Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අගපෙළ පිතිකරුවෝ සටන්කාමී ඉනිමක

නවසීලන්තය කඩුලු 5ක් අතැතිව ලකුණු 138ක් ඉදිරියෙන්

විදෙස් රටකදී ටෙස්ට් ඉනිමක ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ ටොම් ලේතම්ගේ විශිෂ්ට පිතිහරඹයත්, බී.ජේ.වොට්ලින්ගේ සහ කොලින් ඩි ග්‍රැන්ඩෝම්ගේ අගනා සම්බන්ධතාවත් නිසා පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය ඊයේ නිමාවනවිට සිය පළමු ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 382ක් රැස් කිරීමට නවසීලන්ත පිල සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට ලැබූ ලකුණු 244 පසු කර ගිය නවසීලන්ත පිල තවත් කඩුලු 5ක් අතැතිව ලකුණු 138ක් ඉදිරියෙන් පසුවෙයි.

පළමු ටෙස්ට් තරගයෙන් පරාජයට පත්වූ නවසීලන්ත පිලට තරගමාලාව ජයපරාජයෙන් තොරව බේරා ගැනීමට නම් මේ තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වනු ඇත. එහෙත් ඉතිරිව ඇත්තේ අද දිනය පමණි. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ අද උදැසන කාලයේ ලකුණු ලබාගැනීම තවත් වේගවත් කරමින් ලකුණු 200ක් හෝ 250ක පමණ වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කොට ශ්‍රී ලංකා දෙවැනි ඉනිමට අභියෝගයක් ලබා දීමටය.

දිනය නිමාවනවිට වොට්ලින් ලකුණු 81ක් සහ ග්‍රැන්ඩෝම් ලකුණු 83ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර 6 වැනි කඩුල්ලට දෙදෙනා අතර නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 113කි. වොට්ලින් ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කරමින් සිය ඉනිමට පන්දු 208ක් වැය කළ අතර එල්ල කර තිබුණේ හතරේ පහර 4ක් පමණි. එහෙත් වේගවත් පිතිහරඹයක නිරතවූ ග්‍රැන්ඩෝම් ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් හඹා යමින් සිය ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් එක් කිරීමට සමත්වූයේ පන්දු 75කට පමණක් මුහුණ දෙමිනි.

ඊයේ උදෑසන කොළඹට ඇද හැලුණු වර්ෂාව නිසා තරගය පස්වරු 1.40 වනතුරු ආරම්භ කිරීමට නොහැකිවූ අතර පෙර දින ශතකයක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ සිටි ආරම්භක පිතිකරු ටොම් ලේතම් සහ බී.ජේ.වොට්ලින් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 143ක සම්බන්ධතාවක් ගොඩ නැගුවේ පිතිහරඹය වේගවත් කරමිනි.

වර්ෂාව හේතුවෙන් ඊයේ දිනය ඕවර 48කට සීමා වූ අතර ශ්‍රී ලංකා පිලට අභියෝගයක් එල්ල කිරීමේ අරමුණින් ඊයේ සිය පිතිහරඹය වේගවත් කළ නවසීලන්ත පිතිකරුවෝ එම ඕවර 48දී ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන්ගෙන් ලකුණු 186ක් උදුරා ගැනීමට සමත්වූයේ එක් කඩුල්ලක් පමණක් අහිමි කර ගනිමිනි.

මීට පෙර වසර 2014 නොවැම්බරයේ ඩුබායි නුවරදී පාකිස්තානයට එරෙහිව ලකුණු 137ක් ලබමින් විදෙස් රටකදී සිය ටෙස්ට් තරග දිවියේ ඉනිමක ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ ලේතම් ඊයේ ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී දැවී යද්දී ලකුණු 154ක් ලබා සිටියේය. පන්දු 251කට මුහුණ දුන් ලේතම්ගේ ඉනිමට හතරේ පහර 15ක් ඇතුළත් විය.

පෙර දිනයේදි පාදයේ ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න ඊයේ පන්දු රැකීමට නොපැමිණි අතර ඔහුගේ ආබාධ තත්ත්වය බරපතළ නොවන බව කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මැල් මහතා පැවැසීය.

කෙසේවුවත් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම අද ඇරැඹෙන්නේ නම් දිමුත් කරුණාරත්නට ඉනිම ආරම්භ කිරීමට නොහැකි අතර නීතිරිතී අනුව ඔහුට අංක 7 ස්ථානයට ඉහළින් පිති හරඹයට පැමිණීමට නොහැකිය. පෙරදින ඇඟිල්ලේ ආබාධයට ලක්වූ කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල ද ඊයේ පන්දු රැකීමට පැමිණියේ නැත.

තුන්වැනි දිනය වූ පෙරේදා දිවා ආහාරයට පෙර සිය පළමු ඉනිම ආරම්භ කළ නවසීලන්ත පිලේ පළමු කඩුල්ල ලෙස ජීට් රාවල් දිවා ආහාරයෙන් පසුව යවනු ලැබූ ඉනිමේ සිවුවැනි ඕවරයේදී දවාලීමට සමත්වූයේ ඩිල්රුවන් පෙරේරා විසිනි. අනතුරුව මුළු ලකුණු සංඛ්‍යාව 34දී නායක කේන් විලියම්සන් ලකුණු 20ක් ලබා සිටියදී ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට ළහිරු කුමාර සමත්විය.

රොස් ටේලර් සමග එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 50ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත්වූ ටොම් ලේතම් 31 වැනි ඕවරය යැවූ ලසිත් ඇඹුල්දෙණියේ පන්දුවට හතරේ පහරකින් සංග්‍රහ කර සිය අර්ධ ශතකය සම්පූර්ණ කරද්දී නවසීලන්ත ඉනිම දිස්වූයේ කඩුලු 3කට 99ක් ලෙසිනි. පෙරේදා පස්වරු තේ පානයෙන් පසුව නවසීලන්ත පිල සිය පළමු ඉනිම සඳහා කඩුලු 3කට ලකුණු 123ක් ලබා සිටියදී නැවත වර්ෂාවෙන් බාධා ගෙනදුන් අතර පස්වරු 4.20ට තරගය ආරම්භ වී ඩිල්රුවන් යැවූ දෙවැනි ඕවරයේදීම හෙන්රි නිකොල්ස් දැවී යාමෙන් නවසීලන්තයට සිවුවැනි කඩුල්ල අහිමිවිය. අනතුරුව බී.ජේ.වොට්ලින් සමග එක්වූ ලේතම් නවසීලන්ත ඉනිම ගොඩනැගීමේ වගකීම කරපින්නා ගත් අතර දිනය නිමාවනවිට මේ පිතිකරුවා නොදැවී ලකුණු 111ක් රැස් කරමින් නවසීලන්ත ඉනිම කඩුලු 4කට ලකුණු 196ක් දක්වා ඉහළ දැමීමට සමත්විය. ඔහුට අගනා සහයක් ලබා දුන් වොට්ලින් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 25කි. පන්දු 172කදී සම්පූර්ණ වූ ලේතම්ගේ ටෙස්ට් තරග දිවියේ දහවන ශතකයට හතරේ පහර 9ක් ඇතුළත්විය.

තුන්වැනි දිනයේ දක්නට ලැබුණු කැපී පෙනෙන සිදුවීම වූයේ ළහිරු කුමාර යැවූ පන්දුවක් වැදීමෙන් ඇඟිල්ලක් තුවාල වීමෙන් පිටියෙන් ඉවත්වූ කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල වෙනුවට අතිරේක ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් කඩුලු රැකීම සඳහා පැමිණීමය. අතිරේක ක්‍රීඩකයකුට එවැනි අවස්ථාවක් නොලැබුණත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ නීතිරීති අනුව අතිරේක ක්‍රීඩකයාට පන්දු රැකීමට අමතරව කඩුලු රැකීමටත්, පිතිහරඹයේ යෙදීමටත් අවස්ථාව හිමිවෙයි.

තරගයේ දෙවැනි දිනය වූ සිකුරාදා නොදැවී ලකුණු 32ක් ලබා සිටි ධනංජය ද සිල්වා තුන්වැනි දිනයේ උදෑසන සිටම තරමක් වේගයෙන් පන්දුවට පහර දුන් අතර සවුති යැවූ ශ්‍රී ලංකා ඉනිමේ 88 වැනි ඕවරයේ සිවුවැනි පන්දුව තර්ඩ් මෑන් කලාපය හරහා හතරේ සීමාවට යොමු කරමින් සිය ටෙස්ට් තරග දිවියේ සිවුවැනි ශතකය වාර්තා කිරීමට සමත්විය. අර්ධ ශතකය සඳහා පන්දු 85 ක් වැය කළ ධනංජය සිය ඉතිරි ලකුණු පනහට වැය කළේ තවත් පන්දු 53ක් පමණි. ලකුණු 9ක් ලබා සිටියදී පන්දු යැවූ ට්‍රෙන්ට් බෝල්ට් අතට දුන් උඩපන්දුව ගිලිහී යාමෙන් සිය කඩුල්ල බේරාගැනීමට වාසනාවන්ත වූ මේ මැදපෙළ පිතිකරුවා සුරංග ලක්මාල් සමග එක්ව අටවැනි කඩුල්ලට ලකුණු 43ක අනගි සම්බන්ධතාවක් ද ගොඩනැගුවේය. ශතකය වාර්තා කිරිමෙන් තවත් ඕවර දෙකකට පසුව බෝල්ට්ගේම පන්දුවකට ඔහු දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙසිනි. ඒ වනවිට පන්දු 148කට මුහුණ දී සිටි ධනංජයගේ ඉනිමට හතරේ පහර 16ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

අද තරගයේ අවසන් දිනයයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();