පාකිස්තානයෙදී එක්දින හා විස්සයි 20 තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා පිලට ජනාධිපතිවරයෙකු වෙනුවෙන් සැපයෙන ආරක්ෂාවට සමාන විශේෂ ප්‍රභූ ආරක්ෂාවක් ලබාදෙන බව පකිස්තාන ක්‍රිකට් ආයතනය පොරොන්දුවී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පකිස්තාන සංචාරයේදී ක්‍රියාත්මකවන එම ආරක්‍ෂිත වැඩ පිළිවෙළ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දැනුම්වත් කෙරෙන විශේෂ රැස්වීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද පැවැත්වෙයි.
එවැනි රැස්වීමක් පැවැත්වීමට සිදුව ඇත්තේ දිමුත් කරුණාරත්න, ලසිත් මාලිංග හා ඇන්ජලෝ මැතිව්ස් යන ක්‍රිකට් නායකයන් මෙන්ම ප්‍රබල ක්‍රීඩකයන් පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පාකිස්තාන සංචාරයට සහභාගීවීම පිළිබඳ අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආරක්ෂක උපදේශක හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා විසින් පාකිස්තානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලැබෙන ආරක්ෂාව පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කිරීමට නියමිත අතර ඉන් පසුව පාකිස්තාන ක්‍රිකට් සංචාරය වෙනුවෙන් නම් කෙරෙන ශ්‍රී ලංකා සංචිතය පිළිබඳ ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමුවනු ඇත.
තරගාවලියේ ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙයට සති කිහිපයකට පෙර පාකිස්තානයේ සංචාරයක නිරතවූ අතර එහිදී ශ්‍රී ලංකා පිල නවාතැන් ගන්නා හෝටල් හා ක්‍රීඩාංගණය අතර ඇති දුර හා මාර්ගයේ පවතින ආරක්ෂාව කෙරෙහි විශේෂ සොයා බැලීමක් සිදුව ඇත.
වසර 2009දී ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ගමන්ගත් බස්රථයට ලාහෝර්හීදී එල්ලවූ ත්‍රස්ත්‍ර ප්‍රහාරයෙන් වසර 10කට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පාකිස්තානයේ පූර්ණ තරග සංචාරයකට එක්වේ.
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර වසර 2009දී පැවැති ක්‍රිකට් තරගාවලිය අතරතුර එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාකිස්තානයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීම මුලුමණින්ම තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ගමන්ගත් බස් රථයට 2009 මාර්තු මස 3වැනිදා එල්ලවූ ප්‍රහාරයෙන් ආරක්ෂක නිලධාරීන් 6 දෙනෙකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු මියගිය අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 6කට තුවාල සිදුවිය.

0 Comments