Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රඹෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මැරයන් ලවා තර්ජනය කරනවා

මිහින්තලා රජමහා විහාරාධිපති

පුරාවිද්‍යා බිමක් ලෙස නම්කර තිබෙන මිහින්තලය කළුදිය පොකුණ තපෝවනයට අනවසරෙන් ඇතුළු වී මංගල උත්සවයක ඡායාරූප ගන්නා විටදී එයට විරෝධය එල්ල කළ මුරකරුවකු හට පහරදී තුවාල සිදු කළ ඡායාරූප ශිල්පියා වෙනුවෙන් පෙනී සිටි උතුරු මැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු හා රඹෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා යැයි කියන පුද්ගලයකු මැරවරයන් පිරිසක් ලවා තම වහන්සේටත් පුරා විද්‍යා නිලධාරීන්ටත් බලපෑම් සිදුකරන බවත් මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ පවසති.

උන් වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ මිහින්තලය රජ මහා විහාරයේ මැදමළුවේදි පෙරේදා (13) මාධ්‍ය හමුවක් කැඳවමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ විහාරාධිපති හිමි.

වර්තමානයේ ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැතිතුමාගේ මැදිහත්වීමෙන් රජ දවසින් පස්සේ යෝධ සංවර්ධන කටයුත්තකට රජයේ පූර්ණ අනුග්‍රහය ලැබිලා තියෙනවා. දිවා රෑ නොතකා මේ සේවක සේවිකාවන් සියලු දෙනාම අඛණ්ඩව කටයුතු කරනවා.

රටේ නීතියක් තියෙනවා. අපි හැමෝම ඒ නීතියට යටත්. එක් එක් ආයතන වලට අණපනත් නීති-රීති තියෙනවා. ඒ අනුව අපි කටයුතු කළ යුතුයි. බලය තියෙන දේශපාලඥයින් වගේම නැති දේශපාලඥයින් නීතිය අතට ගන්නා ස්වභාවයක් තියෙනවා. මේ පුරාවිද්‍යා භූමි වල ජායාරූප ගැනීම හෝ වීඩියෝ දර්ශන ලබා ගැනීමක් කරනවා නම් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් ගේ අනුමැතිය ලබාගත යුතුයි. පුරාවිද්‍යා නිලධාරීන් දැනුම්වත් කළ යුතුයි.

මාධ්‍ය ආයතන මගින් වූණත් අවසර ලබාගෙනයි අවශ්‍ය කටයුතු සිදුකරන්නේ. පසුගියදා (12) මිහින්තලය පුදබිමේ මංගල ජායාරූප ගන්න ඇවිත් පූජා භූමි වල තැනක් නොතැනක් නැතිව ගන්නවා. විවිධ අයුරින් ඒ ඡායාරූප හදන්න පුලූවන්. චෛත්‍යය උඩ බුද්ධ ප්‍රතිමා වල අතේ සිරසේ ඉන්න ලෙස ජායාරූප සකස් කරන්න පුළුවන්.

කළුදිය පොකුණ අසල අවසර නොමැතිව මංගල ඡායාරූප ගන්නා අවස්ථාවක යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණා. ඔවුන් අනවසරයෙන් ජායාරූප ගත් නිසා මුරකරු කැමරාවේ තිබූ ඡායාරූප මකා දමා තියෙනවා. ඉන්පසු මුරකරුට ජායාරූප ශිල්පියා විසින් පහරදී තිබෙනවා. මුරකරු අනුරාධපුර රෝහලේ. උතුරු මැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් මට දුරකථන ඇමතුමක් දීලා අහනවා රෝහල් ගතවෙලා ඉන්න මුරකරුගේ ටිකට් කපා ගන්නම් හාමුදුරුවන්ට ගැටලුවක් නෑ නේද කියලා. මේක පහර කෑමට ලක්වුණු මුරකරුවාට වුණු අසාධාරණයක් රාජකාරියට බාධා කිරීමක්. ඒ නිසා මම කිව්වා මට බලපෑමක් කරන්න වුවමනාවක් නෑ. වරදක් කළා නම් නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියලා.

මංගල කටයුත්තකට ඡායාරූප ගන්න අවසරයකින් තොරව ගිය අත්අඩංගුවේ සිටින ඡායාරූප ශිල්පියා නිදහස් කර ගැනීමට මොහු ඇතුළු පිරිසක් ලොකු උත්සාහයක් ගන්නවා. (12) දින දාමරිකයින් යැයි සිතිය හැකි පිරිසක් තුවාල ලැබු පුරාවිද්‍යා සේවකයාට තර්ජනය කරලා. මේ අය මේ විදිහට කටයුතු කිරීම රජය කරගෙන යන වැඩ කටයුතු වලට අකුල් හෙලීමක්. බාධා කිරීමක්.

රඹෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කියමින් මිහින්තලය පුරාවිද්‍යා කාර්යාලයට ඇමැතුම් දීලා පැමිණිල්ල අස්කර ගන්නවද නැත්නම් රෝහලේ ඉන්න කෙනාට ප්‍රශ්න වෙන්න පුළුවන් කියලා තවත් කෙනෙකු තර්ජන ගර්ජන කරනවා. පුරාවිද්‍යා අණපනත් වල නෛතික රාමුව තුළ ඉඳන් තමයි මේ සියලු කටයුතු කාරණා කරන්නේ. ඒ නිසා පුරාවිද්‍යා උපදෙස් මත උපදේශක සභා වල උපදෙස් මත තම මේ කටයුතු කරන්නේ.මෙම කටයුතු කිරීමට ඇයි බාධා කරන්නේ. ඒ නිසා මේ බාධා කරන මන්ත්‍රී සභාපති ගැන විශේෂයෙන් ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු කරලා කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා යනුවෙන් උන්වහන්සේ පැවසුහ.

අනුරාධපුර මධ්‍යම විශේෂ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();