ශ්‍රී ලංකා රජය විසින් 1979 අංක 53 දරණ නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමේ පනත මගින් බලාත්මක කරන ලද ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, දේශීය නවෝත්පාදනයන්ට අනුග්‍රහ දැක්වීම හා ධෛර්යය දීම වෙනුවෙන් පිහිටුවා ඇති ප්‍රමුඛතම රාජ්‍ය ආයතනයයි.
වර්තමානයේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්රියාත්වන මෙය ආයතනය දේශීය නව නිපැයුම්කරුවන් ඉලක්ක කර ගනිමින්, ඔවුන් ගේ නවෝත්පාදනයන් දිරිගැන්වීම උදෙසා දිනෙන් දින අලුත් වන විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවනු ලබයි.
නවෝත්පාදන දිරිගැන්වීම සහ නව නිපැයුම්කරුවනට තාක්ෂණික, මූල්‍ය හා නීති ආධාර සැපයීම කොමිසම පිහිටුවීමේ ප්‍රධාන පරමාර්ථය වශයෙන් දැක්විය හැකි අතර, ඊට අනුශාංගිකව බලතල හා කර්තව්‍යයන් රැසක් පැවරී ඇත.
ඒ අතරින් වසරේ විශිෂ්ටතම නව නිපැයුම් ඇගයීම සඳහා වන ජනාධිපති සම්මාන ප්රදානය සුවිශේෂී වේ.
මෙම විශිෂ්ට නව නිපැයුම් තෝරාගනු ලබන්නේ එක් එක් වර්ෂයන් වලදී බුද්ධිමය දේපළ හිමිකම (පේටන්ට්) ලබාගන්නා නව නිපැයුම්, අතිගරු ජනාධිපතිතුමන්ගේ අනුමැතියෙන් පත් වන විනිසුරුමඩුල්ලක් මගින් විනිශ්චයට ලක් කිරීම මගිනි.
එමෙන්ම “සහසක් නිමැවුම්” නව නිපැයුම් ප්‍රදර්ශනය සහ තරඟය සංවිධානය කිරීම හරහා දේශීය නිපැයුම්කරුවාට අත්වැලක් වීමට කොමිසමට හැකියාව ලැබී තිබෙන අතර, එය නිර්මාණශීලීත්වය වෙනුවෙන් වාර්ෂිකව ඉදිවන කදිම වේදිකාවක් බව පැවසීම නිවැරදි ය.
ජාතික තලයේ ප්‍රදර්ශනයක් ලෙස ආරම්භ වූ “සහසක් නිමැවුම්”, 2019 වසරේ සිට ජාත්‍යන්තර නව නිපැයුම් ප්‍රදර්ශනයක් ලෙස පැවැත්වීම ලාංකේය නවෝත්පාදන ඉතිහාසයට එක් වන දැවැන්ත වැඩපිළිවෙලක් ලෙස දැක්විය හැකි ය.
මෙම ප්‍රදර්ශනය සඳහා දේශීය නව නිපැයුම් තෝරාගැනීමේ දී දිවයිනේ පළාත් නවය (09) ම ආවරණය වන පරිදි පැවැත්වෙන පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහන් වලින් අනතුරුව නව නිපැයුම් ඇගයීමේ කටයුතු සිදු කරනු ලබයි.
විදෙස් නව නිපැයුම් අධීක්ෂණය කරනු ලබන්නේ තවත් විශේෂිත විනිශ්චය මණ්ඩලයක් මගිනි.
මෙම ප්‍රදර්ශනය සඳහා පාසල්, විශ්වවිද්‍යාල-තෘතියික අධ්‍යාපන ආයතන, විවෘත මෙන්ම වාණිජකරණ යනාදී වූ සෑම තලයක්ම නියෝජනය කරමින් ප්‍රධාන කාණ්ඩ හතරක් යටතේ වෛද්‍ය විද්‍යාව, ප්‍රවාහන, ඉංජිනේරු, භෞතික විද්‍යා, කෘෂිකර්මය, මහජන ආරක්ෂාව යනාදී වූ එකිනෙකට වෙනස් තාක්ෂණික ක්ෂේත්‍ර දාහතරක් ඔස්සේ නිර්මාණ ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇත.
පළාත් මට්ටමේ නව නිපැයුම් අධීක්ෂණය සඳහා විශේෂිත ප්රවිණ විනිසුරුමඩුල්ලක් සම්බන්ධ වන අතර, ජාත්‍යන්තර තරඟය ද ඊටම සුවිශේෂී වූ පරිණත විනිසුරුමඩුල්ලක ගේ දායකත්වයෙන් විනිශ්චය කරනු ලබයි.
මෙවර තරඟයේ දී ජාතික මට්ටමේ ජයග්‍රහණ ලෙස විශ්වවිද්‍යාල හා තෘතියික අධ්‍යාපන අයතන, විවෘත, වාණිජකරණ අංශයන් සඳහා තරඟාවලියේ විශිෂ්ටම සම්මානය වන “දසිස්” කුසලාන ත්‍රිත්වයක් ද පාසල් අංශය වෙනුවෙන් කණිෂ්ඨ දසිස් කුසලානයක් ද ප්‍රධානය කෙරුණි.
ඊට අමතරව රන් පදක්කම් 38ක්, රිදී පදක්කම් 36ක් හා ලෝකඩ පදක්කම් 32ක් ද පිරිනැමුණි.
විදෙස් තරඟ අංශය සඳහා ඉදිරිපත් වූ මලයාසියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව හා ඊජිප්තුව යන රටවල් වලින් ඉදිරිපත් වූ නව නිපැයුම් වෙනුවෙන් රන් පදක්කම් 05ක් හා රිදී පදක්කම් 02ක් හිමි විය.
දෙස් විදෙස් නව නිපැයුම් එකම වේදිකාවකදී එළිදැක්වෙන “සහසක් නිමැවුම්”, නවෝත්පාදනයෙහි නියැලි නව නිපැයුම්කරුවනට මෙන්ම නවෝපාදන කෙරෙහි ඇලුම් කරන ශ්‍රී ලාංකේය ප්‍රජාවට ද එක සේ ප්‍රයෝජනවත් ප්‍රදර්ශනයක් බව ජනතා ප්‍රතිචාර වලින් පැහැදිලි වී තිබේ. මෙහිදී ජයග්‍රහණ ලබාගන්නා නව නිපැයුම් වෙනුවෙන් කොමිසමේ පූර්ණ අනුග්‍රහය මත ජාත්‍යන්තර නව නිපැයුම් තරඟ ප්‍රවේශය සඳහා අවස්ථාව ලබාදීම ද විශේෂත්වයකි.
0 Comments