Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අපේ ජන ජීවිතවල තීරක බලවේගය විුත් නාලිකාවල පුවත්පත් කියවන්නන් වෙලා

මෙය මාධ්‍ය සදාචාරයටත් පටහැනියි

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය

අද අපේ ජන ජීවිත වල පැවැත්ම, මතවාද, ආකල්ප පිළිබඳ තීරක බලවේගය බවට පත්ව ඇත්තේ විද්‍යුත් නාලිකා ඔස්සේ දිනපතා උදෑසනම දිනපතා පුවත්පත් ශීර්ෂ පාඨ ප්‍රවෘත්ති ඉදිරිපත් කන්නන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මෙපමණක් නොව පුවත්පත් කතුවැකිය මඟින් ඉදිරිපත් කරන අවධානය යොමු කරවන කරුණු කාරණාවලට පවා සිය මතයන් විග්‍රහයන් ඉදිරිපත් කිරීමට නොපැකිළෙන බවත් මෙහි බැරෑරුම් කරුණ වන්නේ එම විග්‍රහයන් සිය පෞද්ගලික අදහස් උදහස් උපුටා දක්වමින් ම අදහස් උදහස් ජනගත කිරීම බවත් මෙය මාධ්‍ය සදාචාරය ඉක්මවා යන්නක් බවත් දේශප්‍රිය මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මැතිවරණ කොමිෂන් සභා සභාපතිවරයා මේ බව පැවසුවේ කර්තෘ සංසද අනුදැනුමෙන් ප්‍රධාන පුවත්පත් කතුවරුන් සමඟ පසුගිය 15වැනි දා මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය.

මෙතෙක් මේ රටේ මැතිවරණ ගණනාවක් පැවැතිය ද තවමත් ජනතාව මැතිවරණ පිළිබඳ නීති රීති මාධ්‍ය උපමාන පිළිබඳ දැනුමෙන් ශක්තිමත් නොවන බවත් මෙහිදී මාධ්‍යයට කළ හැකි විශාල මෙහෙවරක් වන්නේ තම පුවත්පත් හරහා මැතිවරණ ක්‍රමවේදය පිළිබඳ සර්ව සම්පූර්ණ දැනුමක් ලබාදීමට පිටුවක් වෙන් කිරීම බවත් මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දුන්නේය.

සරලම කරුණක් පිළිබඳ අවධානය යොමු කරමින් සංශෝධනය විය යුතු මැතිවරණ නීතියක් හෙතෙම පෙන්වා දුන්නේය. ඡන්ද අයිතිය වයස අවුරුදු දහඅට සිට ලෙස පෙන්වා දුන්න ද එහි එම වගන්තිය සකසා ඇත්තේ වයස අවුරුදු දහඅට සපිරූ අයකු ඡන්දදායක ලෙසයි. එහිදී ඔහු හෝ ඇයට ඡන්දය භාවිතා කරන අවස්ථාව උදා වන විට අවුරුදු දහනවය ඉක්මවා හෝ අවුරුදු විස්සට පා තබා ඇති බැවින් ඡන්දය භාවිතා කළ හැකි වයස පිළිබඳ පැහැදිලි සඳහනක් අවශ්‍ය බව දේශප්‍රිය මහතා පෙන්වා දුන්නේය.

2019 වසරට නියමිත මැතිවරණ ‍පිළිබඳ අදහස් දැක්වූ දේශප්‍රිය මහතා කිසිදු ඡන්ද විමසීමක් එය පැවැත්වීමට නියමිත කාලසීමාවේ නොපවත්වා කල් දැමීම යහපත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට පටහැනි බැවින් එම මැතිවරණ ක‍ඩිනමින් පැවැත්වීමට සුදුසු වාතාවරණ සකස් කළ යුතු බව පෙන්වා දුන්නේය.

මැතිවරණ ප්‍රමාදවීම පිළිබඳ දේශපාලන පක්ෂ මැතිවරණ නිරීක්ෂක සංවිධාන පුරවැසි සංවිධාන සහ පොදු ජනතාව දොස් පවරන්නේ මැතිවරණ කොමිෂන් සභාවට බවත් එහෙත් තමන්ට අනුමතය ලබා දෙන ඕනෑම අවස්ථාවක මැතිවරණ පැවැත්වීමට සූදානම් බවත් මැතිවරණ ‍එකක් හෝ දෙකක් නොව ඊටත් වඩා වුවද පැවැත්වීමට තමන්ට හැකියාව ඇති බවත් පැවසීය.

මේ වසරේ නිල කාලය අවසන් පළාත් සභා කීපයක මැතිවරණ පැවැත්විය යුතු වුවද පළාත් සභා පනතට වරින් වර සංශෝධන එක්වීමෙන් එම සංශෝධන පිළිබඳ වාර්තා ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය හරහා මැතිවරණය පැවැත්වීම වරින් වර කල් ගියද 2019 ඔක්තෝබර් මාසයට පෙර මැතිවරණය පැවැත්විය යුතුව ඇති බවද මැතිවරණ කොමිෂන් සභාපතිවරයා ප්‍රකාශ කළේය. ඒ සඳහා ව්‍යවස්ථානුකූලවත් ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් එම මැතිවරණය පැවැත්වීමට අවස්ථාව උදා කර ගැනීමේ හැකියාව තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එම මැතිවරණ ඔක‍්තෝබර් මස 15 වැනිදාට පෙර පැවැත්විය යුතු බවත් ජනපතිවරණය නොවැම්බර් මස 15 වැනිදාත් දෙසැම්බර් මස 7වැනි දාත් අතර සෙනසුරාදා දිනයක පැවැත්විය යුතු බවත් අක්‍රමිකතාවයන්ගෙන් තොර සාධාරණ මැතිවරණ පැවැත්වීමට තමන්ට හැකියාව ඇති බවත් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ඒ අනුව ඉදිරි මාස කිහිපයේ දී හෝ මාධ්‍ය ආයතන සිය ප්‍රවෘත්ති දේශපාලන ක්‍රියා සම්බන්ධ වැඩසටහන් ප්‍රචාරයේදී නිවැරැදි සමතුලිත අපක්ෂපාතී තොරතුරු ලබාදිය යුතු යැයිද දේශපාලන පක්ෂයකට ස්වාධීන කණ්ඩායමකට හෝ අපේක්ෂකයකුට අසාධාරණයක් නොවන පරිදි මෙන්ම විශේෂ වාසියක් ඇති නොවන පරිදි ඉඩ ප්‍රස්ථා ලබාදිය යුතු යැයිද පුවත්පත් කතුවැකියන් පිළිබඳ විද්‍යුත් මාධ්‍ය අදහස් දැක්වීමේ දී ව්‍යාකූල මෙන්ම පක්ෂපාතී විය හැකි බැවින් කතුවැකි සම්බන්ධව අදහස් පළ කිරීමෙන් වැළකීම වඩා යෝග්‍ය යැයිද කවර නම් අවස්ථාවක අගතියට පත් වන පාර්ශ්වයනට හෝ එම මතයට විරුද්ධව ඉදිරිපත් කරන කරුණුද පළ කිරීමට අවස්ථාව ලබාදිය යුතු යැයිද පෙන්වා දුන්නේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();