රෝහිත් ශර්මා වාර්තා කළ මංගල ද්විත්ව ශතකය හේතුවෙන් සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සමග රංචිහිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 497ක් ලබා සිටියදී අත්හිටුවීමට ඉන්දියා කටයුතු කළේය.
ඊයේ දෙවැනි දිනයට ක්‍රීඩාව නතර කරනවිට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකාව කඩුලු 2ක් දැවී ලකුණු 9ක් රැස්කර තිබිණි.
සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කළ රෝහිත් ශර්මා ඉන්දීය ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස දැවී යනවිට ලකුණු 212ක් රැස් කර තිබිණි. මේ සමගින් වාර්තා රැසකටද හිමිකම් කීමට ඔහු සමත් විය.
දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරගාවලියකදී වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද සටහන් කිරීමට ඔහු සමත් විය. පළමු තරගයේදී ශතක 2ක් රැස්කළ ශර්මා මේ වනවිට ලකුණු 529ක් වාර්තා කර තිබේ. මින් පෙර මොහොමඩ් අසාරුදින් ලකුණු 388ක් වාර්තා කර තිබිණි.
ටෙස්ට් තරගාවලියකදී ශතක 4ක් වාර්තා කර ඇත්තේ සුනිල් ගවස්කාර් වන අතර එම වාර්තාවට එක්වීමට ශර්මාට තවත් ඉනිමක් ඉතිරිව තිබේ.
ශර්මා සිය ද්විත්ව ශතකය හතරේ පහර 28කින් සහ හයේ පහර 5කින් ඉනිම වර්ණවත් කර ගත්තේ පන්දු 255ක් පමණක් වැය කරමිනි. ඔහුට අනගි සහයක් ලබාදුන් අජින්ක්‍යා රහානේ සිවුවැනි කඩුල්ලට ලකුණු 267ක සබඳතාවක් ගොඩනැගූ අතර රවින්ද්‍ර ජඩේජා 5 වැනි කඩුල්ලට ලකුණු 64ක් එක් කළේය.
ලකුණු 39කට කඩුලු 3ක් දැවී තිබියදී ආරම්භක පිතිකරු රෝහිත් (117) සමග එක්වු අජින්ක්‍යා රහානේ (83) පළමු දිනය නිමාවනවිට ගොඩනගා තිබූ ලකුණු 185ක නොබිදුණු සබඳතාව ඊයේ ඉදිරියට ගෙන ගියේ තවත් ලකුණු 82ක් එක් කරමිනි. මුළු ලකුණු 306දී රහානේ දැවී යෑමෙන් එම සබඳතාව නිමාවිය. පන්දු 192කදී හතරේ පහර 17ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 115ක් රැස් කිරීමට රහානේ සමත්වූයේ සිය 11 වැනි ටෙස්ට් ශතකය ලෙසිනි.
මයාන්ක් අග්‍රවාල් (10) චෙටෙස්වර් පුජාරා (0) සහ නායක විරාට් කෝලි (12) පළමු දිනයේදීම අඩු ලකුණු ගණනකට දවා ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ.
පන්දු යැවීමේදී සිය මංගල තරගයට එක්වූ ජෝර්ජ් ලින්ඩි කඩුලු 4ක් දවාගත් අතර කගීසෝ රබාඩා කඩුලු 3ක් බිඳ දැම්මේය.
අද තරගයේ තෙවැනි දිනයයි.
ඉන්දීය පළමු ඉනිම - 497/9යි. (ඕවර 116.3) ඉනිම අත්හිටුවන ලදි. රෝහිත් ශර්මා 212, අජින්ක්‍යා රහානේ 115, රවින්ද්‍ර ජඩේජා 51 (ජෝර්ජ් ලින්ඩි 133/4, කගීසෝ රබාඩා 85/3)
දකුණු අප්‍රිකා පළමු ඉනිම - 9/2යි (ඕවර 5)
0 Comments