පාපන්දු පිටියේ රජු බිහිකළ ක්‍රීඩා සමාජය වසා දමයිද?
ආසියාවේ පැරැණිතම ක්‍රීඩා සමාජය ලෙස සැලකෙන, ශ්‍රී ලාංකේය පාපන්දු ඉතිහාසයේ වැඩිම ශූරතා හා වැඩිම කුසලාන දිනාගත් සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය අනුග්‍රාහකයකු නොමැතිව උග්‍ර මූල්‍ය අර්බුදයකට මුහුණදී සිටියි. වසර 100ක් පැරණි සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයෙන් පාපන්දු පිටියේ රජු ලෙස සැලකෙන නැසීගිය පී. ඩී සිරිසේන මාස්ටර් ඇතුළු ජාතික හා ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයන් රැසක් බිහිවූ අතර මතුව ඇති මූල්‍ය අපහසුතා හේතුවෙන් ඉදිරියේදී ක්‍රීඩා සමාජය පවත්වා ගැනීමට අපහසු තත්ත්වයක් නිර්මාණයවී ඇත. එම ක්‍රීඩා සමාජයේ ලේකම් හා පුහුණුකරු සුමිත් වල්පොල මහතා පවසන්නේ අනුග්‍රාහකයකු නොමැතිවීම හා මූල්‍ය අර්බුදය පිළිබඳ පාපන්දු සම්මේලනයේ අවධානය යොමුකර ඇති බවයි. එහෙත් එයට තවමත් නිසි ප්‍රතිචාරයක් නොමැති බව වල්පොල මහතා පැවැසීය. එදා සිට තම ක්‍රීඩා සමාජයට පිටකොටුවේ වෙළෙඳ ව්‍යාපාරික මහතුන් කිහිපදෙනකු පෞද්ගලික අනුග්‍රහය ලබා දුන්නද, එය වත්මන් තත්ත්වයට ප්‍රමාණවත් නොමැති බව ඒ මහතා පැවැසීය.
“අනුග්‍රාහකයකු නැතිව ක්‍රීඩා සමාජයේ වැඩ කරගන්න අමාරුයි. කොළඹින් පිට පළාතක තරගයකට යන්න ලක්ෂ ගානක් වැය වෙනවා. බස්රථයක් කුලියට ගන්නම විශාල වියදමක්. අපේ ක්‍රීඩකයන් මුදල් ගන්නේ නෑ. විශාල කැපවීමක් ක්‍රීඩාව වෙනුවෙන් කරනවා. ඒ වුණත් තරගයකදී විශාල වැයක් දරන්න වෙනවා. මේ හැම දේම කරන්න අනුග්‍රහකයෙකු නැතිව බෑ. දැන් සුපර් ලීග් තරගාවලියක් පටන් ගන්න යනවා. ඒ මොනදේටත් මුදල් අවශ්‍යයි” වල්පොල මහතා පැවැසීය.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධාන කරන සුපර් ලීග් තරගාවලියට සහභාගීවන සෑම කණ්ඩායමක්ම ලෝක පාපන්දු සම්මේලනයේ ලියාපදිංචි විය යුතු අතර එහිදී පිරිනැමෙන ‘ක්ලබ් ලයිසන්’ තත්ත්වය ලබාගත යුතුවේ. ඒ සඳහා වෙනම ලිපිගොණුවක් ආරම්භ කළ යුතු අතර එය වෘත්තීය මට්ටමේ ආකෘතියකි. ඒ අනුව ක්‍රීඩා සමාජයට වෙනම වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන් හා ඔවුන්ට වැටුප් ගෙවන ආකාරය, ක්‍රීඩා සමාජයට වැටුප් ගෙවන වෛද්‍යවරයෙක්, ගිණුම් කටයුතු පවත්වාගෙන යෑමට වෙනම ගණකාධීකාරීවරයෙක් හා පිළිගත් බැංකුවක ගිණුමක් පවත්වාගත යුතුය. සෝන්ඩර්ස් වැනි අනුග්‍රාහකයකු නොමැති ක්‍රීඩා සමාජයක් ඉහත තත්ත්වයට ළගාවීම ප්‍රබල ගැටලුවක් බවට පත්ව ඇත. පසුගිය වසරේදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයට රුපියල් එක් ලක්ෂ අසූ දාහක මුදලක් ලබාදී ඇති අතර එය කිසිසේත්ම ප්‍රමාණවත්වී නොමැති බව පැවැසේ.

0 Comments