හිටපු ජනපතිනි
මේ රජය පසුගිය අවුරුදු හතර තුළ හඳුන්වා දුන් සංවර්ධන වැඩසටහන් අතරින් ගම්පෙරළිය වැඩසටහන තමා අගය කරන බවත් එමගින් ගම් ප්‍රදේශවල දියුණුවට විශාල වැඩකොටසක් කෙරී ඇති බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවැසුවාය.
කුමාරතුංග මහත්මිය ඒ බව පැවැසුවේ ගම්පෙරළිය වැඩසටහන යටතේ අත්තනගල්ලේ අඩු ආදායම්ලාභීන්ගේ නිවාසවල පියසි අලුත්වැඩියාවට හා වෙනත් පිළිසකර කටයුතු සඳහා මූල්‍යමය ආධාර පිරිනැමීම නිමිත්තෙන් (12 දා) අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති ජනහමුව අමතමිනි.
මෙහිදී අඩුආදායම්ලාභීන් 208 දෙනෙකුට රුපියල් ලක්ෂයේ සිට රු.ලක්ෂ එකහමාර දක්වා වූ මූල්‍යාධාර පිරිනැමිණි. අදාළ චෙක්පත් ප්‍රදානය කුමාරතුංග මහත්මිය අතින් සිදුවිය. තවදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනිය මෙසේද පැවැසුවාය.
අඩු ආදායම් ලබන තමුන්නාන්සේලා වෙනුවෙන් ගම්පෙරළිය වැඩසටහනින් වෙන් කළ නිවාස ආධාර බෙදාදීමට මෙසේ මට අවස්ථාව ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. ප්‍රදේශයේ ගම්වල අඩුපාඩු බොහෝමයක් දැන් සම්පූර්ණ වී තිබෙනවා. ගමේ පාරවල්, පාසල් ක්‍රීඩාපිටි වැව් අමුණු පූජනීය ස්ථාන සංවර්ධනය කර තිබෙනවා. මෙවර ගම්පෙරළියෙන් අත්තනගල්ලට රුපියල් මිලියන 300 ක් ලැබී තිබෙනවා. අද මෙහිදී අඩුආදායම් ලබන 208 දෙනෙකුට නිවාස අලුත්වැඩියාව සඳහා රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ එකහමාරක් දක්වා මුදල් ආධාර ලැබෙනවා යැයිද කී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, පසුගිය වසර හතර තුළ ප්‍රදේශයේ අඩුආදායම්ලාභීන්ගේ නිවාස 115 ක් අලුත්වැඩියා කර ඇති බවද පැවැසුවාය.
ගෙවී ගිය සිව් වසර තුළ මෙම රජය හඳුන්වා දුන් සංවර්ධන වැඩසටහන් අතරින් ගම්පෙරළිය වැඩසටහන තමා අගය කරන බවද කුමාරතුංග මහත්මිය පැවසුවාය.
මගේ විරුද්ධවාදීන් අහනවා “චන්ද්‍රිකා අත්තනගල්ලට මොනවාද කළේ” කියලා. මම බෝඩ් ලෑලි කටවුට් ආදිය ගැහුවේ නෑ. තරුණ තරුණියන්ට දස දහස් ගණනින් රැකියා සැපයූ ආයෝජන ප්‍රවර්ධන කලාප දෙකක් අත්තනගල්ලේ ඇති කළා. පාසල්වලට ගොඩනැගිලි ඉදිකර දුන්නා. දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් වේයන්ගොඩ ඇති කළා. ග්‍රාමීය මාර්ග, ජලසම්පාදන, වාරි කර්මාන්ත වැඩි දියුණු කළා. බණ්ඩාරනායකලා තරම් අත්තනගල්ලට සේවය කරපු වෙනත් අය නැතැයි ද කී කුමාරතුංග මහත්මිය, ඔවුන් මහජන මුදල් අවභාවිත නොකළ බවද පැවසුවාය.
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර සැලසුම් අධ්‍යක්ෂිකා ලංකා වෙදගෙදර මහත්මිය, නිවාස ප්‍රතිලාභ හිමිකම් ලැබීමට නියමිත ප්‍රතිලාභීන් 422 කින්, 208 දෙනෙකුට අද රු.ලක්ෂ 1 සිට 1 ½ දක්වා මුදල් චෙක්පත් ප්‍රදානය කරන බවද මෙම නිවාසවල ප්‍රගතිය පසුවිපරමකට ලක්කරන බැවින් මුදල් අපතේ නොයවන ලෙස ඉල්ලා සිටියාය.
ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් වන දිනේෂ් ඉන්දික රාජපක්ෂ, ප්‍රගීත් අනුරාධ ගුණතිලක, සරත් වීරසිංහ, යමුනා රංජනී සමරතුංග, ආර්. එම්. සීලවතී මැණිකේ, සංජීව ජයතිලක මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජයවීර සුගතපාල - අත්තනගල්ල විශේෂ
ඡායාරූප - අත්තනගල්ල විශේෂ

0 Comments