කවුරුන් මොනවා කිව්වත් සියලු ජාතීන්ගේ අනන්‍යතාව ආරක්ෂාවන අයුරින් කටයුතු කරන බවත්, ජනාධිපතිතුමන්ගෙන් හා අග්‍රාමාත්‍යතුමන්ගෙන් ලැබුණු ආශිර්වාදය සහ සහයෝගය, මත ගතවූ වසර පහ තුළ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මෙතෙක් සිදුනොවූ විප්ලවයක් සිදුකරන්නට තමන්ට හැකි වූ බවත් අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
අරුන් ප්‍රශාන්ත් පදනමේ සභාපති එම් මාණික්කවාසගම් මහතා විසින් සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ආරම්භ කරන ලද වත්තල, හුණුපිටියේ පිහිටි අරුන් මාණික්කවාසගම් හින්දු ජාතික පාසල් පරිශ්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රදානය කිරීම සහ ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් ලබාදෙනු ලබන සිව්මහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීම ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා,සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගේ ආරාධනයෙන්, අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (12) දා සිදුකෙරුණු අතර උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.
“අධ්‍යාපන ඇමැතිකම මට භාරදුන්නට පස්සෙ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මාව ගෙන්නල කිව්වා දෙමළ භාෂාවෙන් අධ්‍යාපන කටයුතු කරන පාසල් සම්බන්ධ ව කොළඹ ලොකු ප්‍රශ්නයක් තියෙන බව. ඒ නිසා ඒ පාසල් දියුණු කරන්න කටයුතු කරන්න කියලා, ඒ නිසා අපි තවත් පාසල් කීපයක්ම ආරම්භ කරන්න මේ වන විට කටයුතු කරමින් යනවා යැයි සඳහන් කළේ ය. ඉදිරියේ දී අලුතින් ගොඩනගන්නේ භාෂා තුනෙන් ම අධයාපනය ලැබිය හැකි පාසල් බව ද, පසුගිය දා කුරුණෑගල ආරම්භ කළ විශ්වෝදා ජාතික පාසල ද ඒ අයුරින් ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.
මෙහි දී තවදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා, “තමුන්නාන්සේලා ගිහින් බලන්න, හිතවත් අය ඇති අහල බලන්න. පාසල්වලට කොච්චර මුදල් දුන්න ද කියලා. අපි පහුගිය අවුරුදු පහ තුළ උතුරද, දකුණ ද බටහිර ද, නැගෙනහිර ද භේදයකින් තොරව, ඉතිහාසයේ පළමුවැනි වතාවට මෙච්චර මේ ව්‍යාපෘති ගාණක් එකවර ක්‍රියාත්මක වෙන්නෙ. තමුන්නාන්සේලා ගිහින් බලන්න යාපනයට, මඩකලපුවට, ඉතිහාසයේ පළමුවැනි වතාවට අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ තරම් ව්‍යාපෘති ගණනාවක් එකවර ක්‍රියාත්මක වෙන්නේ. මුළු රට ම විශාල සංවර්ධනයක් කරා ගෙන ගිය ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ මගේ අමාත්‍යාංශය යටතේ. කවුරු මොනවා කිව්වත් සියලු ම ජාතීන්ගේ අනන්‍යතාව ආරක්ෂා වෙන විදියට අපි කටයුතුකරල තියෙනවා” යැයි ද පැවසීය.
මෙම පාසල් පරිශ්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා දීමත් සමඟ ඉදිරියේදී මෙම පාසලේ සියලු පරිපාලන කටයුතු කොළඹ, කොටහේන විවේකානන්ද ජාතික පාසලට අනුබද්ධ ව, අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සිදුකෙරේ. මෙම පාසල් පරිශ්‍රයට නව සිව්මහල් ගොඩනැගිල්ලක් ලබාදීම සඳහා සම්පූර්ණ මුල්‍ය පිරිවැය වෙන්කොට ඇත්තේ ජාතික ඒකාබද්ධතා,රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය විසිනි.
පක්ෂ පාට භේදයකින් තොරව හැම ජාතියකට ම, හැම ආගමකට ම ඔවුන්ගේ ගරුත්වය සහ අනන්‍යතාව ආරක්ෂා කර දෙන්නට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිරන්තරයෙන් කටයුතු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
බොහෝ අය නොකරන සුවිසල් ධන පරිත්‍යාගයක් රටේ පාසල් අධයාපන පද්ධතිය වෙනුවෙන් සිදුකළ අරුන් මාණික්කවාසගම් මහතාට අධ්‍යාපන අමාත්‍යවරයා සිය කෘතවේදීත්වය ද පළ කළ අතර, මෙම කටයුත්ත ඉතා ඉක්මණින් ඉටුකිරීම වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කළ මනෝ ගනේෂන් අමාත්‍යවරයාට ද ස්තුතිය පළ කළේය.
සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක ජෝන් අමරතුංග, රාජ්‍ය භාෂා, ජාතික ඒකාබද්ධතා, සමාජ ප්‍රගතිය හා හින්දුආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් ද අධ්‍යාපන ලේකම් එන් රණසිංහ, අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක යන මහත්ම මහත්මීහු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද මේ අවස්ථාවට එක්වූහ.

0 Comments