Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලිය අභියෝගයක්

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෝ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී..


බංග්ලාදේශ පිලේ නායක ටමීම් ඉක්බාල්

විවේක ගැනීම් සහ පෞද්ගලික හේතු මත ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් සංචාරයට එක්නොවූ බැවින් කණ්ඩායමේ සිටින සෙසු ක්‍රීඩකයන්ට තහවුරු කිරිමට බොහෝ දේ ඇතැයි තරග 3කින් සමන්විත එක්දින තරගාවලියට සහභාගිවීමට පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි බංග්ලාදේශ කණ්ඩායමේ වැඩ බලන නායක ටමීම් ඉක්බාල් ප්‍රකාශ කළේය. එක්දින පිටියේ දී ඉක්බාල් බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවන පළමු අවස්ථාව මෙයයි. මේ සංචිතයේ නායකත්වයත් මෂ්රෆි මොර්ටාසා නම්කර තිබුණත් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර පැවැති පුහුණු සැසියකදී මොර්ටාසා ආබාධයකට ලක්වීමෙන් මේ තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

‘මේ සංචාරය ඉතා අභියෝගාත්මක වේවි. ශ්‍රී ලංකා කණ්ඩායම කියන්නේ තම රටේදී ඉතා ශක්තිමත් කණ්ඩායමක්. නමුත් මීට පෙර අපි ඉතා සාර්ථකව මෙහි ක්‍රීඩා කර තිබෙනවා. එබැවින් මෙවර එසේ දස්කම් නොදැක්වීමට කිසිදු හේතුවක් තිබෙන්නට නොහැකියි.’ ටමීම් ඉක්බාල් කීවේය.

පසුගිය ලෝක කුසලාන තරගමාලාවේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමෙන් පසුව බංග්ලාදේශ කණ්ඩායම මෙම සංචාරයට සහභාගි වන්නේ දැඩි විශ්වාසයෙන් යුතුවය. නමුත් ඔවුන්ගේ කණ්ඩායමේ නිත්‍ය නායක මෂ්රෆී මොර්ටාසා, ජ්‍යෙෂ්ඨ තුන්ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්, මොහොමඩ් සයිෆූඩීන් සහ ලිටොන් ඩාස් ආබාධ නිසා හෝ පෞද්ගලික හේතු නිසා සංචාරයට එක්වී නොමැත.

ඒ අනුව නවක සහ අත්දැකීම් අඩු ක්‍රීඩකයන් සමග ලබන 26 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා - බංග්ලාදේශ එක්දින තරගාවලියේදී අභියෝග රැසකට මුහුණදීමට සිදුවී ඇතැයි ටමීම් ඉක්බාල් කියා සිටියේය.

බංග්ලාදේශ කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේ හිටපු වේග පන්දු යවන්නකු වන චම්පක රාමනායක මහතා ද මේ සංචාරයට එක්ව සිටියේය. ඔහු බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඉහළ දක්ෂතා ඒකකයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.

මේ අතර තරගාවලියට එක්වන 22 දෙදෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා එක්දින සංචිතය පසුගියදා නම් කළේය.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මේ සංචිතයට ලෝක කුසලාන තරගාවලියට එක්නොවූ නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, ෂෙහාන් ජයසූරිය, ලක්ෂාන් සඳකැන්, අමිල පෝන්සු, ළහිරු කුමාර, ළහිරු මධුසංක ඇතුළත්ව සිටිති.

ලෝක කුසලාන සංචිතයට එක්ව සිටි මිලින්ද සිරිවර්ධන, සුරංග ලක්මාල්, ජීවන් මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩසේ මේ සංචිතයෙන් ඉවත් කර ඇති අතර හිටපු නායක දිනේෂ් චන්දිමාල්ට අවස්ථාවක් හිමිවී නැත.

දෙපිල අතර දිවා-රාත්‍රි ලෙස කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගාවලියේ පළමු එක්දින තරගය මේ 26 වැනිදාත්, දෙවැනි සහ තුන්වැනි තරග 28 සහ 31 වැනිදාත් පැවැත්වීමට නියමිතය. ඊට පෙර බංග්ලාදේශය සහ ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පුහුණු එක්දින තරගය හෙට (23) පී.සරා ඕවල් පිටියේදී පැවැත්වේ. එහිදී ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකා එක්දින සංචිතය - දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, ෂෙහාන් ජයසූරිය, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, වනිඳු හසරංග, අකිල ධනංජය, අමිල අපෝන්සු, ලක්ෂාන් සඳකැන්, ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, ළහිරු කුමාර, තිසර පෙරේරා, ඉසුරු උදාන, ළහිරු මධුසංක

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම - නිරෝෂන් දික්වැල්ල (නායක), ධනුෂ්ක ගුණතිලක, ඕෂද ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ෂෙහාන් ජයසූරිය, ඇන්ජලෝ පෙරේරා, දසුන් ශානක, ළහිරු මධුසංක, වනිඳු හසරංග, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, අකිල ධනංජය, අම්ල අපෝන්සු, රමේෂ් මෙන්ඩිස්

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();