ඉදිරි සියවස ආසියාවේ සියවස ලෙස සෑම අතින්ම බලවත් විය යුතුයි
ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර සමුළුවේ දී ශ්‍රී ලංකා ජනපති කියයි
ඉදිරි සියවස ආසියාවේ සියවස ලෙස ආසියාකරයේ සාමයත්, ආර්ථික ශක්තියත් සෑම අතින්ම බලවත් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එමෙන්ම ආසියාවේ බලය යටපත් කිරීමට වෙනත් කිසිදු බාහිර බලවේගයකට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේ පසුගියදා (15) පෙරවරුවේ ටජිකිස්ථානයේ, දුෂාන්බේ Navruz සම්මන්ත්‍රණ ශාලවේ දී මුළු දුන් ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05වන සමුළුව අමතමිනි.
චීන ජනාධිපති ෂී ජින් පින්, රුසියා ජනාධිපති ව්ලැඩ්මිර් පුටින්, තුර්කි ජනාධිපති තයියීප් එර්දොවාන්, ඉරාන ජනාධිපති හසාන් රූහානි යන මහත්වරුන් ඇතුළු ආසියාවේ බලවත් රටවල රාජ්‍ය නායකයන්ගේ සහ ප්‍රධාන පෙළේ නියෝජිතයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ටජිකිස්ථාන ජනාධිපති එමොමාලි රාමොන් මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව අභිමානවත්ව ආරම්භ කෙරිණි. සමුළුව ඇමැතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආසියානු රාජ්‍ය නායකයන් ඉදිරියේ වැඩිදුරටත් අවධාරණය කළේ ගෝලීය ත්‍රස්තවාදය පරාජය කරමින් සාමය සහ ආර්ථික සමෘද්ධිය උදා කර ගැනීමට කැපවීමේ දී ආසියාවේ සියලු රටවල් අතර තිබෙන බැඳීම සහ සහෝදරත්වය ඉතා වැදගත් බවයි.
අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ද වේදනාවෙන් සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ ශක්තිය ශ්‍රී ලංකා රජයටත්, ආරක්ෂක හමුදාවටත් තිබෙන බවයි. එමෙන්ම මෙවන් ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට කිසිදු රටක් ගොදුරු නොවිය යුතු අතර කලාපය තුළ සාමය සහ ආරක්ෂාව සෑම අතින්ම තහවුරු කිරීමට සියලුදෙනා සාමූහිකව කැප විය යුතු බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. සියලු රටවල නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉතා වැදගත් වන අතර කිසිඳු රටක නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමේ තර්ජන හෝ බලපෑම් කිසිවිටෙකත් සිදු නොවිය යුතු බව ද ජනාධිපතිවරයා සමුළුව අමතමින් වැඩිදුරටත් සඳහන් කළේය.
ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුව හෙවත් CICA සාමාජික රටවල ආර්ථික ශක්තිය ගොඩනැංවීමේ දී එම රටවල ආර්ථික සහ වෙළෙඳ ප්‍රතිපත්ති සෑමවිටම සරල විය යුතු අතර, තිරසර සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා CICA ප්‍රතිපත්ති ශක්තිමත් කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ආසියාකරය තුළ සාමය සහ සමෘද්ධිය ශක්තිමත් කරමින් ඉදිරි සියවසේ දී දුගී භාවයෙන් තොර ආසියාවක් ගොඩනැගීමට CICA සාමාජික රටවල් එක්ව කැපවීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුව, ආසියාවේ සාමය, ආරක්ෂාව හා ස්ථාවරභාවය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් 1992 වසරේ දී ස්ථාපිත කරන ලද බහුජාතික සංසදයකි.
ශ්‍රී ලංකාව 2012 වසරේ සිට එහි නිරික්ෂණ රාජ්‍යයක් ලෙස කටයුතු කොට තිබෙන අතර එහි සාමාජික රාජ්‍ය 26 විසින් 2018 අගෝස්තු 15 වැනි දින ශ්‍රී ලංකාව සාමාජික රාජ්‍යයක් ලෙස ඒකමතිකව පිළිගන්නා ලදී. ඒ මේ සමුළුවේ පූර්ණ සාමාජිකත්වය ලබාගැනීම සඳහා නව සාමාජික රාජ්‍යයන් විසින් අත්සන් තැබිය යුතු අනිවාර්ය ලේඛන ද්විත්වය වන සාමාජික රාජ්‍යයන් අතර සම්බන්ධතා මෙහෙයවන ප්‍රතිපත්ති ප්‍රකාශනයට හා ‘අල්මාට් කතිකාව’ ට අගෝස්තු 15 වැනි දින චීනයේ බීජිං නුවර දී අත්සන් තැබීමෙන් අනතුරුවය.
චීනය, රුසියාව, ඉරානය, ඉරාකය, තුර්කිය, ඉන්දියාව, පාකිස්තානය, කොරියාව, ඇෆ්ගනිස්තානය, අසර්බයිජානය, බහරේනය, බංගලාදේශය, කාම්බෝජය, ඊජිප්තුව, ඊශ්‍රාලය, ජෝර්දානය, කසකස්තානය, කිරිගිස්තානය, මොංගෝලියාව, පලස්තීනය, කටාරය, ටජිකිස්තානය, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා වියට්නාමය යන රටවල් මෙහි සාමාජිකත්වය දරති. එම සාමාජික රටවල් සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික, ආර්ථික හා වෙළෙඳ සහයෝගීතාව මෙන්ම අන්තර් පුද්ගල සබඳතා ද තවදුරටත් වැඩිදියුණු කර ගැනීමට මේ සමුළුව ඉතා වැදගත්වන අතර ඒ පිළිබඳ ජනාධිපතිතුමා සමුළුව තුළදී විශේෂ අවධානයක් යොමු කර තිබිණි.
0 Comments