බී.සී.අයි. ආයතනය එයට පිටිවහලක් බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමි කියති
අප ඉදිරියේ තිබෙන විශාල අභියෝගය තමා අපේ ජන කොටස් අතර තිබෙන වැරැදි වැටහීම තුනී කර ඔවුන් එකට එකතු කර ඔවුනොවුන් තේරුම් ගන්නා පරිසරයක් තුළ එකම දේශයක් ගොඩනගන්නේ කෙසේද යන්න යැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණෝ පැවසූහ.
උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ අංක 495, මිනුවන්ගොඩ පාර, බෝලවලාන, මීගමුව පිහිටි 16 වැනි බෙනඩික්ට් කතෝලික උසස් අධ්‍යාපන ආයතනය මඟින් 24 දා සිදුකළ වාර්ෂික උපාධි ප්‍රධානෝත්සවයට සහභාගි වෙමින්ය.
තවදුරටත් අදහස් දැක්වූ කාදිනල් රංජිත් හිමිපාණෝ මෙෙස්ද පැවසූහ. අපේ රෙට් සම්පත්වලින් පොහොසත් හොඳ මානව සම්පතක්, ස්වභාවික සම්පත් තිබෙනවා. මෙලෙස ආශිර්වාද ලද උතුම් රටේ අප ඉපදුනාට අපට මේ රට දියුණු කරන්නට, තේරුම් ගන්නට එකින් එකාව ඉවසන්නට පුරුදුවෙලා නැහැ. එකින් එකාව තේරුම් ගන්නා දේශයක් මේ රටේ තිබෙන සම්පත් දියුණු කර ඔවුනොවුන් සමඟ අත්වැල් බැඳගන්නේ කොෙහාමද කියන එකට පිළිතුරු සෙවීම තමා අධ්‍යාපනයෙන් කළ යුතු වන්නේ.
ඉගෙන ගෙන විභාග පාස් කිරීම පමණක් නොවේ අප ලබාගන්නා විද්‍යාත්මක දැනුම සමඟ දෙන සහතික පත්‍ර පමණක් නෙමේ අධ්‍යාපනය කියන්නේ. වැදගත් වන්නේ ලබාගන්නා අධ්‍යාපනය තුළින් අප රට දියුණු කරන්නේ කොහොමද කියන එකයි. අපි සාමුහිකව වැඩ කරන්නේ කොහොමද කියන එකයි වැදගත් වන්නේ. මම හිතනවා තාමත් අපි ඒ තත්ත්වයට ඇවිල්ලා නැහැ කියලා.
අපි සියලුදෙනා එකතු කරන දේවලට වඩා අපි එකින් එකා වෙන්කරන දේවලට තමා අවධානය දෙන්නේ. ඒ නිසා තමයි අපි ආගම ජාතිය භාෂාව අනුව වෙන්වෙලා කටයුතු කරන්න පුරුදු වෙලා තියෙන්නේ. හැම තිස්සෙම අපි කරන්නේ එක ජාතියක් එක ආගමක්. අනිත් ආගම්වලින්, අනිත් ජාතීන්ගෙන් වෙන්වෙලා සිටීමට උත්සාහ කිරීමයි. අපි එකතු කරන දේවල් කරන්නේ නැතිව වෙන් කරන දේවලට සහයෝගය දක්වනවා.
අද අපේ රටට උදාවෙලා තියන තත්ත්වයට හේතුව එයයි. ඒ නිසා බටහිර රටවල්වලට මේ රටේ ප්‍රශ්නවලට ඇඟිලි ගහන්ඩ ඉඩදෙනවා. එයට අපි ඉඩ දිය යුතු නෑ. මේ රට අපේ රටයි. මේ රටේ ජීවත්වන සිංහල, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි, බෞද්ධ, හින්දු, කතෝලික යන සියලුදෙනා සහෝදරත්වයෙන් ජීවත්වන රටයි. අප බෙදුනාම අනෙක් අය මේකට ඇඟිලි ගැසීම කරන එක වළක්වන්න බැහැ. මේක තමා අද අපේ රටට වෙලා තියෙන වින්නැහිය. මේකෙන් ගොඩඑන්නේ කොෙහාමද කියන එකට ඉක්මන් පිළිතුරු හොයන්න ඕන. එකතු වුණොත් අපිට මේ රට දියුණු කරන්න පුළුවන්. බෙදී ගියොත් අපි සුන්වෙනවා. ඒ නිසා මේ වගේ අධ්‍යාපන ආයතනවලින් අපි ආගම් පදනම් කරගෙන පමණක් හිතන්න හොඳ නැහැ.
ආගම මනුෂ්‍යාව දියුණු කරන්න උදව් වන සංස්ථාවක්. විශේෂයෙන් මනුෂ්‍යාගේ ඇතුලාන්තය දියුණු කරන්න. පොහොසත් කරන්න. මනුෂ්‍යාගේ ඇතුලාන්තය දියුණු වුණේ නැත්නම් ඒ අයගේ ජීවිතෙන් වැඩක් නැහැ. කොච්චර ඉගෙන ගත්තත් කොච්චර තනතුරු ලබාගත්තත් ශීලාචාරකමක් නැත්නම් ජීවිතෙන් වැඩක් නැහැ. ආගමික සංස්ථාව හා රාජ්‍ය සංස්ථාව අතර තිබිය යුතු බැඳීම අපි වර්ධනය කළ යුතුයි. ආගමික ජීවිතය ශක්තිමත් කළ යුතුයි. නැතිව සමාජයක් ගොඩනගන්න බැහැ. අපි ආගම් අදහන්නෝ කියමින් ආගම වෙන විදිහකට පාවිච්චි කරනවා. එකතු කරන්ඩ නෙමේ බෙදන්නට අපි මේ අභියෝගයෙන් ලංකා මාතාව තුළ ජයගත යුතු වෙනවා. ඒ සඳහා ආදරය ඉස්මතු කිරීමේ ක්‍රමවේදයක්. ඵලදායි සාධකයයි.
B.C.I. ආයතනය අපි ආරම්භ කළේ කතෝලික දරුවන්ට අධ්‍යාපනය දෙන අධ්‍යාපන ආයතනයක් ලෙස නෙමේ. සෑම ආගමක්ම අදහන ඕනෑම භාෂාවක් කතා කරන ජාතියකට අයිති දරුවනට අධ්‍යාපනය දීලා. සමාජ ජීවිතයකට පුහුණු කරලා. යම්කිසි ප්‍රතිපත්තිමය ජීවිතයක් ගත කිරීමට පුරුදු කරලා ඒක ප්‍රයෝජනවත් විදිහට රටට එකතු කිරීමට තමා අපි උත්සාහ කරන්නේ.
ඉදිරියේදී මේ ආයතනය තුළ කෘෂිකර්මාන්තය පිළිබඳ පාඨමාලාවක්ද, හිත මනස සුවපත් කරන මනෝ විද්‍යා පාඨමාලාවක්ද ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා යනුවෙන් අගරදගුරු හිමි ප්‍රකාශ කළා. මේ අවස්ථාවට විශේෂ ආරාධිත ලෙස එක්වූ ඉතාලි රදගුරු මණ්ඩලයේ සභාපති අති උතුම් දේවධර්මාචාර්ය බසෙති ගුන්නේරියේ හිමිපාණන්,
අපි මුලදී දැක්ක වීඩියෝ දර්ශනවලින් මේ බිම අතහැරලා දාපු බිමක්ව ලෙස තිබූ අන්දම. එහෙත් අද රදගුරුතුමෙක් මිනිසෙක් මෙම බිම පිළිබඳ සිහිනයක් දැක්කා. ඒ සිහිනය අනුව පාලු බිමක් ලෙස තිබූ මේ බිම අද අලංකාර වත්තක් වගේ. මේ වත්තේ ලස්සන මල් සහ පලතුරුවලින් පෝෂිතයි. ඒ මල් පලතුරු තමයි මේ. ආදරණීය මේ තරුණ තරුණියෝ ඉතාලියෙන් හා යුරෝපයෙන් එන අපට මේ තරුණ ළමයි දකින කොට අපිට ලොකු සන්තෝසයක් ඇති වෙනවා. මොකද එහෙ වගේ නෙමේ මෙහේ ශ්‍රී ලංකාව ළමයින්ගෙන් පිරුණු රටක් ලෙස අපට පෙනෙනවා.
මේ තරුණ තරුණියන්ට මේ ආයතනයෙන් හොඳ ඉගෙනුමක් ලබා අනාගතය සාර්ථක කර ගන්න පුළුවන් වන පරිසරයක් උදාකර දී තිබෙනවා. ආදර තරුණ තරුණියෙනි, ඔබ විවිධ සමාජ කොටස්වලට හා ආගම්වලට අයිති අය. අපිව එකතු කරන්නේ ආගම නෙමේ. අපිව එකතු කරන්නේ ආදරය සහ කරුණාවයි. එයට හොඳම අවකාශය මේ අධ්‍යාපන ආයතනය ලබාදී තිබෙනවා. ඒ සඳහා ආයතනය මෙහෙයවන විදුහල්පති, ආචාර්ය මණ්ඩලය මෙහි නියමු වන ඔබේ අගරදගුරු හිමි වෙත මගේ කෘතඥතාව පිරිනමනවා.
ශිෂ්‍ය ශිෂ්‍යාවන් 145 දෙනෙකුට උපාධි සහතික පිරිනමන ලද අතර ආයතනයේ අධ්‍යක්ෂ ගරු කුයින්ටස් ප්‍රනාන්දු පියතුමාගේ මෙහෙයවීමෙන් ගරු රසික පෙරේරා, පියතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසු දරුවන් හා ආයතනයේ මාධ්‍ය ඒකකය එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
කොච්චිකඩේ විශේෂ ඩී. මිහිඳුකුල, මීගමුව සමූහ - හියුබට් ප්‍රනාන්දු
0 Comments