Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මාලිංගට යළි නායකත්වය

Author(s): 
ෆවුස් මොහොමඩ්

නවසීලන්තයට එරෙහි විස්සයි20 තරගාවලිය

මැතිව්ස්ට-චන්දිමාල්ට-තිසරට තැනක් නෑ

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයන් වන ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේර ඇතුළත් නොවන අතර ලසිත් මාලිංගට යළි නායකත්වය පැවැරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පෙරේදා කටයුතු කළේය.

මාලිංගගේ නායකත්වයෙන් සහ නිරෝෂන් දික්වැල්ලගේ උපනායකත්වයෙන් නම් කළ ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමට පසුගියදා ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදි පන්දු යැවීමේ ඉරියව් පිළිබඳ චෝදනා එල්ලවූ දඟපන්දු යවන අකිල ධනංජය ඇතුළත් වීම කැපී පෙනේ. අකිල ධනංජයට සිය පන්දු යැවීමේ ඉරියව් සම්බන්ධව මේ මස අගදී ඉන්දියාවේ පරීක්ෂණයකට මුහුණදීමට නියමිතව ඇති අතර ඔහුගේ සහභාගීත්වය තීරණය වන්නේ එම පරීක්ෂණයේ ප්‍රතිඵල මතය.

මීට අමතරව අවසන් වරට දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකා විස්සයි20 පිලට ඇතුළත්ව සිටි ක්‍රීඩකයන් 9 දෙනකුට මෙවර කණ්ඩායමේ ස්ථානයක් හිමිවී නැත. සධීර සමරවික්‍රම, ඇන්ජෙලෝ පෙරේරා, ප්‍රියමාල් පෙරේරා, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, අසිත ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩෙසේ එම ක්‍රීඩකයෝ වෙති. ඒ අතරින් සධීර සමරවික්‍රමට සහ පළමුවරට විස්සයි20 කණ්ඩායමට එක්වූ ප්‍රියමාල් පෙරේරාට, අසිත ප්‍රනාන්දුට එකදු තරගයකට හෝ ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවූයේ නැත. එම ක්‍රීඩකයන් 9 දෙනා වෙනුවට ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත්, ශෙහාන් ජයසූරිය, වනිඳු හසරංග, දසුන් ශානක, ළහිරු මධසංඛ, කසුන් රාජිත සහ ළහිරු කුමාර මෙවර කණ්ඩායමට එක්වී සිටිති.

ශෙහාන් ජයසූරිය වසර 2016දී ඉන්දියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගමාලාවෙන් පසුව පළමුවරට විස්සයි20 කණ්ඩායමට ඇතුළත්වන අතර වනිඳු හසරංග සහ ළහිරු මධුසංඛ විස්සයි20 කණ්ඩායමට ඇතුළත් වන්නේ පළමුවරටය. ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත්, දසුන් ශානක, කසුන් රාජිත සහ ළහිරු කුමාර අවසන් වරට විස්සයි20 තරගයකට ක්‍රීඩා කළේ ශ්‍රී ලංකා පිලේ පසුගිය නවසීලන්ත සංචාරයේදීය.

පසුගියදා එක්දින පිටියෙන් සමුගත් ලසිත් මාලිංග ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවන අතර ඔහු මෙවර කණ්ඩායමේ නායකත්වයට නම් කර ඇත්තේ නවසීලන්තය සමග පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් පමණක් බවත්, ඔහුගේ පත් කිරීම විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව දක්වා දීර්ඝ එකක් නොවන බවත් තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතා පවසයි.

ලකුණු අතරේ සිටින පිතිකරුවකු වන හිටපු නායක මැතිව්ස් විස්සයි20 කණ්ඩායමෙන් ඉවත් කිරීම කතාබහට ලක්වූ සිදුවීමකි. එහෙත් ඔහුට නැවත කණ්ඩායමට එක්වීමට නම් පන්දුවෙන් ද දස්කම් පෑමට සිදුවනු ඇතැයි තේරීම් කමිටු ප්‍රධානියාගේ අදහස වී තිබේ. වරින් වර ආබාධවලට ලක්වන මැතිව්ස්ගේ ශාරිරික යෝග්‍යතාව ඒ අනුව අභියෝගයකට ලක්වනු ඇත. හිටපු නායකයන් වන දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරා කණ්ඩායමට ඇතුළත් නොවන්නේ ඔවුන් දස්කම් අතරට නොසිටින බැවිනි.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර විස්සයි20 තරගාවලියේ තරග 3ම පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන අතර එහි පළමු තරගය සැප්තැම්බර් මස 1 වැනිදා පැවැත්වෙයි.

ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායම මෙසේය - ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උපනායක), අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, කසුන් රාජිත, ළහිරු කුමාර, ළහිරු මධුසංඛ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();