‘බුදුපුත් සුරක්ෂා’ හිමිකම් පත්‍ර ප්‍රදානෝත්සවයේ දී ඇමැති අකිල කියයි
මොහොතින් මොහොත ලෝකය වෙනස් වෙමින් දැනුම ශීඝ්‍රයෙන් අලුත් වන බැවින් වසර 20ක් 30ක් ඉදිරියෙන් ඇති අනාගතය දකිමින් අපේ දරුවන් දැනුම හා තාක්ෂණය සමඟ බද්ධ වූ රැකියා සමඟ අලුත් වන අනාගතය වෙත රැගෙන යා යුතු බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඇමැතිවරයා මේ බව පැවසුවේ බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ක්‍රියාත්මක කරන “බුදුපුත් සුරක්ෂා” හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ වැඩසටහනේ වයඹ පළාත් මහෝත්සවය කුලියාපිටිය ජනාධිපති ශිල්ප ශාලිකා ශාලා පරිශ්‍රයේ පසුගියදා (13) පැවැත්වූ අවස්ථාවට සහභාගි වෙමිනි.
එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා, ශ්‍රී ලංකාවේ සියලුම පාසල් හා පිරිවෙන්වල අධ්‍යාපනය ලබන ලක්ෂ 45කට ආසන්න සිසු දරුවන් වෙනුවෙන් සුරක්ෂා රක්ෂණාවරණය ලබාදෙන ආකාරයට සියලු භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් බුදුපුත් සුරක්ෂා රක්ෂණය ලබා දීමට කටයුතු කිරීම ගැන කෘතවේදීත්වය පළ කරන බව සඳහන් කළේය.
දරුවන්ට අනාගතයක් සෑදීම සඳහා කළ හැකි හොඳම ආයෝජනය අධ්‍යාපනය ලබා දීම බවත්, සමබර මනසකින් යුත් දරුවන් ගොඩනැඟීම සඳහා පාසලට පැවරෙන වගකීමටත් වඩා වැඩි වගකීමක් මවුපියන් වෙත පැවරෙන බවත් ඇමැතිවරයා පැවසීය. මවුපියන් දරුවන්ට සමීප වෙමින්, දරුවන් හඳුනාගනිමින්, ඔවුන්ගේ හැසිරීම් කෙරෙහි සැලකිලිමත් වෙමින් තරගකාරී අධ්‍යාපනයක් ලබා දීම වෙනුවට මිනිස්කම් හඳුනන, හොඳ හදවතක් ඇති දරුවන් ගොඩනැඟීමට කැපවිය යුතු බවත් අවධාරණය කළේය.
අධ්‍යාපනයේ ගුණාත්මක බව වැඩිකිරිමට ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක් ම ගන්නා බවත්, උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ විෂයයන් 26ක් හඳුන්වා දීම, පාසල් සිසුන්ට ටැබ් ලබාදීම ඇතුළු අධ්‍යාපනයේ විප්ලවීය ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාවට නංවමින් සිටින බවත් පැවසූ ඇමැතිවරයා, අධ්‍යාපන පද්ධතියට අලුත් හඳුන්වාදීම් සිදුකරනවිට, ඇතැමුන් අනවබෝධයෙන් ඒවාට පහර ගසන බවත් පැවසීය.
බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, රාජ්‍ය අමාත්‍ය ජේ. සී අලවතුවල, පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතවරු රැසක් ද, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්, ඇතුළු නිලධාරීහු රැසක් ද මේ අවස්ථාවට එක්වූහ.

0 Comments