත් කෘස්පුල්ලේ (229) සහ යුද හමුදාවේ දුෂාන් විමුක්ති (224) පිළිවෙළින් පිතිකරුවන් අතර සිවුවැනි සහ පස්වැනි ස්ථානවල පසුවෙයි.

තරග 5කදී කඩුලු 13ක් බිඳ දමමින් පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට හලාවත ක්‍රීඩා සමාජයේ කමිඳු මෙන්ඩිස් සමත්ව ඇත්තේ එන්.සී.සී. පිලට එරෙහිව ලකුණු 33කට කඩුලු 5ක් ලෙස හොඳම දක්ෂතාව ද සටහන් කරමිනි.

එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ තරිඳු රත්නායක, එන්.සී.සී. ක්‍රීඩා සමාජයේ චාමික කරුණාරත්න සහ එම ක්‍රීඩා සමාජයේම සචිඳු කොළඹගේ කඩුලු 11 බැගින් දවාගෙන ඇති අතර විමුක්ති පෙරේරා (ද්‍රවිඩ සංගම්) කඩුලු 10ක් බිඳ දැමීමට සමත්ව තිබේ.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග 29 වැනිදා කටුනායක සහ එස්.එස්.සී පිටියේදී අතර අවසන් මහා තරගය 31 වැනිදා එස්.එස්.සී පිටියේදී පැවැත්වීමට නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();