විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රහයෙන්
ඩයලොග්-සිලෝන් බිස්කට්-ශ්‍රී ලංකා රක්ෂණ සමාගම ඩීඑෆ්සීසී බැංකුව-ජාතික ඉතිරි කිරීමේ බැංකුව දායකත්වය
මේ ආලෝකය, ධර්මාලෝකය ලැබුණ මිහින්තලා පුණ්‍ය භූමියේ අද වැනි දිනක ශ්‍රී ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාම අදුර දුරුව යන්නටත් අද අපට සිදුවී ඇති විපත් දුරුවන්නටත් ප්‍රාර්ථනා කළ යුතු බව මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති වළවාහැංගුනවැවේ ධම්මරතන නාහිමියෝ ප්‍රකාශ කළහ.
පනස් හත් (57) වැනි වරටත් තෙදිනක් පුරා පැවැත්වෙන මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය උත්සවයේ පළමු දින වූ පෙරේදා (15) මිහින්තලා රජමහා විහාර මැදමළුවේ දී පැවැත්විණ. මේ උත්සවය පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා ඇතුළු මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ. එහි දී අනුශාසනාව පවත්වමින් වළවාහැංගුන වැවේ ධම්මරතන නාහිමියෝ තව දුරටත් මෙසේ ද පැවැසූහ.
මිහින්තලා පොසොන් මහා පින්කම ජාතික උත්සවයක් ලෙස තවමත් ගැසට් කර නැහැ. ජාතික පොසොන් උත්සවයක් පිළිබඳ සඳහන් වුණත් එය පිළිගත නොහැකියි. ඒ වගේම මේ පොසොන් පොහොය වන විට මිහිදු හිමි වැඩම කර වසර දෙදාස් තුන්සිය විසිහතක් වනවා. මහින්දාගමනයත් සමඟ තමයි මේ සියලු දේවල් ආරම්භ වන්නේ. අපි දිනපතා කියනවා, නමුත් කවුරුත් ඒවට සවන්දීලා ජාතික පොසොන් උත්සවයක් ලෙස ප්‍රකාශ කර නෑ වගේම එදත් අදත් රටේ නායකත්වය එය සිදු කර නෑ.
මේ උත්සවයට සිංහල බෞද්ධ, සිංහල ක්‍රිස්තියානි, දෙමළ ක්‍රිස්තියානි, දෙමළ හින්දු, ඉස්ලාම් කියන මේ අය පොසොන් පොහොය දින මිහින්තලාවට එනවා. ඒ අය හැමදාමත් මේ පඩිපෙළේ නඟිනවා. පඩි පෙළ කවදාවත් අහන්නෑ ඔබ හින්දු ද ඔබ දෙමළ ද, ඔබ ඉස්ලාම් ද කියලා, පිටරට කෙනෙක් ද කියා අහන් නෑ. මහින්දාගමනයෙන් පස්සේ ඕනෑම කෙනකුට මේ කන්ද තරණය කිරීමේ අයිතිය තියෙනවා.
ඒ කන්ද තරණය කිරීමේ අයිතිය පවා නැති වුණා අප්‍රේල් මාසයේ විසි එකෙන් පස්සේ. වෙසක් පොහොය නැති වුණා, පොසොන් පොහොයත් නැති වෙයි කියා මම හිතුවේ. කාටවත් දොස් කියා වැඩක් නෑ. රාජ්‍ය පාලකයෝ දැන ගන්න ඕනේ මේ කටයුතු සිදු කරන්න. ඒ නිසා ශ්‍රී ලංකාවේ පළමු පෙරහැර වන මිහිදු මහා පෙරහැර මේ පාර නැති වුණා. එය මහාවංශයෙත් ලියැවෙයි, පොත් පත්වලත් ලියවෙයි, සෑම පත්තරේකම යයි.
ඒ වගේම පොසොන් පින්කම් අද මුළු රටේම තියෙනවා. නමුත් මිහින්තලාව පිළිබඳව සන්නිවේදන මාධ්‍ය තුළින් කොතනකවත් සඳහන් වුණේ නෑ. මිනිසුන් අපෙන් අහනවා පොසොන් තියනවාද කියා. අපට පුළුවන් විදියට අපි මේ පින්කම කරනවා. පෞද්ගලික මාධ්‍ය මුල්කරගෙන ශ්‍රී ලංකාවේ සිවුදෙස පෙරහැර පවත්වනවා. පොසොන් පින්කම් කෙරෙනවා. හැබැයි මේ මුදුන්මල්කඩේ එහෙම අනුග්‍රහයක් ලැබෙන බවක් පේන්නේ නෑ. පොසොන් එකට මහජන නියෝජිතයන් මෙහි දකිනවා හැර වෙන කාලයකට එන්නේ නෑ.
මිහිදු හිමි තිස්ස රජුට එදා කීවේ නුඹ මෙහි භාරකරු විතරයි, නුඹට සතුන් මරන්නවත් කිසිදු අයිතියක් දීලා නෑ. නුඹ ගහකොළ රටේ සියලු මිනිසුන් ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම අහසේ, පොළොවේ, ජලයේ සතා සිවුපාවුන්ගෙත් ප්‍රාණය ආරක්ෂා කළ යුතුයි. මානව වර්ගයා පිළිබඳව, සතා සිවුපාවුන් පිළිබඳව සඳහන් වනවා. මෙවැනි පාඩම් කියා දුන් තැනක වසර දෙදාස් තුන්සිය විසිහතක් ගියපු තැනක ජාතික පොසොන් උත්සවය ගැසට් කර නෑ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සම්මතයක් කර ගන්න ඕනේ, මිහින්තලා පොසොන් පින්කම ප්‍රධාන කර ගන්න. ශ්‍රී ලංකාවේ ඕනේ තැනක පොසොන් සැමරුවාට කමක් නෑ. එය අපේ සංස්කෘතිය. පොසොන් කියන්නේ මිහිදු හිමි සමරීම, උන්වහන්සේට ගෞරව දක්වන එක.
ඒ නිසා සියලු ලෝකවාසීන්ට එහි උරුමතාවය තිබෙනවා. මිහිදු පෙරහැර, සති පිරිත් දේශනය, ආලෝක පූජාව ඒ නිසා සිදු කරන්න ඕනේ. රජ දරුවන්ගේ කාලයේ සෙල් ලිපියේ තිබෙන්නේ. අග්බෝ රජ්ජුරුවන්ගේ පාලන සමය ගැන, අග්බෝ රජු වර්තමාන පාලකයෝ ගැන දැනගෙන සෙල් ලිපියක කොටා තිබෙන්නේ කියා සිතෙනවා. මිහිදු මහා පෙරහැර වැව අසල සිට පටන් ගන්න කියා. මහා මේඝවර්ණ රජතුමා දෙවැනි බුදුන් ඇති වුණේ කොහොමද, මේ ශික්ෂණය ඇති වුණේ කොහොමද කියා සඳහන්. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. සොළොස්මස්ථානයක් තියනවා. මිහින්තලාවේ දොළොස් දාහක රහතන් වහන්සේලා ඉන්නවා. මේ සියල්ල ඇති වුණේ මහින්දා ගමනයෙන් පස්සේ.
ශ්‍රී ලංකාවේ සිටින සියලු භික්ෂූණ් වහන්සේලා වැඩම කර පුරඅටවක පෝයට පෙර දවසේ අටවක දවසේ මිහිදු හිමි පිළිරුව මිහින්තලයේ තැන්පත් කරනවා. තැන්පත් කර පුර අටවක දවසට රජ්ජුරුවෝ ඇවිත් ශ්‍රී ලංකාවේ සිටින සියලු භික්ෂූණ් වහන්සේලා කැඳවනවා, අනුරාධපුරයේ සිටින නගර ආරක්ෂකයෝ මුර ආරක්ෂකයෝ හැරෙන්නට අනෙක් සියලු දෙනා මේ පින්කමට සහභාගිවෙලා පාගමනින් අනුරාධපුරයට වඩිනවා. අපේ රජදරුවෝ එහෙමයි බුදු දහමට ගරු කර තිබෙන්නේ.
දැන් සමහර දේශපාලකයන් විවිධ කතා කියනවා. එයින් තමයි ජාතිවාදය ආගම්වාදය අවුස්සන්නේ. අන්තවාදියකු වන සහරාන් ඇතුළු අට දෙනකු විනාඩි හතළිස් පහක් ඇතුළත අට පොළක බෝම්බ පුපුරවලා තුන්සියයක් පමණ මරණයට පත් කරලා, තවත් විශාල පිරිසක් තුවාල කරලා බලාපොරොත්තුවක් ඉටු කර ගත්තා.
තිස්වසරක් යුද්ධය තිබිලත් අපි මිහිදු පෙරහැර කළා, තීන්ත අාලේප කළා මේ සියලු කටයුතු සිදු කළා. අසූ නවයේ තිබුණා යුද්ධ දෙකක් එකක් දකුණේ, එකක් උතුරේ. ලොකු විනාශයක් සිදු කළා රතු සහෝදරයෝ. වර්තමානයේ කියනවා පාලකයො ගෙදර පලයල්ලා කියා. එය පාර්ලිමේන්තුවේ සිට කළ හැකියි. රටට අවශ්‍ය අනපනත් ගේන්නේ නැතිව මේ බහු භූත කර මිනිස්සු අනාථ කරන එක නොවෙයි. රටේ නීතියක් තියනවා නම් එය ක්‍රියාත්මක කළ යුතුයි. එහි සිංහල, මුස්ලිම්, දෙමළ වන්නට පුළුවන්. අද මත්වතුර මත් පෙති හැමතැනම. මේ අන්තවාදී හේතුව නිසා මිනිසුන් බුලත් විට විකුණන එක නෙල්ලි ගෙඩිය විකුණන එක නැවතුනා. රටේ එකිනෙකා අතර අවිශ්වාසයක් රටේ අස්ථිර භාවයක් තිබෙනවා. අප විවිධ ආගම් අදහමින් වසර දෙදාස් ගණනක් එකට හිටිය ජාතියක්. භේද ඇති කරන්නේ දේශපාලකයෝ. මේ ආලෝකයෙන් අපේ රටේ ආලෝකමත් වේවා. මේ කරන පුද පූජාවල බලයෙන් අනුහසින් සෞභාග්‍යමත් දේශයක් උදාවේවා කියා ප්‍රාර්ථනා කරන බව ද උන්වහන්සේ වැඩි දුරටත් පැවැසූහ.
එහි දී අදහස් දැක් වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා-
ඉදිරියේ දී රටේ සංස්කෘතිය බෞද්ධ වෙහෙර විහාරවල සංවර්ධනය වගේම ශාසනය ආරක්ෂා කිරීමට අපගේ උපරිම දායකත්වය ලබා දෙනවා.
1963 ආරම්භ කළ කාර්ය අද වන විට පුළුල් වෙලා මිහින්තලා පුදබිම අද ආලෝකමත් වුණා. මේ අවස්ථාවේ නායක හිමියන් සිත්තැවුලෙන් අදහස් පළ කළා, ඒ පිළිබඳව මගෙත් සිත්තැවුලක් තිබෙනවා. අපි සෑම වසරකදීම වරින්වර බාධා මතු වුණත් පෙරහැර කරගෙන ආවා. මේ වසරේ අදාළ ආයතනවලින් සහයෝගය ලබා ගන්නට නොහැකිවීම නිසා එය කරන්න අපහසු වුණා. මේ පොසොන් උත්සවය ශ්‍රී ලංකාවට මිහිදු හිමියන් වැඩම කරවීම සිහිකරමින් අප සමරනවා. මහින්දාගමනයෙන් පසුව ශ්‍රී ලංකාවේ විශාල පුනර්ජීවයක් ඇති වුණා.
මිහිදු මහා පෙරහැර පවත්වන්නට නොහැකිවීමේ ප්‍රධාන අඩුපාඩුව වන්නේ ගැසට් කර නොමැතිකම, ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඉකුත් දා මේ පුදබිමට පැමිණ නාහිමියන්වහන්සේ බැහැ දැක මිහිදු මහා පෙරහර ගැසට් කරන්නත් පොරොන්දු වුණා. ඒ වගේම සංස්කෘතික අරමුදල යටතේ ඉදිරියේ සෑම වසරකදීම පෙරහැර පවත්වන්නටත් පොරොන්දු වුණා. ඒ වගේම තීන්ත ආලේප කිරීම, ධර්ම ශාලාවේ කටයුතු, මිහිදු මහා සෑය වගේම පඩිපෙළ ලබන විසිනව වැනිදා සිට වැඩකටයුතු කිරීමටත් බලාපොරොත්තු වෙනවා.
මිහිදු මාහිමියන් වැඩම කරවීම නිසා තමයි මේ රටේ ජනතාවගේ බෞද්ධාගමත්, ජාතික උරුමයන් ස්ථාපනය වුණේ. ඒ නිසා අපට මිහින්තලා පුදබිම අමතක කරන්න බැහැ. රජයක් වශයෙන් අඩුපාඩු ඉදිරියේ දී නිවැරැදි කරනවා.
ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරි අභය අමරදාස මහතා-
මේ වර්ෂයේ පොසොන් උදාවත් සමඟ පොසොන් ආලෝක පූජාව පනස් හත් වැනි වරටත් උත්කර්ෂවත් අයුරින් සිදු කරනු ලබනවා. ලේක්හවුස් ආයතනය මේ විශිෂ්ට වූ බෞද්ධ සංස්කෘතියේ මුලාරම්භය වූ මිහින්තලාව ආලෝකමත් කිරීමට සැදී පැහැදී සිටිනවා. අවුරුදු පනස් හතක් තිස්සේ මේ පුණ්‍ය ක්‍රියාව සිදු කරනවා. මුල් කාලයේ විජේවර්ධන පවුල මේ ස්ථානය ආලෝකමත් කිරීමට ඔවුන්ගේ පෞද්ගලික ධනයෙන් වැය කරමින් ලේක්හවුස් එක්ක එකතුවෙලා කටයුතු කළා. ඉන් පස්සේ සමාගමක් හැටියට එහි දායකත්වය දුන්නා.
අපේ නායක හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවන්ගේ කාලයේත් විවිධ කරදර, විවිධ බාධා විවිධ දුෂ්කරතාවන් තිබුණා. ඒත් මේ ඓතිහාසික කාර්ය දීප්තිමත් ලෙසත් උත්තුංග ලෙසත් පැවැත්වීමට හැකියාව ලැබුණා. ඒ වගේම මේ වසරේ යම් යම් අපහසුතාවන් කොතරම් තිබුණත් ආරක්ෂක අපහසුතාවන් තිබුණත්, අපට වාණිජමය අපහසුතා තිබුණත් අපගේ අනුග්‍රාහක බවතුන්ගේ කාරුණික අනුග්‍රහය අපට ලැබීම නිසා සාර්ථක කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
ඒ වගේම මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති වළවාහැංගුනවැවේ ධම්මරතන නාහිමි ප්රමුඛ මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් හා ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාගේ උපදෙස් මත අද මේ පුණ්‍ය උත්සවය පවත්වනවා. ඒ වගේම විදුලිබල මණ්ඩලයත් එක්ක ක්‍රියා කිරීමට හැකිවීම පිළිබඳව ඔවුන්ටත් ස්තූතිවන්ත වනවා. මේ ආලෝක පූජාවේ පළමු දිනට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා ඇතුළු මහජන නියෝජිතයන්, ඩයලොග් ආයතනය, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන්, මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු සියලු දෙනාම පිළිගන්නා බව ද හෙතෙම වැඩි දුරටත් පැවැසීය.
ලංකා විදුලිබල මණ්ඩලයේ උතුරුමැද පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ෂර්ලි කුමාර මහතා-
ලක්ෂ තුන්සියයක් (300) පමණ මුදලක් වැය කර ලංකා විදුලිබල මණ්ඩලය මිහින්තලා පුදබිමට ස්ථිර විදුලි පද්ධතියක් සවිකර මේ පොසොන් උත්සවයේ දී ලාංකික සියලු දෙනා වෙනුවෙන් පූජා කරනවා.
වසර දෙදහස් තුන්සියයකට එහා අතීතයක් තිබෙන මේ පුදබිමේ 2019 ආලෝක පූජාව ලංකා විදුලිබල මණ්ඩලයත්, ලේක්හවුස් ආයතනයත් එක්ක සම අනුග්‍රහය ඇතිව පවත්වන ආලෝක පූජාවේ පළමු දිනය අදයි. දෙදහස් පන්සියයක බෞද්ධ ශිෂ්ඨාචාරයකට හිමි මේ ස්ථානයේ ආලෝක පූජාවක් පවත්වන්නට අප ඉතා කැමැත්තෙන් හා ඕනෑකමින් ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරනවා.
නායක හිමියන්ගේ ඉල්ලීම මත මේ සිථිර විදුලි රැහැන් පද්ධතිය අලුත්වැඩියා කිරීමේ අවශ්‍යතාව පැනනැඟී තිබුණා.
ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කළා සියලු බැතිමතුන් වෙනුවෙන් ලාංකික බෞද්ධයන් වශයෙනුත් මේ ස්ථානය ඉතා අලංකාර ලෙස ඒ වගේම ඉතා පැහැදිලිව ආලෝකය ලබාදීමට.
මේ කටයුත්තට දායක වන්නේ කිසිම වෙළෙඳ ප්‍රචාරයක් නිසාවෙන් නොවෙයි. මේ ස්ථානයේ අපේකම හැඟෙන නිසාමයි අපි බෞද්ධයන් ලෙස මේ යුතුකම් ඉටු කරන්නේ. හදිසි අවස්ථාවක දී මේ පුදබිම අදුරේ තැබිය නොහැකි නිසා වසර කිහිපයකට පෙර ජෙනරේටරයක් ලබා දුන්නා.
ලංකා විදුලිබල මණ්ඩලය ලෙස මේ ස්ථානය පමණක් නොවෙයි අටමස්ථානයත්, තන්තිරිමලයත් වසර පුරා අලෝකයෙන් බබලවන බව ද හෙතෙම වැඩි දුරටත් පැවැසීය.
මේ උතුම් පින්කම සඳහා සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය ලබා දෙයි. මේ සඳහා ඩයලොග් සමාගම, සිලෝන් බිස්කට් සමාගම, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, ඩී එෆ් සී සී බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව බැතිබර දායකත්වය ලබා දෙයි.
මේ අවස්ථාවට මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී. එස්. ලාල් සෙනවිරත්න, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක, ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරි අභය අමරදාස මහතා ඇතුළු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් වන වරුණ මල්ලවආරච්චි, සුභාෂ් කරුණාරත්න, ලාල් පෙරේරා, විරාජිත් බොයිස්, සුමිත් කොතලාවල, රසන්ත චන්ද්‍රතිලක, ජ්‍යෙෂ්ඨ කළමනාකාර චන්ද්‍රලාල් සූරියආරච්චි යන මහත්වරු ද බුදුසරණ උපදේශක කර්තෘ බෞද්ධ පත්‍ර කලා විශාරද සීසර් සුදුසිංහ, බුදුසරණ කර්තෘ රමණි සුබසිංහ, ලංකා විදුලිබල මණ්ඩලයේ උතුරුමැද පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ෂර්ලි කුමාර මහතා ඇතුළු නිලධාරීන් හා ඩයලොග් ආසියාටා සමූහයේ ප්‍රධාන අලෙවි නිලධාරිනි අමලී නානායක්කාර මහත්මිය ඇතුළු නිලධාරීන් හා සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.
අනුරාධපුර අතිරේක සහ මිහින්තලේ සමූහ
ඡායාරූප අනුරාධපුර අතිරේක
0 Comments