රක්ෂණ ශ්‍රියන්ත
ජාතික ආරක්ෂාව තහවුරු වීමට ප්‍රධාන අත්‍යවශ්‍ය දේ වන්නේ රටේ ජීවත්වන ජනතාවට රට ජාතිය ගැන තිබෙන ගෞරවය හා ආඩම්බරය තිබීම බව හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා පැවසීය.
1990 කොකාවිල් ඓතිහාසික 29 වන රණවිරු සැමරුම පසුගිය 12 දා සවස කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ආරක්ෂක ලේකම් හිටපු යුද හමුදාපති ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. "ආර්ය පදනම" මගින් මේ අනුස්මරණ උත්සවය සංවිධාන කර තිබුණි. එම උත්සවය අමතමින් හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා එසේ පැවසීය.
වසර තිහක මෙරට පැවති යුද්ධයෙන් සිදුවූ ක්‍රියාන්විත අතුරින් ඉතාම බිහිසුණුම සහ සංවේගදායි සටහනක් ලෙස 1990 ජුලි 12 වන දින බිඳ වැටුණ කොකාවිල් විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය සම්බන්ධ සිදුවීම් මාලාව ලෝක යුද ඉතිහාසයේත්, ශ‍්‍රී ලාංකේය යුද ඉතිහාසයේත් සුවිශේෂී සිදුවීමක් ලෙස ඓතිහාසික වනු ඇත.
කපිතාන් සාලිය අලදෙණිය ප්‍රමුඛ රණවිරුවන් 64 දෙනෙකු විදුලි සම්ප්‍රේෂණ කුලුන ආරක්ෂා කර ගනිමින්, තුවාල වූ සෙබළුන් ඇතහැර නොගොස් අවසානයේ උපක්‍රමශීලී ලෙස ත්‍රස්තවාදීන් කඳවුරට රැගෙන ඔවුන් සමඟ රණවිරුවන් සියලු දෙනාගේ ජීවිත විනාශ වී යන සේ පුපුරුවා ගැනීම අතිශය සංවේගදායි සිදුවීමක් ලෙස නූතන ශ්‍රී ලාංකේය ඉතිහාසයට එක්වෙයි.
මිය ගිය රණවිරුවන් සිහිපත් කිරීම සඳහා විනාඩියක නිශ්ශබ්දතාවක්ද පවත්වන ලදී. රණවිරු කපිතාන් සාලිය අලදෙණිය මහතාගේ ඡායාරූපයට පුෂ්පෝපහාර දැක්වීමද මෙහිදී සිදු කරන ලදී.
"1990 කොකාවිල්" වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීමද මේ අවස්ථාවේදී සිදු කෙරිණි.
මියගිය රණවිරුවන් සිහිපත් කරමින් සිදුකරන මතක වස්ත්‍ර පුජාව සහ පුණ්‍යානුමෝදනාව උඩුදුම්බර කාශ්‍යප හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සිදුකරන ලදී.
එහිදී වැඩිදුරටත් හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා මෙසේද කීය.
කොකාවිල් සිදුවීම ජනතාවට කෙසේ වෙතත් හමුදාවේ අයටවත් එය හරියට දැනුණේ නැහැ. ඒ පිළිබඳව පොතක් ලියූ රචකයාට අපේ කෘතවේදීත්වය පුද කරන්න කැමැතියි. කොකාවිල් තමයි උතුර දකුණ යා කරපු සංවේදී කුලුන තිබුණේ. එය තමයි ඒ ප්‍රදේශයේ උසම ස්ථානය එතැනින් තමයි පණිවිඩ හුවමාරු වුණේ. මම තමයි එතැන කඳවුරට ගිය පළමු කෙනා වන්නේ. කපිතාන් අලදෙණිය ඇතුළු සාමාජිකයන් කරපු තරම් මෙවැනි කැප කිරීමක් ලෝකයේ කිසිම යුද ඉතිහාසයක කර නැහැ.
ජාතික ආරක්ෂාව පිළිබඳ අපට ලොකු හැඟීමක් තිබෙන බව පෙනෙන්නේ නැහැ. අපි රටක් හැටියට අවුරුදු දහස් ගණන් ඉතිහාසය දෙස බැලූ විට ජාතික ආරක්ෂාව අයාලේ යන්න දී නැහැ.දහහත් වතාවක් දකුණු ඉන්දීය ආක්‍රමණ ඇවිත් තිබෙනවා. ඒ කිසිවකටත් අප යට වුණේ නැහැ. පෘතුගීසීන් ලබපු දරුණු පරාජයන් දෙකම සිදුවෙලා තිබෙන්නෙත් අපේ රටේයි. ලන්දේසීන්ටත් එහෙමයි.ඉංග්‍රීසින්ටත් එහෙමයි.ඒ විදියට අපි එදා ජාතික ආරක්ෂාව තහවුරු කරගෙන තිබෙනවා. අන්තවාදීන්ටත් වෙන්නේ ඉදිරියට ආවොත් කුඩු වෙන්න වදින එකයි.
අලදෙණිය වගේ වීරයන්ට ලෝකයේ ඇතිවු දරුණුම ත්‍රස්ත්‍රවාදීන් පරාජය කරන්න හැකිවුණා. ඒ සියලු දෙනා එකතු වෙලා ශක්තිය ඇති කර ගත් නිසයි.
හැම තරාතිරමකම අය අපිට එදා කිව්වා. යුද්ධය නවත්තලා දෙන්න කියලා. තිස්දාහක ජීවිත දී අපි රටට සාමය ගෙනාවා. ජාතික ආරක්ෂාව තහවුරු වීමට නම් ප්‍රධාන වශයෙන් අත්‍යවශ්‍ය දේ ඒ රටේ ජීවත්වන ජනතාවට රට ජාතිය ගැන තිබෙන ගෞරවය ආඩම්බරය තිබීමයි. ජාතියක් හැටියට රටක් ලෙස ලෝකයේ උතුම්ම රට හොඳම රට මේ ලංකාව කියා සිතීමයි.අපේ මාතෘභූමියේ තිබෙන ස්වභාව ධර්මය වගේම බුදුන් වහන්සේ මේ රටට තුන් වතාවක් වැඩම කළේ බුදුන් වහන්සේගේ ගැඹුරු ධර්මය ආරක්ෂා කරන බවට උන්වහන්සේට ඇති විශ්වාසය මතයි. ඒ නිසයි බුදුන් වහන්සේගේ ධර්මය මේ රටේ තැන්පත් කළේ. බුදුරජාණන් වහන්සේ තමයි ඒ තුළින් අපේ රටට විශාල කීර්තියක් ලබා දුන්නේ.ලෝකයේ තිබෙන හොඳම ගැඹුරු ධර්මය මේ රටේ පැවතීම එය දිවිහිමියෙන් ආරක්ෂා කරන බවට බුදුන් වහන්සේට පැවති විශ්වාසය නිසයි ඒ ධර්මය මේ රටේ තැන්පත් කළේ.
රට ජාතිය ආගම ආරක්ෂා කිරීමේ වගකීම සෑම කෙනෙකුටම තිබෙනවා.එහි වටිනාකම ජීවත්වන ජනතාව තේරුම් ගත්තොත් තමයි ජාතික ආරක්ෂාව කහවුරු වෙන්නේ. ලෝකයේ වටිනාම තැනක තමයි ලංකාව පිහිටා තිබෙන්නේ.ලෝක දේශපාලනඥයන් ජාත්‍යන්තරය මෙය තේරුම් අරගෙන තමයි මෙයට ඇඟිලි ගහන්නේ. ලෝකයේ මිනිසුන් අපේ රටේ දේවල්වල රස දන්න නිසයි අපේ දේ වැඩියෙන් සල්ලි ගෙවා ගන්නේ.මිනිසුන්ගේ වටිනාකම, රටේ වටිනාකම, භූමියේ වටිනාකම දන්න නිසා තමයි අපිට වටකරලා ගහන්නේ. ඒ නිසා අපි ජාතික ආරක්ෂාව ඇති කරගන්න කටයුතු කළ යුතුයි. දේශපාලන වශයෙන් අපි බෙදී වෙන්වී ඇති අතර එය නැති කර සියලු දෙනාම සමානත්මතාවයෙන් ජීවත්වීමට ඇති හැකියාව ඇති කර ගත යුතුයි. ඒ තුළ තමයි ජාතික ආරක්ෂාව ඇති වන්නේ.
මහා සංඝරත්නය, ආර්ය පදනමේ ජ්‍යෙෂ්ඨ සභාපති ප්‍රවීණ රංගවේදී සිනමාවේදී ඩග්ලස් රණසිංහ, සභාපති ප්‍රවීණ මාධ්‍යවේදී චරිත් කිරිඇල්ල, ආර්ය පදනමේ ජ්‍යෙෂ්ඨ උපදේශක කීර්ති ජයසූරිය,ඉන්ද්‍රානි අලදෙණිය, ලලී කොබ්බෑකඩුව මහත්ම මහත්මීන්, ආර්ය පදනමේ උසස් නිලධාරීන් , සාමාජික සාමාජිකාවන්, යුද හමුදාවේ නිලධාරීන්, මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - සරත් පීරිස්

0 Comments