ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක කරච්චි හා රාවල්පින්ඩි යන නගරවල ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වීමට කටයුතු සූදානම් වෙයි. ඒ සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සහභාගී විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනටමත් සියලු ක්‍රීඩකයන්ට දැනුම්දී ඇත. යම් හෙයකින් පාකිස්තාන සංචාරයට එක්වීමට අකමැති ක්‍රීඩකයෙක් වොතොත් ඔහුට එරෙහි පියවර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සූදානමින් සිටින බව වාර්තා වේ.
පාකිස්තානයේදී නිසි ආරක්ෂාවක් යටතේ ක්‍රීඩා කිරීමට වාතාවරණය සැකසී ඇති බැවින් අයි. සී. සී ටෙස්ට් ශූරතාවලියේ තරග දෙක පාකිස්තානයේදී පැවැත්වීමට පැමිණෙන ලෙස පාකිස්තාන ක්‍රිකට් ආයතනයෙන් ශ්‍රී ලංකාවට ආරාධනා ඉදිරිපත් වුණි. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ කැමැත්ත අනුව එම සංචාරය පාකිස්තානයේදී පැවැත්වීමට සහය දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පැවැසීය.
එහෙත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් අතර වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම් අස්සන්කොට ඇති හෙයින් අන්තර්ජාතික ක්‍රිකට් තරගවලට ක්‍රීඩා කිරීම සඳහා සූදානම්වීම ක්‍රීඩකයන්ට සිදුවේ. එමෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරන අතරතුර වෙනත් රටවල පැවත්වෙන ප්‍රීමියර් ලීග් විස්සයි 20 තරගවලට යෑම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිඛිත අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ. එම ‘විරෝධතා නොමැති බවට වූ සහතිකය’ ලබා නොගෙන කිසිදු ක්රීඩකයකුට වෙනත් විදෙස් තරගාවලි සඳහා යෑමට නොහැකි බැවින් පාකිස්තාන සංචාරයට නොයන ක්‍රීඩකයන්ට එම සහතිකය ලබා නොදීමට තීරණය කොට ඇතැයි වාර්තා වේ.
පාකිස්තානයේ කරච්චි හා ලාහෝර් හීදී නිමාව දුටු එක්දින හා විස්සයි 20 තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් සහභාගීත්වය පිළිබඳ අදහස් විමසා ඒ අනුව සංචිතය නිර්මාණය කළද මෙවර එවැනි අදහස් විමසීමක් නොකරනු ඇතැයි පැවැසේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නම්කරන ලද සංචිතයට ක්‍රීඩා ඇමැතිවරයාගේ අදහස් ලබා ගැනීමෙන් අනතුරුව සංචාරයට සූදානම්වීම ක්‍රීඩකයන් විසින් කළ යුතුවේ.
ශ්‍රී ලංකා - පාකිස්තාන ටෙස්ට් තරග දෙක පාකිස්තානයේ පැවැත්වීමට අපොහොසත්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වන්නේ නම් ඒ සඳහා යන සියලු වියදම් රටවල් දෙක විසින් දැරිය යුතු බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසා ඇත. මේ තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට පැවැරී ඇති හෙයින් කරච්චි හා ලාහෝර් නුවරදී පවත්වන්නේනම් ඒ සියලු වියදම් පාකිස්තාන ක්‍රිකට් ආයතනය දැරිය යුතු වේ. මෙයට සතියකට පමණ පෙර ඩුබායි පැවැති අයි. සී. සී සමුලු රැස්වීමේදී පාකිස්තාන ක්‍රිකට් සභාපති ඒෂාන් මානි හා ප්‍රධාන විධායක නිලධාරී වසීම් ඛාන් ශ්‍රී ලංකා නිලධාරීන් සමග මේ ටෙස්ට් තරගාවලිය සම්බන්ධව දීර්ඝ සාකච්ඡා පවත්වා ඇත.
ලාහෝර් නුවරදී ශ්‍රී ලාංකා ක්‍රිකට් කණ්ඩායමට ත්රස්තවාදීන් 2009 මාර්තු මාසයේ එල්ලකළ වෙඩි ප්‍රහාරයෙන් පසු පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන් අඩපන විය. කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ අවසන්වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කොට ඇත්තේ වසර 2009දී වන අතර රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අවසන්වරට 2004දී පාකිස්තානය සමග ටෙස්ට් තරගයක් පවත්වා ලකුණු 131ක ජයක් ඉන්දියාව හිමිකර ගත්තේය.
0 Comments