Header Ads Widget

සාලින්ද දේශපාලනයත් කෘෂිකර්මයත් සමබරව ගෙන ගිය කෘතහස්ත නායකයෙක්

ඔහුගේ අභාවය වයඹට මෙන්ම රටටම පාඩුවක් බව අගමැති පාර්ලිමේන්තුවේදී කියයි

කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා දේශපාලනයත් කෘෂිකර්මාන්තයත් සමබරව පවත්වාගෙන යමින් ජනතා හදවත දිනූ කෘතහස්ත නායකයකු ලෙස අප අතරින් වෙන්වීම වයඹ පළාතට පමණක් නොව සමස්ත රටටම පාඩුවක් බව අගමැති රනිල්‍ වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (23) ප්‍රකාශ කළේය.

දේශීයත්වය නඟාසිටුවීමට කටයුතු කළ සාලින්ද දිසානායක මහතා හිරියාල වැනි ප්‍රදේශයක් ජයග්‍රහණය කළේ දේශීය කෘෂිකර්මාන්තය නිසාම බවත් අගමැතිවරයා පැවැසුවේය.

වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව 23 දා ආරම්භ කෙරිණ.

දිනට නියමිත ලිපිලේඛන, නිවේදන, මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නවලට ඇමැතිවරුන් පිළිතුරු ලබාදීම සිදුකෙරිණ.

කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා වෙනුවෙන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ශෝක යෝජනාව ඉදිරිපත් කළේය.

වෘත්තියෙන් විදුහල්පතිවරයකු වූ සමරසිංහ දිසානායක මහතාට හා ගුරුවරියක වූ රන්මැණිකේ තෙන්නකෝන් මහත්මියට දාව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගමදී 1958 මැයි මස 01 දා සාලින්ද දිසානායක මහතා ජන්ම ලාභය ලැබීය. උපතින් බෞද්ධයකු වූ මෙතුමා මූලික අධ්‍යාපනය සඳහා කුරුණෑගල මලියදේව විද්‍යාලයටත්, ද්විතීක අධ්‍යාපනය සඳහා මහනුවර කිංස්වුඩ් විද්‍යාලයටත් ඇතුළත් විය. උසස් පෙළ විද්‍යා අංශයෙන් සමත්ව මොරටුව විශ්වවිද්‍යාලයෙන් රසායන විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත් මෙතුමා රසායන ඉංජිනේරුවරයෙක් වශයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලුණු සංස්ථාවේ සේවය කර ඇත.

විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේදීම දේශපාලනය කෙරෙහි නැඹුරු වූ මෙතුමා මොරටුව විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ශිෂ්‍ය සංගමයක් බිහිකර එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර, එම කාලයේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ ක්‍රියාකාරිවරයකු ලෙසද ඉතා උද්‍යෝගයෙන් කටයුතු කර ඇත. නමුත් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී 1983 දී ශ්‍රී ලංකා මහජන පක්ෂය බිහිකිරීමට දායකත්වය සපයන ලදී.

මෙතුමා වයඹ පළාත් සභාවේ පළමු මැතිවරණය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණෙන් තරග කර ජයග්‍රහණය කොට වයඹ පළාත් සභාවට තේරීපත්විය. ඉන්පසුව 1994 දී පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වී ඉන් ජයගෙන පළමු වරට පාර්ලිමේන්තුවට පිවිස කෘෂිකර්ම හා ඉඩම් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්විය. නැවත 2000 වසර, 2001, 2004, 2010 හා 2015 යන වර්ෂවල පැවැත්වූ මහ මැතිවරණවලට ඉදිරිපත් වී එම මැතිවරණවලින් ජයගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස වසර 24 කට වැඩි කාලයක් කටයුතු කර ඇති මෙතුමා ඉඩම් සංවර්ධන හා සුළු අපනයන භෝග අමාත්‍ය, නියෝජ්‍ය සමෘද්ධි අමාත්‍ය, වාරිමාර්ග මහවැලි හා රජරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, විද්‍යා හා තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය, පොල් සංවර්ධන අමාත්‍ය, ජාතිය ගොඩනැගීමේ අමාත්‍ය, දේශීය වෛද්‍ය අමාත්‍ය ආදී නියෝජ්‍ය අමාත්‍ය ධුරයන් මෙන්ම කැබිනට් අමාත්‍ය ධුරයන් ද රාශියක් දරමින් ගොවි ජනතාව ඇතුළු සමස්ත ජනතාව වෙනුවෙන් ඉතා විශාල සේවයක් සලසා ඇත.

ජපානයේ හා චීනයේ කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීමේ වැඩසටහනේ පුරෝගාමියකු වූ මෙතුමා සෑම වසරකම ඒ සඳහා විවිධ දේශන පැවැත්වීමට ආරාධනා ලැබූ අයෙකි. එමෙන්ම කාබනික ගොවිතැන ලංකාවට හඳුන්වාදීමේ පුරෝගාමියා ලෙසද, අක්කරයකින් වී බුසල් 367 ක් ලබාගෙන ලෝකයේ තුන්වන ස්ථානය ගත් ගොවියා ද වූ මෙතුමා මිය යන තෙක්ම ගොවිකම අත් නොහැරිය අයෙකි.

1994 වසරේ සිට 2019 අගෝස්තු මස දක්වා පුරා වසර 24 කටත් අධික කාලයක් මෙම උත්තරීතර සභාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් සිටි සාලින්ද දිසානායක මහතා 2019 අගෝස්තු මස 05 වන දින අවුරුදු 61 ක් ආයු වළඳා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අප අතරින් සමුගත්තේය.

නියෝජ්‍ය කාරක සභා සභාපති එස්. අඩෙක්කලනාදන් මහතා මුලසුනට පැමිණියේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා - සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ සාලින්ද දිසානායක මහතාගේ ශෝක යෝජනාව සම්මත කරමින් එතුමාගේ අභාවය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් මෙහිදී මම ඉදිරිපත් කරනවා. සාලින්ද මහතා වෘත්තියෙන් ඉංජිනේරුවෙක්. ඊට අමතරව ඔහු පශු වෛද්‍ය ආචාර්ය උපාධියක්ද ලබාගෙන තිබෙනවා. ඔහුගේ උගත්කම පාර්ලිමේන්තුවේදී වුණත් භාවිතා කළේ නැහැ. ඔහු ඉතා ‍නිහතමානී චරිතයක්. ජනතාව සමඟ ඉතා සමීප සබඳතාවක් ඔහු පවත්වාගෙන ගියා. ක්‍රිකට් ක්‍රීඩාවටද ඔහු සම්බන්ධ වෙලා ක්‍රීඩාව දියුණු කිරීමට කටයුතු කළා. වී වගාව ගැන වඩාත් උනන්දු වුණා. මන්ත්‍රීකම් තිබුණාට ඔහු ගොවිතැන අමතක කළේ නැහැ. පැරණි වී සියල්ලම වගේ ඔහු වගා කර තිබෙනවා. මේ රජයෙන් ඉදිරිපත් කළ ගිවිසුම් ගැන ඉතා හොඳ පැහැදිලි කිරීමක් ඔහු මැරෙන්නට දින කිහිපයකට පෙර කුරුණෑගල උගතුන් සමඟ සාකච්ඡා කර තිබුණා. පිරිසිදු දේශපාලන ජීවිතයක් වන ඔහුගේ අභාවය රටටම පාඩුවක්. වස විසෙන් තොර ගොවිතැන් ක්‍රමයක් රටටම හඳුන්වාදීමට ඔහු පියවර ගත්තා. දේශපාලනයට අමතරව රඟපෑම් කටයුතුවලට ද ඔහු දායක වුණා. හැම ක්ෂේත්‍රයකම වැඩ කිරීමේ දක්ෂතාවක් සාලින්ද මහතාට තිබුණා. සාලින්ද මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා - පාර්ලිමේන්තුවට එන්න පෙර සාලින්ද මහතා ගැන මම දැනගත්තා. විජය කුමාරතුංග මහතාගේ ඝාතනයෙන් පසුව චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීමට ඔහු පියවර ගත්තා.

ඔහුගේ දේශපාලන ජීවිතය සාමාන්‍ය එකක් නොවේ. කුඩා කලදීම ඔහු 1971 වසරේ ජේ.වී.පී. එකට සම්බන්ධ වී අත්අඩංගුවේ පවා සිටියා. සාලින්ද දිසානායක මහතා දක්ෂයෙක්. ඔහු මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත්ව රසායනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව උපාධිය හැදෑරීම සිදුකළා. එහිදී ඔහු දේශපාලන ජීවිතය ඇරඹුවා. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය තුළදී ශ්‍රීලනිපයට එක්වුණා. පසුව ඉන් ඉවත්ව මහජන පක්ෂය ආරම්භ කිරීමට ඔහු කටයුතු කළා. උමා මහේෂ්වරන් මහතා සමඟත් සබඳතාවක් තිබුණා. කුමාරතුංග මැතිනිය ආරක්ෂා කිරීම සඳහා උමා මහතා සාලින්ද මහතාව උතුරට ගෙන ගොස් අවි ආයුධ පුහුණුව ලබාදුන්නා. මේ පුහුණුවත් සමඟ උතුරේ ද්‍රවිඩ කණ්ඩායම් සමඟ තවත් සබඳතා ගොඩනගා ගැනීමට ඔහුට හැකිවුණා. මේ පුහුණුව කාලේදී මට එතුමාව හමුවුණා. වයඹ පළාත් සභාවත්, මහ මැතිවරණයත් තරග කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණා. නියෝජ්‍ය ඇමැතිවරයෙක්, ඇමැතිවරයෙක් ලෙසත් ඔහු කටයුතු කළා.

පොදුජන පක්ෂයට එක්ව එතුමා අප අතරින් වෙන්වුණා. දේශපාලනයට වඩා ඔහු කෘෂිකර්මාන්තය කෙරෙහිත් දක්ෂතාවක් තිබුණා. වස විසෙන් තොර කාබනික වගාව ගැන ඔහු උනන්දුවක් දැක්වුවා. කාබනික වගාව සහිත වී වගා කර අක්කරයකට බුසල් 400 ක් ලබාගෙන සාර්ථක වුනා. කෘෂිකර්මාන්තයත් දේශපාලනයත් එකට සම්බන්ධව ඔහු කටයුතු කළා. ඒ නිසා තමයි ඔහුට හිරියාල වගේ ප්‍රදේශයක් ජයගන්නට හැකිවුණේ.

කියුබාවට ගොස් පොල් වගාව ගැන අධ්‍යයනය කළා. හිරියාල වගේ ප්‍රදේශයක් එතුමාට ජය ගන්නට හැකිවුණේ කෘෂිකර්මාන්තය නිසායි. එතුමාගේ මරණය මේ සභාවට පාඩුවක්. ඊටත් වඩා වයඹ ජනතාවට ඔහුගේ අභාවය පාඩුවක්. අපගේ ශෝකය එතුමාගේ බිරිඳ මංජුලා මහත්මිය ඇතුළු පවුලේ සැමට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිමින් එතුමාගේ අභාවය ගැන ශෝකය පළ කරමි.

සාලින්ද දිසානායක මහතා අවංක දේශපාලකයෙක් යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊපීඩීපී)

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා (එජනිස) - අනුකරණවාදී දේශපාලන චින්තනයෙන් මිදුණු දේශපාලකයෙක් නිසා සාලින්ද දිසානායක මහතා ජාතික ආර්ථිකයට නව ආදායමක් ලබාදෙන්නට කටයුතු කළා. කාබනික ගොවිතැන මෙරට ප්‍රචලිත කිරීමට ඔහු කටයුතු කළා. ඔහු කතාවක් කළා නම් එහි හරයක් තිබුණා. දියුණු දැනුමක් ඔහුට තිබුණා. රටේ ජනතාවට ඔහු ගොඩාක් ආදරය කළා. ප්‍රජාතන්ත්‍රවාදී අවිහිංසාවාදී දේශපාලනයක නිරතවීමට ඔහු කටයුතු කළා. ආණ්ඩු පක්ෂයේ සිටියත් විපක්ෂයේ සිටියත් ඔහු ජනතාවගේ දේශපාලනය අමතක කිරීමට කටයුතු කළේ නැහැ. සාලින්ද මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා (එජාප) - පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ඇමැතිවරයෙක්, කැබිනට් ඇමැතිවරයෙක් ලෙස රටට සේවය කළ දිසානායක මහතා නිහතමානී දේශපාලනඥයෙක් වුණා. කුමාරතුංග මැතිනිය හා මහතා සමඟ කටයුතු කළ එතුමා විජයකුමාරතුංග මහතා සමඟ එම පක්ෂය ආරම්භ කිරීමට කටයුතු කළා. ඔහු මගේ මිත්‍රයෙක් වුණා.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා (එජනිස) - සාලින්ද දිසානායක යනු පවරන ඕනෑම වගකීමක් නිවැරැදිව ඉටුකරන මිනිසෙක්. කෘෂිකර්ම විෂය ක්ෂේත්‍රයට එතුමා වැඩි අවධානයක් යොමුකළා. අසනීප වන මොහොත වනතෙක්ම එතුමා පක්ෂය, දේශපාලනය වෙනුවෙන් ක්‍රියාකාරීව නිරතවුණා. අසනීප පිළිබඳවත් නොසලකා ඔහු පක්ෂය වෙනුවෙන් වැඩ කළා. ඔහු හොඳ ක්‍රීඩකයෙක්. පාපන්දු ක්‍රීඩාවට ඔහු දැඩි ඇල්මක් දැක්වුවා. වරක් ඔහු මා සමඟ කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළා. පොල් පර්යේෂණ පිළිබඳවත් එතුමා විශාල අවධානයක් යොමුකළා. රට වෙනුවෙන් අවංක හැඟීමක් තිබුණ දිසානායක අවංක මිනිසෙක්. පොල් සංවර්ධන, දේශීය වෛද්‍ය ආදී අමාත්‍ය ධුරයන් දැරූ සාලින්ද දිසානායක මහතාගේ හැකියාවන් කිසිම රජයක් විසින් තේරුම් ගත්තේ නැහැ.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා (එජනිස) - සාලින්ද දිසානායක මහතාත් 1994 දී අප සමඟ පාර්ලිමේන්තුවට තේරීපත්වුණා. ඔහු විවිධ රජයන් යටතේ විවිධ අමාත්‍ය ධුර දැරුවා. පාර්ලිමේන්තුව අවට වෙල්යාය කාබනික පොහොර භාවිතයෙන් වගා කරන්නට පටන් ගත්තේ එතුමායි. දේශීය වෛද්‍ය ක්‍රමය, දේශීය පැළෑටි ආදිය පිළිබඳව පුළුල් දැනුමක් එතුමාට තිබුණා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එජනිස) - කොතැන කුමන දේශපාලනයකට සම්බන්ධ වුණත් සාලින්ද දිසානායක මහතා වාමාංශික පැත්තට බරව සිටියා. මහජන පක්ෂය බිහිකිරීමට විජය කුමාරතුංග මහතාට සාලින්ද මහතා දායක වුණා. දේශීයත්වයට ඔහු බොහෝ ආදරය කළා. අපේ පැරණි වී ප්‍රභේදයන් ගෙන එහි අස්වැන්න වැඩි කරමින් දේශීයත්වයට නව අරුතක් ලබාදුන්නා. නිර්භීතකම අතින් ප්‍රතාපවත්භාවයෙන් ජනහිත දිනාගැනීමට ඔහුට හැකිවුණා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී එස්. බී. නාවින්න මහතා (එජාප) - අපේ දේශපාලනයටත් සාලින්ද දිසානායක මහතා බොහෝ උදව් කළා. දේශපාලනයට අමතරව කෘෂිකර්මාන්තය, ක්‍රීඩාව දියුණු කිරීමට විශාල කැපකිරීමක් එතුමා සිදුකළා. ජනතාවගේ හදවත දිනා ගනිමින් සාර්ථක දේශපාලනයක් ඔහු කළා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වේලු කුමාර් මහතා මුලසුනට පැමිණියේය.

නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී සී. බී. රත්නායක මහතා (එජනිස) - අරගලවලට පෙරමුණ ගත් නායකයෙක් විදියට දිසානායක මහතා හඳුනාගන්නට පුළුවන් වුණා. දේශපාලන ජීවිතයේ නිහතමානී චරිතයක් වන ඔහු විවිධ දක්ෂතාවලින් හෙබි චරිතයක් වුණා. මානව හිතවාදී සාලින්ද අපට අද අහිමි වෙලා. ඔහු කළ සේවයට අභිමන් ලබන්නට ගෞරව දෙන්නට අපට පුළුවන්කමක් නැහැ. ඒ දේවල් මේ විශ්වයෙන් ඔහුට ලැබේවි.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී පියංකර ජයරත්න මහතා (එජනිස) - සමස්ත වයඹ පළාතටම සාලින්ද මහතාගේ අභාවය පාඩුවක්. මේ කෘතහස්ත දේශපාලකයා අප අතරින් සමුගත්තද ජනතාවගේ හිත්වලින් ඈත් වෙන්නෙ නැහැ. එතුමාගේ ජීවිතය නැවත අපට ගත නොහැකියි.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද අමරවීර මහතා (එජනිස) - සාලින්ද මහතා පාර්ලිමේන්තුවට එන විට ඔහුගේ දක්ෂතා අපි දැනගෙන හිටියේ නැහැ. ශ්‍රීලනිපය වෙනුවෙන් දැවැන්ත කැපවීමක් කරන්නට ඔහු පියවර ගත්තා. දේශීය වගාව ආරම්භ කළත් නිලධාරින් ඊට සහාය දුන්නේ නැහැ. නමුත් ඔහු උඩුගං බලා යාත්‍රා කරන්නට වුණා. තරමක් දුරට දේශීයත්වය ව්‍යාප්ත කරන්නට ඔහුට හැකිවුණා. ජාතිය ගොඩනැගීමේ ඇමැති, පොල්වගා ඇමැති ලෙස ඔහු කටයුතු කළා. තැඹිලි වතුර පිටරට යවන්න පුළුවන් කියලා ඔහු කීවා. අද එමඟින් විශාල විදේශ විනියමක් ලැබෙනවා. දේශීය ආයුර්වේදය නගාසිටුවීමටත් ඔහු පියවර ගත්තා. දේශපාලන ක්ෂේත්‍රයේ ඉහළම නායකයින් සමඟ ගත කළත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට ඔහු කටයුතු කළා, කීර්තිමත්, ආදර්ශමත් නායකයෙක් විදිහට ඔහු ජනතාව අතර ජනප්‍රියයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා (එජනිස) - ලංකා ඉතිහාසයේ ජනතා විමුක්ති පෙරමුණේ භීෂණ කාලයේ සිදුවූ සිදුවීම්වලට නිර්භීත ලෙස සාලින්ද මහතා මුහුණ දුන්නා. වස විසෙන් තොර ගොවිතැන මෙරට ප්‍රචලිත කිරීමට උනන්දු වුණා. එතුමා පර්යේෂකයෙක්. පොල්වතුරවලට පිටරටවල විශාල ඉල්ලීමක් තිබෙනවා. දේශීය ආයුර්වේදයටද ඔහුගෙන් විශාල මෙහෙවරක් ඉටුවුණා. ජාතියට රටට ඔහුගෙන් නිසි ප්‍රයෝජනය ගන්න හැකිවුණාද කියන ගැටලුව මට තිබෙනවා.

පත්කළ මන්ත්‍රී ආශු මාරසිංහ මහතා (එජාප) - හොඳ මිත්‍රයෙක් විදියට ඔහු අප සමඟ කටයුතු කළා. ජපානයේ පැවැත්වූ උත්සවයකට එතුමා සහභාගි වී ආයුර්වේදය මෙරට ප්‍රචලිත කිරීමට අවශ්‍ය කටයුතු කළා. වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ආයුර්වේද මධ්‍යස්ථානයක් උතුරුමැද ඇරඹුවා.

කාබනික කෘෂිකර්මාන්තය, ආයුර්වේදය මෙරට ප්‍රචලිත කිරීමට බොහෝ උත්සාහ වුණත් ඔහු අපේක්ෂා කළ මට්ටමටම කරගත නොහැකි වුණා. ආයුර්වේද පර්යේෂණ රැසක් කිරීමටද ඔහු පියවර ගත්තා. එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. සාලින්ද මහතාගේ අඩුව පිරවීමට බිරිඳ වන මංජුලා මහත්මියට හැකිවේවි කියා අපි හිතනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (එජනිස) - නුගවෙල හන්දියේ පඬුවස්නුවරදී සාලින්ද දිසානායක මහතා මට ප්‍රථම වරට හමුවුණේ එම දේශපාලන වේදිකාවේදී. කලාවට එතුමා ආදරය කළා. ලැබුණු හැම අමාත්‍ය ධුරයකදීම දේශීයත්වය ඊට බද්ධ කිරීමට ඔහු කටයුතු කළා. පාර්ලිමේන්තු ආයුර්වේද මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සිදුකළේද එතුමා. දේශීයත්වය පිළිබඳව පුළුල් දැනුමක් ඔහුට තිබුණා. මගේත්, ජනාධිපතිතුමාගේත්, ශ්‍රීලනිපයේත් ශෝකය ප්‍රකාශ කරමින් නිවන් සුව පතනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ටී. බී. ඒකනායක මහතා (එජනිස) - විවිධ තර්ජන මධ්‍යයේ වුවත් වාමාංශික දේශපාලනය ඉදිරියට ගෙන යාමට ඔහු පසුබට වුණේ නැහැ. ගොවි සංවිධානවලට ආදර්ශයක් වන ලෙසට දේශීය වගාව ප්‍රචලිත කිරීමට ඔහු පියවර ගත්තා. ආසියාවේ හොඳම ගොවියා බවට පත්වීමේ හැකියාව ඔහුට තිබුණා. ඔහුගේ දේශීයත්වය මෙරට නිලධාරින් තේරුම් ගත්තේ නැහැ.

පත්කළ මන්ත්‍රී තුරෙයි රත්නසිංහම් මහතා මුලසුනට පැමිණියේය.

අනුරාධපුරය දිස්ත්‍රික් මන්ත්‍රී එස්. සී. මුතුකුමාරණ මහතා (එජනිස) - ජාතිවාදී අරගල කාලයේදී උතුරට ගොස් ජාතිභේදය නැති කිරීමට ලොකු උත්සාහයක් ගත් නායකයෙක් විදියට සාලින්ද දිසානායක මහතා හඳුන්වාදීමට හැකියි. කිසියම් වගකීමක් බාරගත්තොත් සාලින්ද මහතා අකුරටම කරන්නට ගිය නිසා තමයි ඔහුගේ ජීවිතය ඔහුට අහිමිවුණේ. ඔහු නායකයන් අතර කැපී පෙනෙන්නට ගියේ නැහැ. නමුත් වැඩක් බාරගත්තොත් අකුරටම කරනවා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා (එජනිස) - සාලින්ද දිසානායක මහතා කියන්නේ ඉතා දක්ෂ මිනිසෙක්. නිහතමානී මිනිසෙක්. සාලින්ද ඇමැතිතුමා දක්ෂ, උගත්, බුද්ධිමත් මිනිසෙක්. කිසිම දවසක තමන්ගේ හැකියාවන් ගැන ලොකුවට කියන කෙනෙක් නෙවෙයි. කාගෙන්වත් වචනයක් අහන්නෙ නැති විදිහට දරුවො දෙන්න හැදුවා. සාලින්ද හම්බ කළේ සල්ලි නොවෙයි මිනිස්සු.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රන්ජිත් සොයිසා මහතා (එජනිස) - සාලින්ද දිසානායක මහතා මම ළඟින්ම ආශ්‍රය කරන්නට පටන් ගත්තේ 2010 න් පසුවයි. එතුමා ප්‍රතිපත්තිගරුක දේශපාලකයෙක්. විනය ගරුක මිනිසෙක්. දක්ෂතාවන් හැකියාවන් රැසකින් සමන්විත මිනිසෙක්. පක්ෂය වෙනුවෙන් කැපවූ මිනිසෙක්.

මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී පද්ම උදය ශාන්ත මහතා (එජනිස) -

ලෝකයේ ඇතැම් අය ඇතැම් දේට දක්ෂයි. සලින්ද දිසානායක යනු සියලු දේට දක්ෂ මිනිසෙක්. ඔහු මව් පොළොවට අසීමිත ලෙස ආදරය කළ මිනිසෙක් ලෙස ඔහු හැඳින්විය හැකියි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා (එජනිස) - සාලින්ද ඇමැතිතුමා එතුමාගෙ පක්ෂය වෙනුවෙන් කැපවී වැඩ කටයුතු කළ අයෙක්. ප්‍රථමයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කටයුතු කළ දිසානායක මහතා රටට අවශ්‍ය අවස්ථාවේදී නිවැරදි තීන්දු තීරණ ගනිමින් 1988 පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වුණා. 1994 මහ මැතිවරණයට ඉදිරිපත් වුණා. සාලින්ද දිසානායක වැනි ඇමැතිවරුන් අගය කළ යුත්තේ ජීවත්ව සිටියදීය. නමුත් අපේ රටේ සම්ප්‍රදාය නොමැතිවිට අගය කිරීමයි. සාලින්ද දිසානායක මහතා නියෝජනය කළ හිරියාල ආසනය එජාප බල කොටුවක්ව තිබුණා. නමුත් ඔහු එය ජයගත්තා.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා - සාලින්ද දිසානායක මහතාගෙන් තමන් නියෝජනය කළ පක්ෂයට ඉටුවූයේ සුවිශේෂී සේවාවක්. එතුමා අපගේ රජයන් යටතේ විවිධ අමාත්‍ය ධුර දැරුවා. එතුමා සෑම ‍මොහොතකම තමන් නියෝජනය කරන මතය වෙනුවෙන් පෙනී සිටියා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා (එජනිස) - මීට දින කිහිපයකට පෙර අප අතර සිටි කෙනෙක් මිය යාම නිසා අපට දැනෙන බලපෑම වැඩියි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය, විජය කුමාරතුංග මහතා, මහජන පක්ෂය සමඟ එතුමා සමීපව කටයුතු කළා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමඟ සමීපව කටයුතු කළා. අපට සමීප සැබෑ මිතුරෙකු වූ දිසානායක මහතාට රට ගැන විශාල හැඟීමක් තිබුණා. ඒ වගේම තම දේශපාලන පක්ෂය වෙනුවෙන්ද කැපවී කටයුතු කළා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා (එජනිස) – සාලින්ද දිසානායක මහතා සියලුදෙනා සමඟ සමීපව කටයුතු කළා. දේශීයත්වය, දේශීය වෙදකම ආදිය පිළිබඳව විශාල හැඟීමක් තිබුණු නායකයෙක්. පක්ෂ විපක්ෂ සියලුදෙනා වෙනුවෙන් අවංකව මැදිහත් වී කටයුතු කරන සාලින්ද දිසානායක මහතා හැමෝටම උදව් කළා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය (එජනිස) - සාලින්ද දිසානායක මහතා විශ්වවිද්‍යාල අවදියේ පටන්ම ක්‍රියාකාරී දේශපාලකයෙක්. විශ්වවිද්‍යාලයේ ශ්‍රීලනිප වෘත්තීය සමිතියක් ආරම්භ කළේ එතුමා. සාලින්ද දිසානායක මහතා තම පක්ෂයේ නායකයා වෙනුවෙන් සෑම මොහොතකම කැපවුණා. එතුමා සතු දැනුමෙන් ප්‍රයෝජන ගත්තාද යන ගැටලුව තිබෙනවා.

දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ශ්‍රියානි විජේවික්‍රම මහතා (එජනිස) - සාලින්ද දිසානායක මහතා රසායන විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක්. නමුත් එතුමාගෙන් මේ රටට වැඩගත්තද යන ගැටලුව තිබෙනවා. ඇත්තටම එතුමා බුද්ධිමතෙක්. සැබෑ ගොවිකම, දේශීයත්වය පිළිබඳ විශාල හැඟීමක් එතුමාට තිබුණා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා (එජනිස) - සාලින්ද දිසානායක මහතා මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කැපවී කටයුතු කළා. අපගේ දේශපාලන ආත්ම ශක්තිය මැන බලන්නේ ආණ්ඩු පක්ෂයේ සිටියදී නෙවෙයි විපක්ෂයේ භූමිකාව ඉටුකරන විටයි.

තමන්ගේ උපරිම ශක්‍යතාවයෙන් තමන්ගේ ජනතාව වෙනුවෙන්.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී තාරක බාලසූරිය මහතා (එජනිස) - සාලින්ද දිසානායක මහතාගෙන් අපට ඉගෙන ගත හැකි දේවල් බොහෝමයි. එතුමා සියලුදෙනා සමඟ සමීපව කටයුතු කළා.

(නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මුලසුනට පැමිණියේය)

නියෝජ්‍ය කතානායකවරයා - අභාවප්‍රාප්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාවේ පිටපතක් පවුලේ ඥාතීන් වෙත යවන ලෙස ලේකම් මණ්ඩලයට නියෝග කරමි.

පාර්ලිමේන්තුව සැප්තැම්බර් 03 වනදා පස්වරු 1.00 ට යළි රැස්වේ.

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර සහ සන්ධ්‍යා කරුණාරත්න

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();