කූප්‍රකට බැදුම්කර වංචාව සම්බන්ධව බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අනිකා විජේසූරිය මහත්මියගේ සහෝදරයෙකු වන විජිත් විජේසූරිය මහතාට තර්ජනය කිරීම සම්බන්ධව චෝදනා එල්ලවී සිටින, අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ඥාතියෙකු වන ශනිල් නෙත්තිකුමාර මහතාට එරෙහි නඩුව ලබන නොවැම්බර් මස 8 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය ඊයේ(09) නියම කර තිබේ.
සිද්ධියට අදාල නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම නඩුව විභාග කිරීම සඳහා දින නියම කරන ලෙසය.
ඒ අනුව නොවැම්බර් මස 8 වැනිදා නඩුව විභාගයට ගැනීමට අධිකරණය නියෝග කළේය. එදිනට පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වන අනිකා විජේසූරිය, ඇයගේ සොහොයුරු විජිත් විජේසූරිය ඇතුළු තිදෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කරන ලෙස ද අධිකරණය නියෝග කර තිබේ.
ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් සමාගමේ අධ්‍යක්ෂිකා අනිකා විජේසූරියට අයත් කොළඹ ‘මොනාච්’ රෙසිඩන්සීස් නිවාස සංකීර්ණයේ නිවෙසක් කුලියට ගැනීම සඳහා හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු ඔහුගේ පවුලට, බැදුම්කර වංචාව සම්බන්ධ චෝදනා එල්ල වී ඇති පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් විසින් රුපියල් මිලියන 1.4ක මුදලක් ගෙවීම සහ ඒ සඳහා බදු වශයෙන් රුපියල් මිලියන 7.3ක මුදලක් අර්ජුන් ඇලෝසියස් යන අයට අයත් පර්පචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් නමැති ආයතනයෙන් ගෙවීම පිළිබඳ සිද්ධියකට අදාළව අනිකා විජේසූරිය යන අය ජනාධිපති බැඳුම්කර කොමිසම ඉදිරියේ සාක්ෂි දෙනු ලැබුවාය.
තම සහෝදරිය වන අනිකා විජේසූරිය යන අය සාක්ෂි දීම සම්බන්ධයෙන් විත්තිකරු වන ශානිල් නෙත්තිකුමාර යන අය විසින් තම ජංගම දුරකථනයට කතාකොට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන සිද්ධියේ පැමිණිලිකරු වන විජිත විජේසූරිය යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම නඩුව ගොනුකර තිබිණි.


0 Comments