හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ වත්මන් ගැටලු පිළිබඳ සංවාදයකට එක් වෙමින් කියයි
අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරය සහ ඒ ඔස්සේ රට තුළ නිර්මාණය වූ ගැටලු සඳහා කාලෝචිත විසඳුම් පිළිබඳ කෘතහස්ත දේශපාලනඥයකු වන හිටපු ආණ්ඩුකාර මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ වත්මන් සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා සමඟ කරන ලද සංවාදය,
පාස්කු ප්‍රහාරයෙන් පසු රට තුළ නිර්මාණය වූ වාතාවරණය ඔබ දකින්නේ කෙසේද?
පාස්කු ප්‍රහාරයෙන් පසුව ලංකා දේශපාලන ඉතිහාසයේ එක්තරා තීරණාත්මක කඩඉමක් සනිටුහන් වුණා. ඉතා දිගු ඉතිහාසයක් පුරා සිංහල ජාතිය සමඟ බෙහෙවින් සමීපව මිත්‍රශීලීව සුහදව වාණිජ කටයුතුවල යෙදුණු අහිංසක ප්‍රජාවකගෙන් මෙවන් ප්‍රහාරයක් අප කිසි විටෙකත් අපේක්ෂා කළේ නැහැ. මෙවැනි ව්‍යාකූල සහගත ගැටලුවලට අප මෙයට පෙරත් අවස්ථා කිහිපයකම මුහුණ දුන්නා. 1971 අරගලය 88 - 89 ඇති වූ තත්ත්වය සේම වසර තිස් පහක් පමණ දිග්ගැස්සුණු යුද්ධය අප මුහුණ පෑ මෙවැනිම තත්ත්වයන් වුවත් මෙය ඒවායින් වෙනස් වන්නේ මෙහි හැඩය සහ මුහුණුවර ඊට සම්පූර්ණයෙන්ම වෙනස් නිසා. තිස් අවුරුදු යුද්ධය අවසානයේ අප සම්පූර්ණයෙන්ම පාහේ නිදහස් මනසකින් සහ සැහැල්ලු හැඟීමකින් ආරක්ෂාව පිළිබඳ අවධානයෙන් සම්පූර්ණයෙන්ම මිදුණු නිද්‍රාශීලී යුගයක් පසු කළා. නමුත් අප නිදාගෙන සිට තිබෙන්නේ ගිනි කන්දක් මත. මතුපිට ස්වරූපයට වඩා ඇතුළාන්තය සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ වෙනස පිළිබඳ ඉඟියක්වත් නැතිව ගත කළ නිසංසල කාලවකවානුව නිමාකර මේ ඇති වූ හදිසි තත්ත්වය සමස්ත සමාජයම වික්ෂිප්ත කර දැමුවා. මේ වන විට අප කෙමෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටියත් අපට පූර්ණ වශයෙන් නැවත අප සිටි තැනට පැමිණෙන්නට පහසු වන්නේ නැහැ.
යුද්ධයෙන් පසු ගත වූ දශකයක කාලය තුළ මේ තත්ත්වයට පසුබිම නිර්මාණය වූ බව ද ඔබ අදහස් කරන්නේ?
මේක ත්‍රස්තවාදයට එහා ගිය අන්තවාදයක්. ඕනෑම දෙයක අන්තගාමීවීම විනාශකාරී බලපෑම් ඇති කරන දෙයක්. මෙය ශ්‍රී ලංකාව තුළින් බිහි වූ හෝ නිර්මාණය වූවක් නොවෙයි. ලෝක අන්තවාදය සමඟ අත්වැල් බැඳගත් ක්‍රියාදාමයක තවත් එක් අවස්ථාවක්. බලය හෝ භූමිය උදෙසා සිදු කරන අරගලයක්. යම් කිසි රාමුවක් තුළ ක්‍රියාත්මක වන හැඩයක් දැකිය හැකි දෙයක් වන නමුත් මෙවැනි අන්තගාමී ගැටුම්වල සීමා නිර්ණය කළ නොහැකියි. අපට බලපෑම් කළ මේ වහාබ් අන්තවාදය ලොව පුරා පැතිර ගිය ආගමික අන්තවාදයක කොටසක්. රටක් වශයෙන් අප ගත කළ අනාරක්ෂිත නිද්‍රාශීලී පිළිවෙත් තුළ එය පෝෂණය වී වැඩි දියුණු වුණා. මෙය ලෝකයටම බලපාන එක මූලයකින් බිහි වූ එක් අංකුරයක් පමණයි. එය වර්ධනය වන්නට අප අනුගමනය කළ යම් යම් ක්‍රියාකලාපයන් ඉවහල් වී තිබෙනවා.
නව ලිබරල්වාදය සමඟ කැටි වූ අසීමාන්තික නිදහස තුළ අන්තවාදී ත්‍රස්තවාදයට වැඩෙන්නට අවශ්‍ය පෝෂක හිමි වුණා. ආගමික මතවාද සහ කලක් පුරා හුරුවෙමින් පැමිණි ඇදහිලි විශ්වාස දෙදරා යෑම බලාපොරොත්තු නොවූ, ඒවා දරාගත නොහැකි වූ පිරිස් මෙහි දී විනාශය පිළිතුරක් බවට පත් කර ගත්තා. ඒ ඔස්සේ පාස්කු ප්‍රහාරය වැනි විනාශකාරී තත්ත්වයන් නිර්මාණය වුණා. ඇතැම් රටවල් සිය අනන්‍යතාව පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වමින් වෙනත් ඕනෑම ප්‍රජාවකට තම රටවල් තුළ ජීවත්වීමේ දී එම අනන්‍යතාවන්ට අනුගතව ජීවත්වීමට නිදහස ලබා දී තිබුණත් අපේ රට තුළ එක් එක් ජාතීන්ට තමන්ට අවශ්‍ය පරිදි අනාගතයක් ගොඩනඟා ගැනීමේ නිදහස තිබෙනවා.
මේ වන විට රටේ ඇතිවී ඇති තත්ත්වයට ගත හැකි දේශපාලන විසඳුම් මොනවාද?
මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙන්නට ශක්තිමත් රජයක් අවශ්‍යයි. අපේ රජයන් දුර්වල වන්නට හේතුව පවතින මැතිවරණ ක්‍රමය. ජේ. ආර්. ජයවර්ධන මහතා අතිශයින්ම ශක්තිමත් විධායක ජනාධිපති ක්‍රමයක් නිර්මාණය කළත් ආණ්ඩුවක් හැදීමේදී එහි බලය එතරම් ශක්තිමත් වුණේ නැහැ. පළාත් සභාවලට බලය විමධ්‍යගත කිරීමේ දී ඇති වන ලිහිල්භාවය සහ ආණ්ඩුවේ යම් යම් දුර්වලතා නැති කරන්නට ශක්තිමත් ජනාධිපතිවරයෙක් අවශ්‍ය වුණා. ඒ අඩුව පුරවන්නටයි මේ පියවර ගත්තේ. නමුත් මේ වන විටත් තව දුරටත් ආණ්ඩු දුර්වල තත්ත්වයක පවතිනවා. කුමන පක්ෂයක් කවර ආකාරයක විශාල ජයග්‍රහණයක් ලැබුවත් සුළු ජනකොටස්වල සහයෝගය නැතිව ආණ්ඩු පිහිටුවීමට හැකියාවක් නැති ගැටලුවක් තිබෙනවා. ඒක එදා මෙදා තුර සිදු වූ සත්‍යයක්. බලය රැක ගැනීමට ඇති වුවමනාව නිසා ගැටලු සහගත තත්ත්වයන් නිර්මාණයවීමේ දී පවා ප්‍රශ්නවලට නිසි පිළිතුරු දෙන්නට කිසිවකුට හැකියාවක් නැහැ. මෙය ස්ථිරසාර විසඳුම් අවශ්‍ය කාරණාවක්. අන්තවාදයට එරෙහිව මතවාදී අරගලයක් අවශ්‍යයි. ආයුධවලින් නොව දෘෂ්ටිමය පරාජයකට ලක් කළ යුතුයි.
මතවාදී අරගලයක් ආරම්භ කළ හැක්කේ කොහොමද?
උගතුන්, වියතුන්, බුද්ධිමතුන් ඇතුළු සියලු විද්වතුන් එක්රැස් වූ විවෘත වේදිකාවක් සකස් විය යුතුයි. වාද විවාද තුළින් බුද්ධි කලම්බනයක් ඇති කළ යුතුයි. තර්ක විතර්ක තුළින් නිවැරැදි මතය සොයාගත යුතුයි. ඒ තුළින් අදහස් ජාලාවක් සමාජය වෙත ගලා යාවි. එයින් සමාජය තුළ යම්කිසි වෙනස් මතයක් නිර්මාණය වේවි. ඒ ඔස්සේ ඉදිරියට යෑම මඟින් මේ තත්ත්වය වෙනස් කළ හැකියි.
අන්තවාදයට හිස නොනමන එයට කැමැත්තක් නොදක්වන සාමාන්‍ය මධ්‍යස්ත ජනතාව අවදි කළ යුතුයි. මේ ප්‍රශ්නය තුළ සියලු ජාතීන් පීඩාවට පත්වෙනවා. ඔවුන්ව මේ මතවාද සමඟ ඉදිරියට ගෙන යා යුතුයි. එසේම නීතිමය තත්ත්වයන් ප්‍රතිසංස්කරණය කර නීතිය තුළ ඇති සිදුරු වසා දැමිය යුතුයි.
තව දුරටත් සෙලවෙන දත් වැනි ආණ්ඩු වෙනුවට ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කළ යුතුයි. ත්‍රස්තවාදී අන්තවාදය පරාජය කිරීම සඳහා ලෝකය තුළ ක්‍රියාත්මක වන බලවේග සමඟ අප සහයෝගයෙන් ක්‍රියා කළ යුතුයි. රුසියාවේ ජනපති පුටින් පවසා තිබෙනවා ‘ඕනෑම පුද්ගලයකුට රුසියාවේ ජීවත්විය හැකි වුවත් ඔහු එතැනදී රුසියන් නීතියට අනුගත විය යුතු බවට.‘ එවැනි අනන්‍යතාවක් අපත් ගොඩනඟා ගත යුතුයි.
සංවාද සටහන දිල්රූ ජයසේකර

0 Comments