Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උතුරු පළාත් විවෘත බැඩ්මින්ටන් බුවනෙක-තිළිණි ශූරතා දිනති

අනුරාධපුරයේ පැවැති උතුරු පළාත් විවෘත බැඩ්මින්ටන් තරගාවලියේදී මෙරට බැඩ්මින්ටන් පිටියේ අනාගත බලාපොරොත්තු තැබිය හැකි දීප්තිමත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙපළක් වන බුවනෙක ගුණතිලක සහ තිළිණි හෙන්දහේවා ඒකල ශූරතා දිනාගනිද්දී සචින් ඩයස් සහ දිල්මි ඩයස් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්වූහ.ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටින රන්තුෂ්ක කරුණාතිලක ලකුණු 21-17ක් සහ 21-11ක් ලෙස පරාජයට පත් කරමින් පිරිමි ඒකල ශූරතාව දිනාගැනීමට ගුණතිලක සමත් විය. මේ තරගාවලියේ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැන පසුවූ ගුණතිලක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ මධුක දුලාංජන 2-1ක් ලෙස පරාජය කරමිනි. පසුගිය වසරේ ජාතික බැඩ්මින්ටන් තරගාවලියේ ඒකල තරග අංශයේ අනුශූරයා වූ කරුණාතිලක අවසන් පූර්ව තරගයේදී 2-0කින් ලෝචන ඔෂාන් ද සිල්වා පරාජය කරමින් අවසන් තරගයට එක්විය.

පිරිමි යුගල අවසන් තරගයේදී සචින් ඩයස් සහ ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල 144 වැනි ස්ථානයේ පසුවන ගුණතිලක අතින් ලකුණු 21-16ක් සහ 21-16ක් ලෙස පරාජයට පත්වූයේ හසිත චානක සහ ආර්.එස්.කසුන්ය. අචිනි සහ උපුලි වීරසිංහ ලකුණු 21-12ක් සහ 21-12ක් ලෙස කාවින්දිකා බිනරි ද සිල්වා සහ දිල්මි ඩයස් පරාජයට පත් කරමින් කාන්තා යුගල ශූරතාව දිනාගත්හ.

කාන්තා ඒකල අවසන් මහා තරගය වත්මන් සහ හිටපු ජාතික ශූරියන් දෙදෙනකු අතර ගැටුමක් බවට පත්වූ අතර 6 වරක් ජාතික ශූරිය බවට පත්වූ වත්මන් ශූරිය වන හේන්දහේවා අතින් අවසන් මහා තරගයේදී 2-0ක් (21-15 සහ 21-18) ලෙස පරාජයට පත්වූයේ තෙවරක් ජාතික ශූරිය බවට පත්වූ අචිනි රත්නසිරිය.

අවසන් පූර්ව තරග වලදී හෙන්දහේවා විසින් කාවින්දිකා බිනරි ද සිල්වා 2-0කින්ද, ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැන පසුවන දිල්මි ඩයස් 2-0කින් පරාජය කරමින් අචිනි රත්නසිරිද අවසන් තරගයට එක්වූහ.

දිල්මි ඩයස් ඊට පෙර පැවැති අවුරුදු 19න් පහළ බාලිකා ඒකල අවසන් තරගය ජයගැනීමට සමත්වූ අතර එම කාණ්ඩයේම යුගල තරගයත් ජයගත්තේ අනුරංගි හංසමාලි සමග එක්වෙමිනි.

ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල 177 වැනි ස්ථානයේ පසුවන හෙන්දහේවා සහ සචින් එක්ව ලකුණු 21-8ක් සහ 21-15ක් ලෙස මධුක දුලාංජන සහ දිල්මි ඩයස් පරදවා මිශ්‍ර යුගල ශූරතාව දිනාගැනීමට සමත්වූහ.

උතුරු පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කළ මේ තරගාවලිය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ අධීක්ෂණය යටතේ පැවැති අතර බැඩ්මින්ටන් සංගමයේ උපසභාපති පරාක්‍රම බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජය සංකේත ප්‍රදානය සිදු කෙරිණි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහසකට වැඩි සංඛ්‍යාවක් දින හයක් පුරා තරග වැදුණු උතුරු පළාත් විවෘත බැඩ්මින්ටන් තරගාවලිය අනුරාධපුරයේ නගර සභා ක්‍රීඩාගාරයේ සහ මයික් කුක් ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයේදී වයස් කාණ්ඩ 9ක් යටතේ පැවැත්විණි.

තරග ප්‍රතිඵල

ඒකල : පිරිමි - බුවනෙක ගුණතිලක විසින් (21-17, 21-11) රන්තුෂ්ක කරුණාතිලක පරාජයට පත්කරන ලදි., කාන්තා - තිළිණි හෙන්දහේවා විසින් (21-15, 21-18) අචිනි රත්නසිරි පරාජයට පත්කරන ලදි.

යුගල: පිරිමි - සචින් ඩයස්/ බුවනෙක ගුණතිලක විසින් (21-16, 21-16) හසිත චානක/ආර්.එස්.කසුන් පරාජයට පත්කරන ලදි., කාන්තා - අචිනි රත්නසිරි/ උපුලි වීරසිංහ (21-12, 21-12) විසින් කාවින්දිකා බිනරි ද සිල්වා/ දිල්මි ඩයස් පරාජයට පත්කරන ලදි.

මිශ්‍ර යුගල - සචින් ඩයස්/තිළිණි හෙන්දහේවා විසින් (21-8,21-15) මධුක දුලාංජන/දිල්මි ඩයස් පරාජයට පත්කරන ලදි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();